වර්තමානයේ දී වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් තමාගේ හිසෙහි හටගෙන ඇති හිස්සොරි නිසා හරිම අපහසුතාවයකින් සහ පීඩනයකින් ඉන්නවා. කැමැති විදිහකට හෙයාර් ස්ටයිල් එකක්වත් දාන්න බැහැ. කළු පාට ඇඳුම් අඳින්න බැහැ, කොච්චර නෑවත් වැඩකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි හිස්සොරි නිසා හමේ විවිධ ආසාදන ඇතිවෙනවත් වැඩියි. ඒ නිසා හිස්හොරි ඇති වීම වළක්වා ගැනීමට පිළියම් යෙදීම වගේම හිස්හොරි රෝගයෙන් ඔබ දැනටමත් පීඩා විඳින්නේ නම් මෙම ලිපිය ඔබට වැදගත් වේවි.
පුද්ගලයන්ගේ සම මතුපිට ඇති සෛල ස්ථරය නිරතුරුවම ගැලවී යාම ස්වාභාවිකව සිදුවන ක්‍රියාවලියක්. ස්නානය කිරීමේ දී තදින් ඇඟ අතුල්ලන විට සම මතුපිට ඇති සෛල ස්ථරය ඉවත් වීමක් සිදු වෙනවා. මෙම ක්‍රියාවලියම හිස් කබලේ මතුපිට සමෙහි ද සිදු වෙනවා. මේකට තමයි හැමොම හිස්හොරි කියලා කියන්නේ.
තව දෙයක් තමයි අපි හිතනවා හැමදාම හොඳට ෂැම්පු දාලා, හිස්කබල අතුල්ලලා නෑවහම හිස්හොරි ඉවත් වෙනවා කියලා. නැහැ එහෙම වෙන්නේ නැහැ. එයින් සිදු වෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත්පැත්ත. මේ විදිහට කළාම වෙන්නේ හිස්හොරි තවත් වැඩිවෙන එක. හොඳම දේ තමයි මෘදු ෂැම්පු එකක් භාවිත කරලා දවසක් හැර දවසක් නාන ඒක. විශේෂයෙන්ම උණුසුම් දිනවල ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා සම ඉරි තැළුණු ස්වභාවයක් ගන්නට පුළුවන්. මේ තත්ත්වය ඔබේ හිසට ද බලපාන බැවින් හිසෙහි සම වියළීමට ලක් වී හිස් හොරි ඇතිවෙනවා. එවිට හිස් කබල මතුපිට හිස්හොරි සෑදීම වේගවත් වෙනවා.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්ත්වය හැඳින්වෙන්නේ “දාරුණක” ලෙසින්. දාරුණක නැතහොත් හිස්හොරි ආයුර්වේදයේ ක්ෂුද්‍ර රෝග යටතේ කාණ්ඩ ගත කර ඇත. තවද ආයුර්වේදයේ වාත, පිත්ත, කඵ තුනෙහි ඇති වූ අසමතුලිතතාවය නිසා ඇතිවූ රෝග තත්ත්වයක් ලෙසත් මෙය සලකයි.
පොදුවේ ගත් කළ, නීරෝගි හිස්කබලේ ඇති මියගිය සෛල, මාසයක් තුළ ගැලවී යයි. නමුත් ඔබට හිස්හොරි ඇතිනම්, සෑම දින 2 -7කට වරක්ම මෙම ක්‍රියාවලිය සිදු වේ. ආයුර්වේදයට අනුව හිස්හොරි තත්ත්වයේ රෝග ලක්ෂණ කිහිපයකි. කැසීම, සුදු පැහැති කොරපොතු(පිටි වැනි ව්‍යුහයන්), හිස්කබලේ වියළි බව, හිසකෙස් ගැලවී යාම සහ සමහර අවස්ථාවලදී ඇසිපිය කැසීම වැනි ලක්ෂණ දැකිය හැකිය.
