අපේ ගෘහිණියන් මැහුමට ගෙතුමට හරිම දක්ෂයි. ඒ නිසාම ඒ දක්ෂතාව උපයෝගී කරගෙන කරන හැමදේම හරිම නිර්මාණශීලියි. හැබැයි ඉතින් ඒ විදිහට නිර්මාණාත්මක දේවල්වලින් නිවෙස ලස්සන කරගන්න ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. අපේ ගෙදර පුංචි පුංචි දේවල්වලින් දැන් අපිටම හැඩ කරගන්න පුළුවන්.
මේ හැමදේටම නිර්මාණශීලි ඇහැක් විතරයි ඕනේ වෙන්නේ. පාට ගළපලා රටා මවන්න පුළුවන්නම් මේ නිර්මාණය උත්සාහ කරලා බලන්න.
අද හදන්නේ හරි ලස්සන සොෆ්ට් පිලෝ එකක්. මේ පිලෝ එකෙන් නිවෙසේ ආලින්දයේ තියෙන සෝෆා එකට වෙනස්ම හැඩයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේකට පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරලා දියණියගේ, පුතුගේ නිදන කාමරේ ඇඳට එකතු කරන්නත් පුළුවන්.
පිලෝ එකක් කිවුවම හැමෝගෙම හිතට එන්නේ හතරැස් හැඩයේ කොට්ටයක්. හැබැයි ඉතින් මේ සොෆ්ට් පිලෝ රවුම් හැඩයට, තරු හැඩයට, කොටු හැඩයට මේ ඕනෑම ආකාරයට නිර්මාණය කරගන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
ෆීලීස්, වෙල්බෝවා, ප්ලේබෝවා වැනි ඕනෑම රෙදි වර්ගයක්
වර්ණ කිහිපයකින් පොලියෙස්ටර් රෙදි
මේ මල් හැඩ කපා ගැනීමට බ්ලොක් එකක් හෝ කටර්ස්
ග්ලු ගන්
රෙදි පාටට නූල්
පැඩින්
අවශ්‍ය නම් ශිපර් එකක් (පිටුපසට අැල්ලීමට)

නිර්මාණය කරගන්නා ආකාරය
පළමුව රෙදි කොටස ගෙන දිග සහ පළල අඟල් 14 x 13 ප්‍රමාණය වන සේ රෙදි කොටස් දෙකක් කපා ගන්න. ඉන්පසු රූපයේ පරිදි, මල් කැමැති පාටකින් පොලියෙස්ටර් රෙදි භාවිතකර කපා ගන්න. ඒ සඳහා කටර් එකක් හෝ බ්ලොක් ඇඳ කපා ගත හැකියි. ඇස්, ඇහිබැම, කම්මුල් සහ කට මේ සියලුම කොටස් අවශ්‍ය පාටවලින් කපා ගන්න. ඉන්පසු මුහුණේ හැඩය සහ ගෙල පෙදෙසේ හැඩයත් කපා ගන්න.
ඉන්පසුව රෙදි කොටස් දෙක හොඳ පිටට මුහුණට මුහුණලා වටේට මසා ගෙන යන්න. ඔබට අවශ්‍ය නම් මෙය කොට්ට උරයක් ලෙසත් ගත හැකියි. එයට පිටුපසින් ශිපර් එකක් දමා පැඩින් පිරවූ කොට්ටයක් වෙනම දමා ගැනීමට ද හැකියි. දැන් වටේට මසා ගත් කොට්ට උරය හොඳ පිට හරවා ඇතුළට පැඩින් පුරවා පැඩින් පිරවූ හිඩැස නොපෙනෙන සේ අදින මැස්මෙන් මසා නිම කර ගන්න.
අවසානයේ හරි මැදට වන සේ බෙල්ල සහ මුහුණ අලවා, මුහුණ වටේට බ්ලැන්කට් මැස්මෙන් මසා ගන්න. කපා ගත් මල් රූපයේ ආකාරයට අලවා ඇස්, කම්මුල් සහ කට අලවා ලස්සන කරගන්න.
උපදෙස්
අත්කම් නිර්මාණ ශිල්පිනී
අක්ශානි උද්දීපා
විදුමිණි දිසාකරුණා