Monday, September 15, 2025
Epaper
Home Beautyවයසට යාම අඩු කරන මොකක්ද මේ PRP

වයසට යාම අඩු කරන මොකක්ද මේ PRP

by Thanushika

වයසට යාම අප කාටත් මුහුණ දීමට සිදුවන පොදු ධර්මතාවකි. එසේ වුවත් වයසට යාමට අකැමැත්තක් අප කා තුළත් පවතී. වයසට යාමේ දී එය බාහිරින් පෙනෙන්නට ගන්නේ රූපයෙනි. විශේෂයෙන් ම සම වයසට යාම නිසා පුද්ගලයකුට වයස්ගත පෙනුමක් දිස් වේ. මේ නිසා සම වයසට යාමේ දී එහි ඇති ඇදෙන සුළු ස්වභාවය මදින් මඳ වියැකී සමේ රැලි ඇති වේ. සමේ එල්ලෙන සුළු ස්වභාවයක් ඇති වේ. මේ තත්ත්වය නැතිකර ගැනීම සඳහා යම් යම් ප්‍රතිකර්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පැවතිය ද ඒ සඳහා සිදු කරන නවීන ක්‍රමෝපායයන් පිළිබඳ දැනුම්වත් වෙමු.

වයසට යාමේ ශීඝ්‍රතාව අඩු කිරීම සඳහා සමට සිදු වන වෙනස්කම් අවම කරගැනීමට බොහෝ දෙනෙක් විවිධාකාර ප්‍රතිකර්ම සිදු කරනවා. ඇන්ටි ඒජින් ක්‍රීම්, විවිධාකාර පෝෂණ අතිරේක ලබා ගැනීම, සමට සත්කාර සිදු කිරීම, විවිධ පෙති වර්ග ආදිය මේ අතර විශේෂයි. සම වයසට යාමේ සීඝ්‍රතාව අඩු කරන ප්‍රතිකර්ම ගැන කතා කිරීමේ දී විවිධ ප්‍රතිකාර වර්ග ද වේ. මෙහිදී රූපලාවණ්‍ය ශිල්පීන් විසින් සිදු කරන ෆේෂල් ඇතුළු ප්‍රතිකර්ම තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු සිදු කරන ප්‍රතිකර්මත් තිබෙනවා.

PRP එහෙමත් නැත්නම් Platelet Rich Plasma කියන්නේ අද වන විට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වී තිබෙන සම වයසට යාමේ ශීඝ්‍රතාව අවම කරන ප්‍රතිකර්මයක්. බොහෝ දෙනෙක් හිතන්නේ මෙය රූපලාවණ්‍ය සඳහාම කරන ප්‍රතිකර්මයක් ලෙසයි. නමුත් මෙය මුහුණට විතරක් නෙමෙයි, විකලාංග ශල්‍ය වෛද්‍යවරු විසින් විකලාංග තිබෙන අයට දණහිස් අමාරු සුව කිරීම සඳහා, පටක සුව කිරීමට හා වර්ධනය කිරීමට ඒ වගේම පිලිස්සීම් තුවාල ඇති අයගේ එම තුවාල සුව කිරීම සඳහා ද යොදා ගන්නා එක් ක්‍රමයකි. ප්ලාස්ටික් වෛද්‍යවරු ද මේ PRP ක්‍රමය ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා. රූපලාවණ්‍ය වෛද්‍ය ක්‍රමයේ දී සම වයසට යාම නිසා සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විනාශ වන සෛල නැවත අලුත් වැඩියා කිරීමට, සමේ කොලජන් තත්ත්වය වර්ධනය කිරීමට, නව සෛල නිපදවීමට, සමේ ඇතිවන රැලි ස්වභාවයන් අඩු කිරීමට, සමේ කුරුළෑ වළවල් තිබේ නම් ඒවා අවම කිරීමට සමේ ස්වභාවය වැඩි දියුණු කිරීමට භාවිත කළ හැකි සාර්ථක ප්‍රතිකර්මයකි.