සාමාන්‍යයෙන් අපේ සම මැරුණ සෛල ස්ථරය සෑම දින 28කට වරක්ම ඉවත් කරනවා. ඒක අපි හැමෝම දන්නවා. අපේ හිස් කබලත් මේ විදිහට මැරුණ සෛල ඉවත් කරනවා. ඉතින් මේ ඉවත් කරන මැරුණ සෛල අක්‍රමවත් ආකාරයට සිදුවීම හිස්හොරි ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙසේ ඇතිවන්නා වූ හිස්හොරි වර්ග කිහිපයක් තියෙනවා.
හිස්කබල දැඩිව වියළීම නිසා ඇතිවන හිස්හොරි
නිතරම උණු වතුර නාන කෙනෙක් නම්, නිතර නිතර අව්වේ යන කෙනෙක් නම් ඔබටත් මේ තත්ත්වය අනිවාර්යෙන්ම ඇති. හිස මතුපිට රුධිර සංසරණය අඩුවීම, මද ස්නායු සන්නිවේදනය, අඩු පෝෂණ තත්ත්වයන්, මානසික ආතතිය, හිස්කබල මත පවතින අපිරිසුදු බව, විවිධ ෂැම්පෝ වර්ග භාවිතය හා හිස හොඳින් නොසේදීම වැනි හේතු මෙහිදී බලපායි.
තෙල් සහිත හිස්හොරි
බොහෝවිට තෙල් සහිත සමක් ඇති කෙනකුගේ මෙම වර්ගයේ හිස්හොරි දක්නට ලැබෙයි. හිස්කබල මතුපිට ද දැඩි තෙල් සහිත බවක් පෙනෙන්නට ඇත. හිස මතු පිට ඝනකම් සුදු පැහැති තට්ටුවක් ලෙස මෙම හිස්හොරි පවතියි. බොහෝ විට ඒවා සීබම් සමඟ මිශ්‍ර වී සමට ඇලී ඇති ස්වභාවයක් පෙන්වයි. මේවා කැඩීමෙන් හිස්කබල තුවාල වී ලේ ගැලීමක් වුවද සිදුවිය හැකියි. සමහර අවස්ථාවලදී කන් තුළ පවා දක්නට ලැබේ. මෙය පහසුවෙන් තවත් පුද්ගලයකුට බෝවීමේ හැකියාවක් ද පවතී. ඒ නිසා එවැනි රෝගීන් තුවා, පනා, ඇඳ ඇතිරිලි ආදිය පාවිච්චි කරන විට තමාට පමණක් වෙන්ව පාවිච්චි කරන්න.
දිලීර වැනි රෝග තත්ත්වයන් නිසා හටගන්නා හිස්හොරි
ගොඩක් වෙලාවට මේ හිස්හොරි කියන තත්ත්වයන් ඇතිවෙන්නෙ තරුණ වියට එළඹීමත් එක්කම. ඒ කාලෙදි ඇතිවන හෝමෝන අසමතුලිතාවයන් නිසා දිලීර ක්‍රියාකාරී වීමෙන් ඒ දිලීරය මඟින් ස්‍රාවය වන ඇසිඩ් මඟින් හිස් කබල ආසාදනය වී තෙත් ගතියක් සමඟ හිස්හොරි ඇතිවෙන්න පුළුවනි. මෙහිදී නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.
අපි හිසකෙස් සඳහා භාවිත කරන විවිධ නිෂ්පාදන නිසා හටගන්නා හිස්හොරි
හිසකෙස් විවිධ විලාසිතාවලට හැඩගන්වද්දී අපි විවිධ රසායනික දේවල් භාවිත කරනවා. මේ දේවල් හිස් කබලේ රැඳුණම ඒත් එක්ක කුණු දූවිලි රැඳෙන්න පුළුවන් වගේම මේ දේවල් නිසා හිස් කබල වියළි වෙන්නත් පුළුවනි. එයිනුත් හිස්හොරි ඇති වෙනවා.
මානසික ආතතිය නිසා ඇතිවන හිස්හොරි
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව යමෙකු ආතතියට පත්වන විට ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව අඩුකර පිත්ත දෝෂය ඉහළ යාමක් සිදුවේ. මෙවැනි අවස්ථාවකදී හිස්හොරි ඇතිවීමේ හා වැඩි වීමේ සම්භාව්‍යතාවය අතිශය වැඩියි.
හිස්හොරි ඇති වීමට මේ සියල්ල බලපෑවත් ආයුර්වේදයට අනුවනම් හිස්හොරි හැදෙන්න ප්‍රධානතම හේතුව වන්නේ අම්ල හෝ වාත කෝපවීමකි. එහිදී මානසික ආතතිය, අධික ලෙස ඇඹුල් වර්ග ආහාරයට, ගැනීම දිගු කාලයක් සීතල ජලය පානයට /ස්නානයට භාවිත කිරීම. අධික ලෙස දුහුවිල්ලට හෝ ඉරඑළියට නිරාවරණය වීම. නින්ද මදිකම, අධික ලෙස දහඩිය දැමීම මලමූත්‍ර පහකිරීම පමා කිරීම(මල බද්ධය/මූත්‍රා ආසාදන). සහ හිස්කබල තෙල් යොදා නිසි පරිදි සම්බාහනය නොකිරීමෙන් වියළි බවට පත්වීම වැනි හේතු බලපායි.
ප්‍රතිකාර
බටහිර ප්‍රතිකාරවලදී සිදු කරන්නේ හිස්කබලට බාහිරින් ආලේප කරන ෂැම්පු ප්‍රතිකාර පමණි. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම ඊට හාස්පසින්ම වෙනස් වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරන විට රෝගියාගේ ඉතිහාසය සහ රෝගියාට ඇති වෙනත් රෝග ද නිරීක්ෂණය කරයි. මෙම රෝගයට ප්‍රතිකාර ලබා දෙන්නෙත් ඒ ආකාරයටමයි. රෝගියාගේ හිස් කබලේ ස්වභාවය, සමේ ස්වභාවය, වෙනත් රෝග, රෝගියාගේ පිරිසුදුකම, ස්නානය, හිසේ ගල්වන දෑ මේ සියල්ල නිරීක්ෂණය කිරීමෙන් පසු රෝගයට හේතුව සොයා එයට ප්‍රතිකාර කරනු ලබයි. එහිදී තෙල් වර්ග ආලේපනය, ඖෂධීය තලප වර්ග ගැල්වීම, ශරීර අභ්‍යන්තරයට ලබා ගන්නා ඖෂධ ආදී විවිධ ක්‍රම මඟින් ප්‍රතිකාර කරනු ලබයි. එම ප්‍රතිකාර ක්‍රමය තෝරා ගනු ලබන්නේ රෝගියාගේ ස්වභාවය මතයි. මෙම රෝගයට නිවෙසේ දී කළ හැකි අත් බෙහෙත් ඕනෑ තරම් ඇතත් රෝගියාගෙන් රෝගියාට පවතින තත්ත්වය වෙනස් නිසා නිශ්චිතව ඖෂධයක් නියම කළ නොහැකියි. ආයුර්වේදයේ හිස්හොරි සුව කිරීමට ගන්නා මූලික ඖෂධ වර්ග අතර කීකිරිඳිය, නෙල්ලි, නිල් අවරිය, සුදුහඳුන්, වැල්මී, වද, අත්තන සහ මදුරුතලා ප්‍රධාන වේ. නමුත් ඒවාද ප්‍රතිකාරයට සුදුසු ලෙස සකසා ගන්නේ රෝගියාගේ ස්වභාවය මතයි.
ඒවගේම ඇතැමෙක් පොතු කබර රෝගය සහ හිස්හොරි රෝගය පටලවා ගනියි. පොතු කබර රෝගය සුව කිරීමට තරමක් වුවත් හිස්හොරි යනු නිට්ටාවටම සුව කළ හැකි රෝගයකි. ඉක්මන් සුවයක් ලබා ගැනීමට නම් ප්‍රතිකාර වගේම රෝගියාගේ ජීවන රටාව වෙනස් කර ගැනීම ද වැදගත්.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය
කාන්ති මදුරප්පෙරුම
විදුමිණි දිසාකරුණා