“ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ අපට නීරෝගිමත් සෞඛ්‍යයක් පවතින්නේ නම් එය අප දිවියට වටිනා ප්‍රතිලාභයක් වන බැවිනි. යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අප දෛනිකව ලබාගන්නා ආහාර පානද නිසැකයෙන්ම බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. පැණි කොමඩු ද එවැනි සුවිශේෂී විස්මිත ගුණ සහිත පලතුරකි. රෝග බොහෝමයකට ප්‍රතිකාරයක් වන පැණි කොමඩු, විශේෂයෙන් උෂ්ණාධික දේශගුණික වකවානුවලදී ආහාරයට ගැනීමට සුදුසුම පලතුරකි. එමෙන්ම ඉතාමත් මිහිරි රසයක් සහිත ලොකු කුඩා සියල්ලෝම එක ලෙස ප්‍රිය කරන පලතුරකි.
කොමඩුවල අඩංගු “ලයිකෝපේන්” මඟින් මාරාන්තික පිළිකා රෝගයෙන් මිනිසා මුදා ගත හැකිය. බඩවැල්, පුරස්ථි ග්‍රන්ථී, පියයුරු පිළිකා සුව කිරීමට විශේෂයෙන්ම පැණි කොමඩු උපකාරී වේ.
එමෙන්ම රුධිර පීඩනය වැඩි වීම ද ඉතාමත් දරුණු රෝගයකි.
නමුත් පැණි කොමඩුවලට රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව පවතියි. එනම් රුධිර පීඩනය පාලනය කිරීමට අවශ්‍ය “පොටෑසියම්” මෙහි අඩංගු වේ.
මෙරට දීර්ඝ කාලීනව උත්සන්න වන තවත් රෝගයක් ලෙස වකුගඩු රෝගය පෙන්වාදිය හැකිය. පිරිසුදු ජලය පානය කිරීමට නොහැකි වීම මීට ප්‍රධාන හේතුවකි. එමෙන්ම ශරීරයට ජලය අවශ්‍ය ප්‍රමාණයට නොලැබීමද මෙයට හේතුවකි. නමුත් පැණි කොමඩුවල 91%ක්ම ජලය අඩංගු බැවින් වකුගඩු රෝගය වළක්වා ගැනීමට ද එය කදිම ඖෂධයකි.
එමෙන්ම ශරීර තාපය ඉහළ යාම පාලනය කර ගැනීමටද පැණි කොමඩු උපකාරීවේ. එමඟින් විජලනය වළක්වා නීරෝගි ශරීර සෞඛ්‍යයක් ළඟා කර දේ.
මෙහි ඇමයිනෝ අම්ල අඩංගු බැවින් පේශීවල වේදනාව නැති කිරීමේ හැකියාවද බීටා කැරොටීන්, ලයිකොජීන්, පොටෑසියම් යනාදිය අඩංගු බැවින් හදවත් රෝග, කොලෙස්ටරෝල් නැති කිරීමේ හැකියාවද පවතියි. තවද විටමින් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා ඇස් පෙනීම ද වැඩිදියුණු කරයි.
එපමණක් නොව අප ඉවතලන කොමඩු බීජ මෙන්ම පොතු ද ආහාරයට ගැනීමට සුදුසු වනවා සේම පෝෂ්‍ය ගුණ රැසක් සහිතය. යකඩ, සින්ක්, ප්‍රෝටීන් අඩංගු බැවින් කොමඩු බීජද ක්ලෝරෆීල්, ඇමයිනෝ අම්ල අඩංගු බැවින් පොත්ත ද ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය පහසු කරයි. නමුත් මෙහි පොත්ත ආහාරයට ගන්නේ නම් කාබනික පලතුරු පමණක් ආහාරයට ගැනීමට වගබලා ගන්න.
කොමඩු ගෙඩියක් මිලට ගැනීමේ දී හොඳින් පැසුණු කොමඩු ගෙඩියක් තෝරා ගැනීම මඳක් අපහසුය. නමුත් හොඳම ගෙඩිය තෝරා ගැනීමට විවිධ උපක්‍රම ඇත. ප්‍රධාන වශයෙන්ම හොඳ ස්කන්ධයක් තිබිය යුතුය. එමෙන්ම ගෙඩියෙහි යටි පැත්තේ විශාල කහ පැහැති ළපයක් දක්නට ඇත්නම් එය වඩාත් හොඳින් පැසී ඇත.
ඇඟිලි තුඩුවලින් තද කිරීමේ දී හොඳින් එබෙන්නේ නම් සහ නැට්ට හොඳින් වේළුණු ළා දුඹුරු පැහැයක් ගැනීම ද හොඳින් පැසුණු කොමඩු ගෙඩියක ලක්ෂණයකි.
