Monday, November 10, 2025
Epaper
Home Highlightsනව යොවුන් වියට තහංචි දැමිය හැකිද?

නව යොවුන් වියට තහංචි දැමිය හැකිද?

by Thanushika

“ප්‍රියා ලොකු අක්කා සෑහෙන ප්‍රශ්නෙක ඉන්නේ. පොඩ්ඩක් කතා කරලා බලන්න “

“ හදිසියක් ද? “

“නෑ නෑ, දුවගෙ affair එකක් තියෙනවලු. ඒකත් එයාගේ පන්තියේම පිරිමි දරුවෙක් එක්ක.”

“ අනේ මම අක්කට කෝල් එකක් ගන්නම්. එයා මේක ප්‍රශ්නයක් කරගෙන ඇති. ඔය වයසෙ දරුවන්ට ඔහොම සම්බන්ධතා ඇති වෙනවනේ. ”

“ හරි ඔයා කතා කරලා බලන්නකෝ.”

හදිසි අසනීප තත්ත්වයකට බෙහෙත් ගන්න අපේ පවුලේ වෛද්‍යවරයා ළඟට ගිහින් ඉන්න වෙලාවේ සැමියගෙන් ආව දුරකතන ඇමතුමට උත්තර දුන්නේ ඒක හදිසිම අවස්ථාවක්ද දන්නැති නිසා. නමුත් ඒ ඔහුගේ අක්කාගේ ප්‍රශ්නයකට විසඳුමක් හොයාගෙන.

නව යොවුන්වියේ ඉන්න දරුවෙකුගේ වෙනස් වීම්, ඔවුන් හැඟීම් හුවමාරු කරගන්න විදිහ වෙනස්. ඒ කාලය මවුපියන් සීරුවෙන් පසුකළ යුතු යුගයක්. ඔවුන්ගේ ආත්ම විශ්වාසයට, ආත්මාභිමානයට පුංචි හෝ සීරීමක් නොවන්නට ඔවුන් යහපත් දේ විතරක් තෝරගන්න උදවු කරන එක ටිකක් අසීරු කාරණාවක්. මොකද, අපි ඒක විෂම සමාජයක කරන්න ඕනි නිසා.

මම හැමදාම ප්‍රශ්නයක් ආවාම කතා කරලා නිදහස් කරගන්නවා. ඒ පවුලේ වෛද්‍යවරයා එක්ක.

“Doctor, මට පොඩි වෙලාවක් කතා කරන්න පුළුවන් ද?”

“ඔව්, කතා කරමු.”

“මගෙ දෙවැනි දුවට දැන් අවුරුදු පහළොවක්. මගෙ මහත්තයගෙ අක්කගෙ දුවත් ඒ වයසෙමයි. මේ වයස හරි අමාරු කාලයක්නේ doctor. විරුද්ධ ලිංගිකයන්ට ඇදෙන කාලයක්නේ. දැන් අපේ අක්කා ඉන්නේ දරුවා ගැන අන්න ඒ වගේ ප්‍රශ්නෙක.“

“මෙහෙමයි අම්මා, නව යොවුන් වියේ පසුවන දරුවන් ගැන කතා කරද්දි ඒ දරුවො ශාරීරික සහ මානසික වෙනස්කම්වලට මුහුණ දෙන අය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 12-14 අතර වයස් සීමාවලදී දරුවන් වැඩිවියට පත්වීම සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ “මල්වර” වීම. ඊට අඩු වයසින් වැඩිවියට පත්වන දරුවොත් ඉන්නවා. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ගත්තහම හෝමෝනවල වෙනස්කම් එක්ක ශාරීරික සහ මානසික වෙනස්කම් රාශියක් සහිතව දරුවන් පරිණතියට පත්වෙන එක්තරා කාලයක් එනවා. මේක ගොඩක් වෙලාවට අවුරුදු 12-16 අතර තමයි සිද්ධ වෙන්නේ. එතකොට ශරීරයේ යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ තමයි ගැහැනු දරුවකුගේ උකුළ පළල් වීම, පියයුරු වර්ධනය වීම, සම මෘදු වීම, කොණ්ඩේ දික්වීම, කටහඬ සුමට වීම, ඉකිලි, කිහිළි ප්‍රදේශවල රෝම වර්ධනය වීම වැනි කාරණා. මේ ගැන මවුව්පියෝ අවධානයෙන් ඉන්න ඕ‍ෙන. පිරිමි දරුවෙක් ගත්තාම ලිංගේන්ද්‍රිය වර්ධනය වෙනවා රැවුල වැවෙනවා. කටහඬ ගොරෝසු වෙනවා. ඉකිළි කිහිලි ආශ්‍රිතව රෝම හටගන්නවා. ගැහැනු සහ පිරිමි දරුවන් දෙගොල්ලොම මේ කාලසීමාවේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වීම සිද්ධ වෙනවා. මේවා සාමාන්‍ය දේවල්.”