මෙහිදී අපේ රුධිරයෙන් ම ගන්නා Platelet Rich Plasma කොටස නිසා අසාත්මික වීම් ද අඩු බව කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමාගේ ලේ තමාටම අසාත්මික නොවන නිසා මෙහි අවදානම් තත්ත්වය ඉතාම අවමයි. මෙය ඉතාම සැලකිල්ලෙන් හා පරෙස්සමෙන් සිදු කළ යුතුයි. මෙහිදී ප්‍රතිකර්ම සඳහා යොදා ගන්නේ රුධිරයේ ඇති PRP කොටස පමණයි. මෙය පරෙස්සමට සිදු කළ යුතු වන්නේ අපේම රුධිරය අරන් හමට යොදා සිදු කරන ප්‍රතිකර්මයක් වන නිසයි. මෙයින් විසබීජ ශරීර ගත වීමට වැඩි ඉඩක් ඇති නිසා සෞඛ්‍යාරක්ෂිතව මෙය සිදු කළ යුතුයි.

මෙම ප්‍රතිකර්මය මාසයකට වරක් බැගින් මාස3ක් වත් සිදු කළ යුතුයි. ඉන්පසුව මාස 3-4කට වරක් මෙය කිරීමෙන් ඔබේ සමේ තත්ත්වය දියුණුකර එය රැක ගැනීමට පුළුවන්. මේ ප්‍රතිකර්මය හිසකෙස් සඳහාත් සිදු කළ හැකියි. හිසකෙස්වල ඝනත්වය වැඩි දියුණු කර ගැනීමට සහ හිසකෙස් වැවීම වර්ධනය කර ගැනීමට මේ මඟින් හැකියාව ලැබෙනවා. නමුත් මෙය තට්ටය පෑදුණු අයට නැවත හිසකෙස් වවා ගැනීමට සිදු කරන ප්‍රතිකර්මයක් නොවේ. මෙය හිසකෙස් තිබෙන අයගේ එම හිසකෙස්වල තත්ත්වය දියුණු කිරීම සඳහා යොදාගත හැකියි.

යම් රෝගී තත්ත්වයක් සඳහා ‍ඖෂධ භාවිතා කරන අය මේ ප්‍රතිකර්මය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. සම සුදුකර ගැනීම සඳහා බ්ලීචිං ක්‍රීම් වර්ග හා යම් යම් දේ සිදුකර ඇත්නම් මේ ප්‍රතිකර්මය කිරීමට පෙර එය සිදු කරන ස්ථානයේ සිටින වෛද්‍යවරයාට ඒ දේවල් ගැන පැවසිය යුතුයි. මෙහි තමාගේම රුධිරයෙන් සිදු කරන දෙයක් වුවත් සම හිරිවැටීම සඳහා ආලේපයක් ගල්වන බැවින් මේවා ප්‍රතික්‍රියා කරන ආකාරය ගැන දැන ගැනීමට එය පැවසීම ඉතාමත් වැදගත්. දියවැඩියාව ඇති අයෙක් නම් මේ ප්‍රතිකර්මය සිදු කිරීමේ දී මෙන්ම සිදු කිරීමෙන් පසුවත් සම වඩාත් හොඳින් රැක බලා ගතයුතු වන්නේ සමේ කුඩා සිදුරු ඇති ඒවා ආසාදනය විය හැකි නිසයි.

ප්‍රතිකර්මය කළ පසුව යම් වේලාවක් යන තෙක් සමට දූවිලි නොවදින ලෙස, දහදිය නොදමන ලෙස සිටිමින් සම ප්‍රකෘති තත්ත්වයට පැමිණෙන තෙක් සිටිය යුතුයි. මෙහිදී අතින් මුහුණ ඇල්ලීම ද නොකළ යුත්තේ අතේ විසබීජ තිබිය හැකි නිසයි. මේ ආකාරයට දිනක් පමණ සම රැක ගැනීම වැදගත්. ඒ වගේම වෛද්‍යවරයා නියම කරන නිෂ්පාදනයන් සම පිරිසුදු කිරීමේ දී මෙන්ම දිනපතා භාවිත කළ යුතුයි. නැවතත් පෙර පුරුදු බ්ලීචිං අඩංගු ක්‍රීම් හා අනෙකුත් දේවල් භාවිත කිරීමෙන් ඔබ අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබී යාමට පුළුවන්.

 

උපදෙස් –

වෛද්‍ය ශානිකා අර්සකුලරත්න MBBs, PGD Dip Dermatology UK

MSC, Anti aging UK

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?