ජීවිතය තණපතක රැඳි පිනි බිඳුවකි. සිත් වසඟ කරන හැඩරුව, විවිධාකාරයේ සැප සම්පත්, නිලතල සියල්ලෙන් අඩුවක් නොවුවද මේ ජීවිතය හැර දමා යන දිනය ගැන කාට නම් කිව හැකිද ?
දිනපතා අසන්නට දකින්නට ලැබෙන්නේම අකාලයේ අප අතරින් වියෝ වන තරුණ ජීවිත පිළිබඳයි. එයින් බොහොමයක් දිවි අහිමිවීම්වලට හේතු වී ඇත්තේ හදිසි හෘදයාබාධයි. ක්‍රියාශීලි නොවූ ජීවන රටාවත්, වැරදි ආහාරපාන භාවිතයත් එයට දැඩි ලෙස බලපානු ලබයි.
මේ ගැන කතා කරන්නට අපි හෘදරෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මුණගැසුණු බව ඔබට මතක ඇති. වර්තමානයේ දක්නට ලැබෙන හෘදයාබාධවලට හේතුව පිළිබඳ පමණක් නොව පොල්තෙල් භාවිතය ගැනත් අපි එතුමාගෙන් බොහෝ කරුණු කාරණා දැන කියාගත්තා. ඊට අමතරව පොල්තෙල් භාවිතයේ ප්‍රයෝජන එහෙමත් නැතිනම් ප්‍රතිලාභ ගැන අද අපි දැන ගනිමු.
වෛද්‍යතුමනි, පමණ දැන පොල්තෙල් භාවිත කිරීම වරදක් නොවන බව ඔබතුමාගේ අදහසයි. ඒ නිසා පොල්තෙල් ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
මෙහෙමයි. පොල්තෙල්වල තියෙන්නේ Medium chain fatty acids. ඒ කියන්නෙ මැද මට්ටමේ මේද අම්ල. හැබැයි ෆාම් ඔයිල්වල වගේම වෙනත් සීඩ්ස් ඔයිල්වල තියෙන්නෙ long chain fatty acids තමයි. ඉතින් මේ මැද මට්ටමේ මේද අම්ල අපේ ශරීරයට ගිය ගමන්ම අපේ අක්මාවට ගිහින් ඒවා ශක්තිය බවට පත්කර ගන්නවා. මේ පොල්තෙල්වල long chain fatty acids අඩුයි. ඒ නිසා ඒවා ෆැට් විදිහට තැන්පත් වීමත් අඩුයි. ඒ නිසා බොහෝ දුරට මේ පොල්තෙල් භාවිතයෙන් තරබාරු වීම තරමක් අඩුයි. හැබැයි ඉතින් මේවා වඩාත් වැඩියෙන් නොවන ප්‍රමාණාත්මකව පාවිච්චියට වග බලා ගන්න ඕනේ.
ඊට අමතරව මේ Medium chain fatty acids නිසා අපේ ශරීරය තුළ කීටෝන් බොඩි හදනවා. මේ කීටෝන් බොඩි කියන්නේ හරියට සීනි වගේ. ඒවායින් අපේ සෛලවලට ශක්තිය ලබාගන්න පුළුවනි. ඒ වගේම මේ කීටෝන් බොඩිවලින් අපේ මොළයට වගේම හදවතේ ක්‍රියාකාරීත්වයට ශක්තිය ලබාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම එය හොඳ වාසිදායක දෙයක්. ඒ මොකද කිවුවොත් මොළයේ නීරෝගිතාවට මේ කීටෝන් වඩාත් හිතකර නිසා ඩිමෙන්ෂියා වාගේ මතකය නැතිවෙන අයට මෙය වඩාත් හිතකරයි.
ඒ වගේම තමයි අපේ ශරීරයේ තියෙන නරක බැක්ටීරියා ඉවත් කරලා හොඳ බැක්ටීරියා තියා ගැනීමේ සමබර ක්‍රියාවලිය සඳහාත් මේ පොල්තෙල් වඩාත් හිතකරයි.
හැබැයි ඉතින් පොල්තෙල් පාලනයක් ඇතිව පාවිච්චි කරනවා නම් නේද වඩාත් හොඳ ?
හරියට හරි. පාලනයක් ඇතිව ඒ කියන්නෙ ප්‍රමාණවත් තරමට පාවිච්චි කිරීම තමා වඩාත් හොඳ. මොකද මේවා වැඩියෙන් පාවිච්චි කිරීම හරහා ශරීරයේ LDL වැඩිවීම සිදුවෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ. ඒ කියන්නේ නරක කොලොස්ටරෝල් වැඩි වෙනවා කියන එකයි. ඒත් හැබැයි නරක කොලොස්ටරෝල් වැඩි වුණා කියලා අපට හෘදයාබාධ හැදෙනවා කියන්නත් බැහැ. මොකද මීට කලිනුත් මම කියලා තියෙනවා හෘදයාබාධ හැදෙන්න නම් LDL කොලොස්ටරෝල් එක නරක කෙනෙක් බවට පත් විය යුතුයි කියලා. මොකද LDL කියන කෙනා අපේ යාළුවෙක්. හැබැයි එයාව හතුරෙක් බවට පත් කරගන්නවා අපි විසින්ම. ඒ කියන්නේ අපි වැඩියෙන් සීනි, ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් වාගේ දේවල් අරගෙන දුම්පානය කරලා එතකොට මානසික ආතතිය හදාගෙන මේ LDL අහිතකර කෙනෙක් බවට පත්කර ගන්නවා.
