අද සමාජය දෙස බලන විට ජ්‍යෝතිෂය පිළිබඳ කිසිම දැනුමක් නොමැති පුද්ගලයකු වුවද කෝණ මාස ගැන අසා ඇත. ඒ වගේම කෝණ මාස කියූ පමණින් බියට පත්වේ. කිසිම සුබ වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට සෑම කෙනෙක්ම අකමැති වේ. නමුත් කෝණ මාස ගැන නිවැරදි අවබෝධය ඇත්තේ සුළු පිරිසකට පමණි.
කෝණ මාස යන්නෙන් අදහස් කරන්නේ සූර්යයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි හතරෙහි ගමන් කරන මාස හතරය. කෙටියෙන් මතක තබා ගැනීමට නම් හිරු බුධගේ සහ ගුරුගේ රාශිවල ගමන් කරන කාලසීමාවයි. සාමාන්‍ය ජ්‍යෝතිෂ මතය නම් මෙම මාස හතර තුළ කිසිම සුබ වැඩ කටයුත්තක් ආරම්භ නොකළ යුතුය යන්නය. විශේෂයෙන් නිවාස වැඩකටයුතු සහ කිසිම ස්ථිර වැඩක් කරනු නොලැබේ. සෑම වසරක් තුළම ජූනි මාසයේ 15 වැනි දින සිට ජූලි මාසයේ 15 වැනි දින දක්වා මිථුන කෝණ මාසය යෙදෙන අතර සැප්තැම්බර් මාසයේ 15 වැනි දින සිට ඔක්තෝබර් මාසයේ 15 වැනි දින දක්වා මාසය කන්‍යා කෝණ මාසයයි. එසේම දෙසැම්බර් 15 වැනි දින සිට ජනවාරි 15 වැනි දින දක්වා ධනු කෝණ මාසය යෙදෙන අතර මාර්තු මස 15 වැනි දින සිට අප්‍රේල් 15 වැනි දින දක්වා මීන කෝණ මාසය යෙදේ. එය දළ වශයෙන් දක්වා ඇත.
මෙම කෝණය යන්නෙන් අදහස් කරන්නේ සූර්යයාගේ අසුබ දෘෂ්ටි පථ ගමනකි. මෙය යෙදෙන්නේ ක්‍රාන්ති මාර්ගයක් නිරක්ෂ රේඛාවක් පදනම් කරගෙනය. සූර්යයා ගමන් කරනු ලබන්නේ යැයි විශ්වාස කෙරෙන ක්‍රාන්ති මාර්ගයක් නිරත රේඛාවක් යන දෙකම එකවිට එක වැටී කැපී යන ස්ථානයේ රවි ගමන් කරන්නේ හිරු මීන රාශිය තුළ ගමන් කරන කාලසීමාව තුළය. සූර්යයා නිරක්ෂ රේඛාවෙන් දකුණු පැත්තේ සිට උතුරු පැත්තට මාරු වන්නේද මේ කාලය තුළදීය. මෙය මීන කෝණයට වැටෙන අතර මාර්තු 15 ත් අප්‍රේල් 15 ත් අතර යෙදේ. නමුත් මෙම අසුබ කෝණය යෙදෙන්නේ මෙම මාසය තුළ එනම් මාර්තු 20, 21ත් යන දෙදින තුළය. එම නිසා සියලු සුබ කටයුතු මෙම දින දෙක තුළ පමණක් සිදු නොකිරීමට වග බලා ගත යුතුය. මෙම දින දෙක තුළ ගෙවල් වැඩ ආදී ස්ථිර වැඩ ආරම්භ කිරීමට නුසුදුසුය. එසේ කිරීමෙන් එම ගෙහිමියන් දිළිඳු වීමද වැඩ කටයුතු අතරමඟ කඩාකප්පල් වීමද සිදුවේ. රවි ග්‍රහයා මාර්තු මාසයේ 20 හා 21 දිනවල තම ක්‍රාන්ති මාර්ගයේ උතුරු පැත්තට ආරම්භ කර ඒ ගමනේ යා හැකි වැඩිම දුර ප්‍රමාණය වූ අංශක 23 යි කලා 27 ක් වූ දුර ප්‍රමාණය ගමන් කර නැවත දකුණට බරව ගමන් කිරීමට ආරම්භ කරනු ඇත. මෙය සාමාන්‍ය වශයෙන් ජූනි මාසයේ 20 හා 21 දිනවල ද රවිගේ දක්ෂිණායන ගමන ආරම්භ වන්නේ මෙතැන් සිටය. ජූනි මාසයේ 15 වැනි දින සිට ජූලි 15 වැනි දින දක්වා කාලය තුළ රවිගේ ගමනෙහි එක්තරා කෝණයක් යෙදෙන නිසා එය මිථුන කෝණ මාසය වශයෙන් හඳුන්වයි. මේ කාලයේදී පටන්ගත් ගෙවල්වලට සතුරු පීඩා ඇතිවේ. අසල්වැසියන්ගෙන් හා නැදෑයන්ගෙන් නොයෙක් කරදර ද ඇතිවේ. ඇත්ත වශයෙන්ම මෙම මිථුන කෝණ මාසයේ අසුබ කෝණයට වැටෙන දින දෙක නම් ජූනි මස 20, 21 යන දින දෙක පමණක් අත්හළ යුතුය. මෙම දින දෙක තුළ කිසිම ස්ථිර වැඩ කටයුත්තක් ආරම්භ නොකළ යුතුය. එම දින දෙක හැර මෙම කෝණ මාසය තුළ ඕනෑම සුබ දිනයක් තුළ බලවත් නැකැත් සාදා වැඩ කටයුතු ආරම්භ කිරීම සුබ දායකවනු ඇත.
