Monday, September 15, 2025
Epaper
Home Highlightsදීර්ඝ කාලයක් තිස්සේ කළ අරගලයක ජයග්‍රහණයක්
ශ්‍රවණාබාධිත සැමට සුබ පණිවිඩයක්

දීර්ඝ කාලයක් තිස්සේ කළ අරගලයක ජයග්‍රහණයක්

by Thanushika

​”The word is but one country” යනු ගැඹුරු දාර්ශනික අර්ථකථනයකි. එය මානව වර්ගයාගේ එකමුතුකම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙයි. ගෝලීය දර්ශනයට අනුව සෑම මනුෂ්‍යයකුටම හිමි මානුෂික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් එක්සත් ජාතීන්ගේ සම්මුතිය මඟින් සම්මත කර ඇත. ඒ අනුව ලොව උපත ලබන ඕනෑම පුද්ගලයකුට තමාගේ අභිමතය පරිදි ජීවත් වීමේ අයිතිය තහවුරු කරයි.

​මෙම මානුෂික අයිතිවාසිකම් අතර ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය මඟින් ඔවුන්ට විශේෂිත වූ අයිතිවාසිකම් ගණනාවක් හිමි විය යුතු බව අවධාරණය කරයි. ඒ අතුරින් ලෝකයේ සෑම පුද්ගලයකුටම ඕනෑම තැනක සංචාරය කිරීමට ඇති අයිතිය ශ්‍රවණාබාධිත පුද්ගලයාටත්, දෘශ්‍යාබාධිත පුද්ගලයාටත් හිමි විය යුතු බව අවධාරණය කර තිබේ. එහෙත් මෙම අයිතිවාසිකම් හිමි කර ගැනීමේදී ඔවුන්ට ඒ සඳහා විවිධ බාධක, අභියෝග හා ගැටලුවලට මුහුණ දීමට සිදු වූ අවස්ථා බොහෝය. එම මූලික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඔවුන්ට දැවැන්ත අරගලයක් දීර්ඝ කාලයක් පුරා සිදු කිරීමට ද සිදු විය.

​පසුගියදා ශ්‍රී ලංකාවේ ආබාධිත පුද්ගලයන්ට ද එවැනි අරගලයකින් ජය ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා ආබාධ සහිත ප්‍රජාවේ සංගමය විසින් වසර ගණනාවක් පුරා කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙසිනි.

​පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා මෙම දැවැන්ත අරගලයේ ප්‍රධාන නියමුවකු ලෙසින් කටයුතු කරයි. දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ නියෝජිතයකු ලෙසින් සුගත් වසන්ත ද සිල්වා මහතා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ප්‍රථම වරට පත්වීම ද ඓතිහාසික සිදුවීමකි.

​ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැවැන්ත හඬක් නඟන ඔහු එම ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා නිහඬව දැවැන්ත අරගලයක නියැළී සිටින්නේ වසර ගණනාවක සිටය. ඒ නිසාම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සාමාජිකයකු හා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ සාමාජිකයකු ලෙසින් ද කටයුතු කරයි. ඔහුගේ දැවැන්ත යුග මෙහෙවරේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ආබාධ සහිත ප්‍රජාවට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හැකි විය.

​ඔවුන් ලැබූ එම ජයග්‍රහණය පිළිබඳ සුගත් වසන්ත ද සිල්වා මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

​“ආබාධ සහිත ප්‍රජාවගේ සංගමයේ දීර්ඝකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය හිමි කර ගැනීමට හැකි වුණා. ඇත්ත වශයෙන්ම ඒ ජයග්‍රහණය ඓතිහාසිකයි. අපි දීර්ඝ කාලයක පටන්ම ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍රයක් හිමි කර ගැනීම වෙනුවෙන් සටන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙසින් නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වුණා. එය සාර්ථකව අවසන් කළා. පසුව එය දීපව්‍යාප්තව ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමි වුණා.”

​2012 වසරේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ලංකාවේ සමස්ත ආබාධිත ප්‍රජාව 7.8% ක්. එනම් දස ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් සිටිති. මේ පිරිස, ආබාධිත තත්ත්වයට පත්ව සිටියත්, මේ සියලු දෙනාම අපේ රටේ පුරවැසියෝ ඒ අනුව එම ප්‍රජාවටත් සෑම පුද්ගලයකුටම ඇති අයිතිවාසිකම් හිමි විය යුතුය. අපි ආබාධිත තත්ත්වයට පත් වුණත් ඕනෑම තැනක ගමන් කිරීමට, සංචාරය කිරීමට හැකියාව තිබේ. මේ සඳහා අපට ප්‍රවාහන පහසුකම් උපයෝගි කර ගැනීමට සිදුවෙනවා.

​මෙම ප්‍රවාහන පහසුකම් උපයෝගි කර ගැනීමේදී ප්‍රධාන ගැටලු කිහිපයකට මුහුණ දෙයි. ඉන් එක් ගැටලුවක් නම් දෑස් හොඳින් පෙනෙන, ශාරීරික ක්‍රියාකාරිත්වය හොඳින්ම ඇති, නමුත් ශ්‍රවණාබාධ හා කථනාබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ ගැටලුවයි. දෙවැනි ගැටලුව වන්නේ එක් ඇසක් හොඳින් පෙනෙන අයකුට බලපත්‍රයක් හිමි කර ගැනීමේ ගැටලුවයි. තුන්වන ගැටලුව වන්නේ ශරීරයේ පවතින ආබාධිත තත්ත්වය අනුව මෝටර් රථයේ රියැදුරු උපාංග සකස් කර ගැනීමයි. මේ ගැටලු නිසා ඔවුන්ට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් අරගලයක නියැළී සිටියා. මේ කරුණු තුන නිසා ඔවුන්ට තම දෛනික කටයුතු යථා පරිදි පවත්වාගෙන යාමේ ගැටලු රාශියක් මතුවී තිබුණා.

​මේ වෙනුවෙන් දිගින් දිගටම පැවති සාකච්ඡා හා කරුණු අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපට ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍රයක් ලබා දීමට හැකි වී තිබේ. පළමුව එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර තිබුණා. නමුත් එය අඩපණ වීමකට ලක්ව පැවතුණා. එම බාධක ඉවත් කර ගනිමින් එම ප්‍රජාවට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව දැන් ලැබී තිබේ.

​මෙය ආබාධිත ප්‍රජාව ලැබූ විශාල ජයග්‍රහණයක් මෙන්ම සතුටු විය හැකි සිදුවීමකි. මේ සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් ලබා දීමට කටයුතු කරයි. ඊට අමතරව මෙම බලපත්‍රය ලබා දීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.

ශ්‍රවණාබාධිත ඔබ මේ බලපත්‍රය ලබා ගැනීම සඳහා යුත්තේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය, පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් සමඟ වෛද්‍ය පරීක්ෂණයට යොමු වීමයි. ඒ අනුව ආබාධිත තත්ත්වය අනුව අදාළ රථය පැදවීමට ඇති හැකියාව තහවුරු කිරීමෙන් අනතුරුව රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

​මේ පිළිබඳ සියලු තොරතුරු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෙබ් අඩවියේ පළ කිරීමට ද කටයුතු කර තිබේ. www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ අවශ්‍ය මඟ පෙන්වීම ඔබට ලබා ගත හැකිය. තව සති කිහිපයක් තුළ කැබිනට් අනුමැතිය හිමි වූ පසු මෙම වෙබ් අඩවියේ එම සියලු තොරතුරු යාවත්කාලීන කිරීමට කටයුතු කරයි.

​මෙම ප්‍රවාහන බලපත්‍රය ලබා දීම සඳහා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ගැන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ මහත්මියගෙන් ද විමසීමක් කළේ මේ පිළිබඳ වඩාත් හොඳින් දැන ගැනීමේ අපේක්ෂාවෙනි. එහිදී ඇය සඳහන් කළේ මෙලෙසිනි.

​“ශ්‍රවණාබාධිත පුද්ගලයා සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබා දීම පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටු වාර්තාවක් මඟින් ලැබුණු අනුමැතිය මත එය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා අපට අනුමැතිය හිමි වී තිබෙනවා. මේ සඳහා ඔවුන්ට බලපත්‍ර ලබා ගැනීමට අනුමැතිය හිමි වී තිබෙන්නේ සැහැල්ලු රථ වාහන සඳහා පමණයි. මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ විස්තර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිතුමියගෙන් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ බලපත්‍රය හිමි කර ගැනීමේ නීත්‍යනුකූල අනුමැතිය ලබා දීමට ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා තව සති කිහිපයක් තුළ සිදුවීමට නියමිතයි. එම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු මේ අවශ්‍ය නිර්ණායක සියල්ල අපගේ වෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු කරනවා.”

දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?