විදෙස් රටවල වගේම විශේෂයෙන් ජපන් ජාතිකයන් පොල්තෙල් හැන්දක් බොනවා කියලා අපි අහලා තියෙනවා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?
ඇත්තටම පොල්තෙල්වලින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ ගැන හිතලා තමයි මේ විදිහට යුරෝපීය ජාතිකයින් පොල්තෙල් භාවිත කරන්නේ. අපිට වගේ නෙවෙයි ඔවුන්ට පොල්තෙල් කියන්නේ හරිම සුඛෝපභෝගී ආහාරයක්. ඒ රටවල හොඳ පොල්තෙල් කියන්නේ මිල අධික දෙයක්. අපේ රටේ අයට නම් එහි අගයක් නෑ. අනිත් එක ඔබ හොඳට මතක තබාගන්න කැරිබියන්, නිකොබා, පැසිපික් වගේ දූපත්වල මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය තමා පොල්. ඔවුන් වසර ගණනාවක් උදේ, දවල්, රාත්‍රියට ආහාරයට ගන්නේ පොල් සහ මාළු. ඔවුන් හෘදයාබාධ කියලා දෙයක් ගැන දන්නෙත් නැහැ. ඔවුන්ගේ ආයුෂ වසර සීයකටත් වඩා වැඩියි. ලංකාවේ වුණත් ඔබ හිතන්න බලන්න වසර සීයක් දෙසීයක් වගේ කාලයේ ඉඳන් අපේ උදවිය පොල් ආහාරයට ගන්නවා. ඒත් අතීතයේ සිටි අපේ වැඩිහිටි අයට හෘදයාබාධ හැදුණා කියලා අහලා තියෙනවද? මේ මෑත කාලයේදී තමයි පොල් සහ පොල්තෙල් භාවිතය නිසා ලෙඩ හැදෙනවා කියලා මතයක් හදාගෙන තියෙන්නේ. ඇත්තටම කිවුවොත් පොල් හෝ පොල්තෙල් නිසා නෙමෙයි මේ ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නේ. අපේ නිවැරදි නොවූ ජීවන රටාව. ඒ වගේම වැරදි ආහාරපාන භාවිතය. ක්‍රියාශීලි නොවූ දින චර්යාව. මෙන්න මේ වාගේ දේවල් නිසයි. ස්වාභාවික ආහාරපාන වෙනුවට කෘත්‍රිම දේවල් ආහාරයට එකතු කරගන්නා ප්‍රමාණය වැඩියි. ඒ වගේම ව්‍යායාම්වල නිරත නොවීමත් මේ තත්ත්වයට දැඩිව බලපාලා තියෙනවා.
වෛද්‍යතුමනි, අතීතයේ දී ගම්වල ජීවත් වුණු අපේ අම්මලා බත් එකට පිරිසුදු පොල්තෙල් චුට්ටක් මිශ්‍ර කරලා ආහාරයට ගන්න පුරුදු වෙලා හිටියා. ඒ ගැන මොකක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ.
කාබෝහයිඩ්‍රේට්වල ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වන බත්, අල, බතල, කව්පි කඩල වගේ දේවල්වලින් අපේ ශරීරයට උරා ගන්නා සීනි ප්‍රමාණය තමා මේ ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ. අපි මේ බත්, රොටී, කව්පි, කඩල වගේ දේවල් කාපුවහම හිතන්නකෝ අපේ ශරීරයේ සීනි ප්‍රමාණය සියයට අසුවකින් වාගේ වැඩි වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා 80%කට වැඩියි. මේ සීනි උරාගන්නා වේගයේ අඩුකර ගන්න පුළුවන් මේ විදිහට ආහාරයට පොල්තෙල් මිශ්‍ර කිරීමෙන්. එවිට ශරීරයේ වැඩිවන සීනි ප්‍රමාණය එකපාරටම වැඩි වෙන්නේ නැහැ. එය ඉතාම හිමින් තමයි වැඩි වෙන්නේ. ඒ අතරතුර අපේ ශරීරයේ සිදු කරන විවිධ ක්‍රියාකාරකම් හරහා මේ සීනි අතිරික්තයක් ලෙස රඳවා නොගෙන දහනය කළ හැකි වෙනවා. ඒ නිසා ඒ විදිහට ආහාරයට පිරිසුදු හොඳ පොල්තෙල් ස්වල්පයක් එකතු කරන්න පුළුවන් නම් එය අමතර වාසියක් වෙනවා කියලා මට කියන්න පුළුවනි.
උපදෙස් – හෘදරෝග විශේෂඥ වෛද්‍ය
ගෝඨාභය රණසිංහ