කෝණ මාසයේ අසුබ දින හැර අනෙක් දිනවල සුබ වැඩ අරඹන්න.
කන්‍යා කෝණ මාසය යෙදෙන සැප්තැම්බර් 23 වැනි දින පමණ රවි නිරක්ෂ රේඛාවේ උතුරු පැත්තෙන් දකුණු පැත්තට මාරුවේ. දක්ෂිණායන සරත් ඍතුව ආරම්භ වන්නේද මෙතැන් සිටය. මාර්තු 20, 21 දිනවල රවි නිරක්ෂ රේඛාවෙන් උතුරු පැත්තට ගමන් කළ තැනේ සිට නිරක්ෂ රේඛාවෙන් දකුණු පැත්තට සංක්‍රමණය වන මේ දිනය දක්වා රවිගේ වාර්ෂික ගමනේ අඩක් හෙවත් අංශක 180 ත් නිමකොට ඇත. ඒ නිසා සැප්තැම්බර් මාසයේ 15 සිට ඔක්තෝබර් මාසයේ 15 දක්වා රවි කන්‍යාවේ ගමන් කරයි. මේ කාලයේදී නිවාස වැඩ හෝ මොනයම් හෝ ස්ථිර වැඩක් ආරම්භ කිරීම තුළින් නඩුහබවලට පැටලීම, සතුරු පීඩා ඇතිවීම, ලෙඩ දුක් ඇතිවීම, දරුවන්ගේ විවාහ කටයුතුවලට බාධා ඇතිවීමට නියමයි. නමුත් මෙම අසුබ කෝණය යෙදෙන්නේ සැප්තැම්බර් 23, 24 යන දිනයන් තුළය. ඒ අනුව මේ කෝණය යෙදෙන සැප්තැම්බර් 15 දින සිට ඔක්තෝබර් 15 වැනි දින දක්වා ඉහත දිනයන් අත්හැර අනෙක් ඕනෑම දිනයක් තුළ සුබ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. නමුත් ඉහත සඳහන් කෝණයට හසුවන දිනයන් තුළ වැඩ කටයුතු ආරම්භ කිරීම ඉතා අසුබදායකය. සැප්තැම්බර් මාසය තුළ ග්‍රහයන් ඉතා ප්රබලව තිබෙන අවස්ථා බොහෝය. එම ප්‍රබල නැකැත් අවස්ථාවන් තුළින් වැඩ නොගැනීම නුවණට හුරු නොවේ. එම අවස්ථාවන් ප්‍රබල කරගනිමින් සමාජයට බලවත් සුබ මුහුර්තයන් සකසාදීම උගත් බුද්ධිමත් ජ්‍යෝතිෂවේදීන්ගේ ද වගකීම වනු ඇත.
රවි තම දක්ෂිණායන ගමන කෙළවර කරන කාලය අවසන් කරමින් උතුරු දෙසට බරවී ගමන් කිරීමට පටන්ගන්නේ ධනු රවිය තුළය. රවි දකුණෙන් උතුරට හැරෙන විට නිරක්ෂ රේඛාවෙන් අංශක 23 කලා 27 ක් උපරිම වශයෙන් දකුණට ගොස් ඇති අතර ක්‍රාන්ති මාර්ගය ඇද යයි කියනු ලබන මේ කාලයේ රවිගේ ගමන් මාර්ගයේ එක් කෝණයක් වශයෙන් සලකනු ලබන ධනු කෝණ මාසයයි. මෙය යෙදෙන්නේ රවි ධනු රාශියේ ගමන් කරන දෙසැම්බර් මස 15 වැනි දින සිට ජනවාරි මස 15 වැනි දින අතර කාලයේදීය. එම ඇදය හෙවත් කෝණය ඇතිවන්නේ දෙසැම්බර් මස 22, 23 වැනි දින තුළය. මෙම දිනයන්වල ගොඩනැඟිලි වැඩ ආරම්භ කළේ නම් රැකී රක්ෂා කඩාවැටීම් සහ පවුලේ වැඩිහිටියන්ට විපත් ආදිය ඇතිවේ. මෙම ධනු කෝණ මාසයේ මේ අසුබ කෝණයට හසුවන එම දින දෙක හැර අනෙක් දිනයන්හි සුබ වැඩ ආරම්භ කිරීමෙන් සුබපල ලබා ගත හැකිය.