“ඒක සාමාන්‍ය තත්ත්වයක් වුණාට doctor, අපි දරුවන්ට ඒ ඒ වයසෙදි මේ හැමදේම පැහැදිලි කරලා දෙන්න ඕ‍ෙනනේ? “

“ඔව්, අනිවාර්යයෙන්ම. අපි එයාලව ඒ සම්බන්ධව දැනුම්වත් කළ යුතුමයි. මොකද, නව යොවුන් වියේ පසුවන දරුවන් ඔවුන්ගේ ශාරීරිකව ඇතිවන වෙනස්කම් සම වයසේ පසුවන අයත් එක්ක සංසන්දනය කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ගැහැනු දරුවෙක් නම් කෙනකුගේ පියයුරු කුඩා වීම සහ කෙනකුගෙ පියයුරු විශාල වීම ගැන හිතනවා. ඊට අමතරව උකුළ පළල් වීම අඩුයිද කියලා හිතනවා. මේ කාලයේදී ගැහැනු දරුවකුගේ තන පුඩුව ඉදිරියට නෙරා ඒම සිද්ධ වෙනවා. නමුත් සමහර අයගේ පිටතට එන්නෑ. මේ ගැනත් ඔවුන් හිතන්න ගන්නවා. නමුත් මවුපියන්ට කියන්න බය වෙනවා. පිරිමි දරුවෙක් නම් උදෑසන අවදි වුණාම ලිංගය ප්‍රාණවත් වෙලා තිබීම, ස්වප්න මෝචනය කියන දේවල් ඇතිවෙනවා. ඒවා සාමාන්‍ය දේවල් වුණත් මවුපියන් බනීවි යැයි බියෙන් මානසිකව පීඬා විඳිනවා. අන්න ඒ නිසා අපි එයාලා එක්ක මේ දේවල් විවෘතව කතා කරන්න ඕ‍ෙන. “

“සමහර වෙලාවට සමහර හැඟීම් එයාලට පාලනය කරගන්න තේරෙන්නෙත් නෑ නේද doctor ? මම හිතන්නේ ඔය හේතුව නිසා තමයි ගැහැනු දරුවො හිතන්නවත් බැරි විදිහට සුදුසු නැති සම්බන්ධතාවල පැටලෙන්නේ.?”

“ඔව්. අපිට වුණත් නුපුරුදු දේකට හුරු වෙද්දි විවිධ වැරදීම් සිද්ධ වෙනවා. හිතාගන්න බැරි අවස්ථා එනවා මේ කාලසීමාවේදී. මවුපියන් විදිහට ඔවුන්ගේ හැඟීම් දැනගෙන ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ලිංගික සෞඛ්‍ය පිළිබඳ ඔවුන්ව දැනුවත් කළ යුතු වෙනවා. ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබාගත හැකි පුවත්පත්, සඟරා ගැන ඔවුන්ව දැනුවත් කළ යුතුයි. මේ කාලයේදී පුද්ගලික පිරිසුදුභාවය පවත්වා ගැනීමත් ඉතා වැදගත්. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය ඇතිවුණත් මේ වයස එවැනි සම්බන්ධතා ඇතිකර ගැනීමට සුදුසු වයසක් නොවන අතර එය අධ්‍යාපනයට බාධා විය හැකි බැවින් එය කාරුණිකව දරුවන්ට වටහා දිය යුතු වෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළක්වා ගන්නත්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් මිදීමටත් ඔවුන්ට උපදෙස් ලබා දිය යුතු වෙනවා. මේවා අපි හංගලා තියන්න ඕ‍ෙන දේවල් නෙමෙයි. “

“ස්වයං වින්දනය කියන්නෙ මේ වයසේ දරුවො ඇබ්බැහි වෙන කාරණාවක්නේ. ඒක මවුපියන්ට මාරම ප්‍රශ්නයක් “

“මෙහෙමයි අම්මා, ස්වයං වින්දනය කියන්නේ බොහෝ දෙනෙක් සිදු කරන ස්වභාවික ක්‍රියාවක්. ඒවගේම සතුට ලබා ගැනීම සඳහා තිබෙන ඉතාම ආරක්ෂිත ක්‍රමයක්.මේකෙ හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. හොඳ ගැන කතා කළොත් ස්වයං වින්දනය කිරීමෙන් කිසිවෙක් ගැබ් ගැනීමකට ලක්වෙන්නෙ නෑ. ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරු වෙන්නෙත් නෑ. ඊට අමතරව ස්වයං වින්දනය නිසා ලිංගික තෘප්තියට පත්වෙනවා. කෙනකුගේ ආතතිය දුරු වෙනවා. විශේෂයෙන්ම ලිංගික ආතතිය දුරුවෙනවා. මේකේ තියෙන නරක පැත්ත තමයි ස්වයං වින්දනයට ඇබ්බැහි වීම. මේ වයස් දරුවන්ට මේ අලුත් අත්දැකීම කොහොමද පාලනයක් ඇතුව කරන්නේ කියන එක තේරුමක් නෑ. මේකට ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනයට බාධා වෙනවා. රැකියාවට බාධා වෙන්න පුළුවන්. අසභ්‍ය දර්ශන නැරඹීමට දරුවන් ඇබ්බැහි වෙන්න පුළුවන්, අනාගතයේදී තමන්ගේ සහකරුවා සහ සහකාරිය අතර තියෙන සම්බන්ධතා බිඳවැටීමටත් මේක හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව නිවැරැදි දැනුම්වත් කිරීමක් දරුවන්ට අවශ්‍යයි.“

“මේ කරුණු කාරණා මේ වයසේ දරුවො ඉන්න අම්මලාටත් ගොඩක් වැදගත් doctor.”

නව යොවුන් වියේ දරුවන්ගේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ප්‍රශ්නයක් ලෙස නොව, නිවැරදි මෙහෙයවීමක් මත අනාගතය සුන්දර කර දිය හැකි කාලවකවානුවක් බව සහතිකය. සෑම වැඩිහිටියන්ගේ යුතුකමක් සේම වගකීමක් බව ද සිහි තබා ගැනීම වැදගත්ය. අවසානයේ, තහංච් සහ තරවටු නොව සුහදශීලීත්වය සහ ආදරය ඔවුන්ට බෙදා දෙන්න.

උපදෙස්

වෛද්‍ය නිමාලි නුවන්දිකා

BAMS (University of Colombo)

රුවංගා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?