එමෙන්ම පොත්ත තද කොළ පැහැති පෙනුමක් තිබීම ද විශේෂ ලක්ෂණයකි. කපා අලෙවි කරන ලද කොමඩු නම් ඉතා දීප්තිමත් රතු පැහැති මදය සහිත තද කළු හෝ තද දුඹුරු පැහැයකින් යුක්ත ඇට ඇති කොටසක් තෝරා ගන්න.
එක් අතකින් කොමඩු ගෙඩිය අල්ලාගෙන අනෙක් අතින් කොමඩු ගෙඩියේ ඉහළට තට්ටු කිරීමේ දී පහළ අතට දෙදරීමක් දැනෙන්නේ නම් එයද හොඳින් පැසුණු කොමඩු ගෙඩියක ලක්ෂණයකි.
පැණි කොමඩුවලින් රසවත් ආහාර ගණනාවක් පිළියෙල කරගත හැකිය. කොමඩු ජෙලි, කොමඩු අයිස්ක්‍රීම්, කොමඩු වණ්ඩු, කොමඩු ලෙලි ඇඹුල, කේක්, කෝඩියල් යනාදිය ඉන් කිහිපයකි.
කෝඩියල්

අවශ්‍ය ද්‍රව්‍ය :
කොමඩු යුෂ
සීනි
දෙහි යුෂ
පිළියෙල කරන ආකාරය කොමඩු ගෙඩියෙහි මදය ඉවත් කොට යුෂ ලබාගෙන එය රත් කරන්න. සුළු වේලාවකින් සීනි එක්කොට කලවම් කරන්න. (කොමඩු යුෂ ප්‍රමාණයට සරිලන සීනි ප්‍රමාණයක්) පසුව මතුපිටින් එන පෙණ වැනි කොටස ඉවත්කර දෙහි යුෂ ටිකක් එක් කරන්න.
සුළු වේලාවකින් ළිපෙන් ඉවත්කොට බීමට ගන්න.
ලෙලි ඇඹුල
අවශ්‍ය ද්‍රව්‍ය :
කොමඩු ලෙලි
පොල්තෙල්
ලූනු ගෙඩි කිහිපයක්
මිරිස් කුඩු සහ මිරිස් කරල් කිහිපයක්
කුරුඳු පොත්තක්
රම්පේ
කරපිංචා
කහකුඩු
තුනපහ
සීනි
ලුණු
ජලය ස්වල්පයක්
(සියලුම අමුද්‍රව්‍ය ඔබ ලබා ගන්නා කොමඩු ලෙලි ප්‍රමාණයට සාපේක්ෂව සපයා ගන්න.)
පිළියෙල කරන ආකාරය
කොමඩු ලෙල්ලේ කොළ පැහැති කොටස ඉවත් කරන්න. ලෙල්ල කුඩා කැබලිවලට කපා ගන්න.
පොල්තෙල් ස්වල්පයක් දමා රත්කොට කපාගත් මිරිස් කරල්, ලූනු, සුදු ලූනු, ඉඟුරු තෙලෙන් තෙම්පරාදු කරන්න. පසුව කුරුඳු, රම්පේ, කරපිංචා, උම්බලකඩ, කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ තෙලට දමා පෙර තෙම්පරාදු කළ ලූනු මිශ්‍රණය හා සියල්ල කලවම් කරන්න.
මෙම මිශ්‍රණයට කපාගත් කොමඩු ලෙලි ටික දමා කලවම්කර ජලය ස්වල්පයක් එක් කරන්න. මඳ වේලාවකින් ලුණු සහ සීනි එක්කොට හොඳින් කලවම්කර ආහාරයට ගන්න.
ජෙලි

අවශ්‍ය ද්‍රව්‍ය :
කොමඩු යුෂ කෝප්පයක්
ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් එකක් (ග්‍රෑම් 100ක්)
ජෙලටින් මේස හැඳි 1ක්
පිළියෙල කරන ආකාරය :
කොමඩු ගෙඩිය හොඳින් සෝදා කපා මදය වෙන්කර යුෂ ලබා ගන්න. ඇට ඉවත් කර ගන්න.
යුෂවලින් කෝප්ප (1/4)ක් වෙන්කර පැතලි භාජනයක දමා ජෙලටින් මේස හැන්දක් එක්කොට සෙමින් කලවම් කරන්න. ඉන් පසුව එය විනාඩි 5ක් පෙඟෙන්න තබන්න.
ඉතිරි යුෂ ටික සාස්පානක දමා රත් කරන්න. හොඳින් රත් වන විට පෙඟෙන්න තැබූ යුෂ ටික එයට දමන්න. පසුව එයට ජෙලි ග්‍රෑම් 100ක් දමන්න. හොඳින් කලවම්කර ළිපෙන් ඉවත් කරන්න.
පසුව ශීතකරණයේ පහළ කොටසේ දමා පැය 4ක් පමණ තබා ආහාරයට ගන්න.
එම්. ටිරුණි ඉමායා