සුළු අපල තත්ත්වයන් වුව පල දෙයි
රාශි චක්‍රය අංශක 360ක් යුක්ත බව ඔබ අප සැම කෙනෙක්ම දන්නා කරුණකි. එය හතරට බෙදූ විට දුර ප්‍රමාණය අංශක 90කි. මීන කෝණයේ සිට මිථුන කෝණයට අංශක 90ක්ද, මිථුන කෝණයේ සිට කන්‍යා කෝණයට අංශක 90ක්ද කන්‍යා කෝණයේ සිට ධනු කෝණයට අංශක 90ක්ද පවතී. අංශක 90 දෘෂ්ටිය සාමාන්‍යයෙන් අසුබ දෘෂ්ටියකි. එනම් රවිගේ ගමන් මාර්ගයේ අසුබ දෘෂ්ටිකෝණයන් යෙදෙන්නේ මෙම මාස හතර තුළය. මෙම කෝණ මාස ඇතුළත ගොඩනැඟිලි ආදී වැඩ පමණක් නොව මංගල කටයුතු ආදිය සිදු කරන්නේ නම් එකී පුද්ගලයාගේ සුබ ග්‍රහ බලය යෙදෙන තාක් සුබ පල ගෙන දෙන අතර සුළු අපල කාලයක් ඇති වූ විට පවා එහි අපල තත්ත්වයන් පලදීමට පටන් ගනී.
පුරාණයේ සිට දෛවඥයන් මෙම කෝණමාස හතර තුළ සුබ වැඩ කිරීම අත්හිටුවා ඇත. ඉහත දැක්වූ කරුණු අනුව රවි ක්‍රාන්ති මාර්ගයේ අංශක 90 අසුබ දෘෂ්ටිය යෙදෙන තැන දින කිහිපය හැරෙන්නට මුල් මාසය පුරාම එම අසුබ තත්ත්වයන් පවතින බවක් නොපෙනේ. කාර්යබහුල මෙවන් යුගයක අවුරුද්දකට මාස හතරක් මෙසේ සුබ වැඩ කටයුතුවලින් වැළකී සිටීම ඉතා අපහසු කාර්යක් වන්නේය. ඒ නිසා ඉහත දැක්වූ දින 08 හැරුණු විට බලවත් ග්‍රහ ගමන් යෙදෙන්නේ නම් සෙසු දිනයන්හි වැඩ ආරම්භ කළාට කිසිම වරදක් නොමැති බවත් එයින් සුබ පල ලැබෙන බවත් අපගේද අත්දැකීමයි.
කෝණ මාස හතර තුළ අසුබ කෝණ දෘෂ්ටිය යෙදෙන දිනයන් සොයා ගන්නේ ධනු කෝණ මාසයේ රවි ග්‍රහයා අංශක 7 හි ගමන් කරන දිනයන් තුළ ධනු කෝණය යෙදෙනු ඇත. එය දෙසැම්බර් 22, 23 වේ. මීන කෝණය යෙදෙන්නේ මාර්තු මාසයේ රවි ග්‍රහයා අංශක 7 හි ගමන් කරන දින දෙක තුළය. මිථුන කෝණය යෙදෙන්නේ ජූනි මාසයේ රවි ග්‍රහයා මිථුන රාශියේ අංශක 7 හි ගමන් කරන දින දෙක තුළය. මෙම අසුබ ග්‍රහ දෘෂ්ටිය ගණනය කිරීමට නොහැකි අය මෙම මාස හතරම අත්හැර බලවත් සුබ නැකත් මඟහරිනවා ඇත. එය නුවණට හුරු නොවේ. දැන්වත් ඔබ මෙම මාස හතර තුළ යෙදෙන අසුබ දෘෂ්ටිය පමණක් මඟහැර සුබ බලවත් ග්‍රහ ගමන්, ග්‍රහ බලපෑම්, සැලකිල්ලට ගෙන තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා ගැනීම සුබදායකය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර