බතක් හදලා, චිකන් ඩෙවල් එකක් දාලා, එතකොට පුරවාගත් පතෝල, පරිප්පු මිරිසට. කෑම වේලේ තියෙන්නෙ හරි අපූරු ගැළපීමක්. එකකට එකක් වෙනස් කෑම ටිකේ රස එකට එකතු වුණාම පුදුම රසයක්. මේ විදිහේ කෑම ටිකක් හදලා ඔබේ හිතවතියකටත් නිවෙසට ආරාධනා කරන්න මේ ලිපිය අවස්ථාවක් කරගන්න.
ඩෙවල්ඩ් චිකන්
Devilled Chicken

අවශ්‍ය ද්‍රව්‍ය
කුකුළු මස් ග්‍රෑම් 600ක්
ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක්
රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
පොඩියට කපාගත් සුදු ලූනු තේ හැඳි 2ක්
පොඩියට කපාගත් අමු ඉඟුරු තේ හැන්දක්
පොඩියට කපාගත් ලූනු ග්‍රෑම් 30ක්
හතරට පළාගත් ලොකු ලූනු ග්‍රෑම් 75ක්
තීරු කපාගත් තක්කාලි ග්‍රෑම් 50ක්
තක්කාලි සෝස් මේස හැඳි 3ක්
කෑලි මිරිස් මේස හැන්දක්
තෙල් මේස හැඳි 2ක්
කැබලි ගම්මිරිස් තේ හැන්දක්
ලුණු රස අනුව
සාදන ක්‍රමය
කුකුළු මස් හතරට කපා ලුණු, ගම්මිරිස් යොදා විනාඩි 15ක් පමණ සීසන් කරගන්න. ග්‍රීන් පෙපර්, රෙඩ් පෙපර් හතරට කපා, ඉන්පසු ත්‍රිකෝණ හැඩයට කපන්න. මේවා වෙනුවට මාලුමිරිස් භාවිත කළ හැකියි. භාජනයක් ළිප තබා තෙල් මේස හැඳි 2ක් දමා රත්කර පොඩියට කපාගත් ලූනු තරමක් බැදෙන විට අමු ඉඟුරු, සුදු ලූනු, කැබැලි, මිරිස් දමා කුකුළු මස් එක්කර මඳ ගින්දරේ බැදෙන්න හරින්න. ඉන්පසු එයට කපාගත් ලූනු, තක්කාලි සෝස් දමා තත්ත්පර 30කට පසු ග්‍රීන් පෙපර්, රෙඩ් පෙපර් සහ ලුණු, ගම්මිරිස් දමා තරමක් හින්දවාගෙන එයට තක්කාලි එකතු කරන්න.
පරිප්පු මිරිසට
Dhal Curry

අවශ්‍ය ද්‍රව්‍ය
පරිප්පු ග්‍රෑම් 250ක්
ලියාගත් ලූනු ග්‍රෑම් 30ක්
ලියාගත් අමු මිරිස් කරල් 2ක්
ලියාගත් සුදු ලූනු තේ හැඳි 2ක්
ලියාගත් කරපිංචා මේස හැන්දක්
කෑලි මිරිස් තේ හැඳි 2ක්
අබ ඇට තේ හැඳි 1/2ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැන්දක්
වියළි මිරිස් කරල් 2ක්
තෙල් මේස හැදි දෙකක්
වතුර කෝප්ප 2ක්
රම්පේ කෑල්ලක්
කුරුඳු පොතු කෑල්ලක්
ලුණු රස අනුව
සාදන ක්‍රමය
පරිප්පු සෝදා පසෙකින් තබන්න. භාජනයක් ළිප තබා තෙල් රත් වන විට අබ ඇට දමා බැදෙන විට මිරිස් කරල් කඩා දමන්න. රතු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු එක්කර රන්වන් පැහැය වනතුරු බැද ගන්න. පසුව කෑලි මිරිස්, කහ එකතු කර තරමක් බැදෙන්න හැර ලුණු සහ පරිප්පු දමා වතුර අඬුකෝප්ප 2ක් දමා මඳ ගින්නේ තම්බා ගන්න. අවශ්‍යනම් උම්බලකඩ එක්කර ගත හැකියි. වියළි මිරිස් කරල් 1ක් දෙකට තුනට කඩා බැද සරසා ගන්න.
පුරවාගත් පතෝල
Stuffed snake Gourd

අවශ්‍ය ද්‍රව්‍ය
සිහින් ළපටි පතෝල ග්‍රෑම් 600ක්
පරිප්පු ග්‍රෑම් 300ක්
සිහින්ව කපාගත් ලූනූ ග්‍රෑම් 30ක්
සිහින්ව කපාගත් සුදු ලූනු තේ හැන්දක්
කහ කුඩු තේ හැඳි 1/4ක්
බිත්තර 1ක්
පිටි ග්‍රෑම් 50ක්
පාන් කුඩු ග්‍රෑම් 150ක්
දෙහි යුෂ තේ හැන්දක්
තෙල් මිලි ලීටර් 750ක්
ගම්මිරිස් රස අනුව
ලුණු රස අනුව
සාදන ක්‍රමය
පතෝල සුද්ද කර අඟල් 1 1/2 කුට්ටි කපා පරෙස්සමින් ඇට ඉවත්කර ගන්න. භාජනයක් ළිප තබා තෙල් එක්කර ලූනු, සුදු ලූනු දමා තරමක් බැද පරිප්පු සහ කහ එක් කරන්න. එයට වතුර අඬුකෝප්ප 3/4 දමා මඳ ගින්දරේ ඉස්ම හිඳෙන්න තම්බා ගන්න. මෙයට ලුණු, ගම්මිරිස් පදමට මිශ්‍ර කරන්න.
කපාගත් පතෝලවලට මෙම මිශ්‍රණය පුරවාගන්න. පිටි, බිත්තර, ලුණු, වතුර දමා මිශ්‍රකර තරමක් උකු මිශ්‍රණයක් සාදාගන්න. පුරවාගත් පතෝල කැබලි පිටි මිශ්‍රණයේ බහා පාන් කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න. පාන් කුඩු තැවරී මදිනම් බැදීමට පෙර දෙවැනි වරට ද පාන් කුඩු තවරා ගන්න.
සැකසුම –
ගල්කිස්ස මහ හෝටලයේ
නිමාකෝ ද සිල්වා
උපදෙස්
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය දේශබන්දු
පබ්ලිස් සිල්වා
විදුමිණි දිසාකරුණා