ජපන්නු හපන්නු යනුවෙන් ලොව ප්‍රකට කියමනක් වේ. ලොව ඔවුන්ව එසේ හඳුන්වනුයේ ඔවුන්ගේ නව සොයා ගැනීම් සහ නිමැවුම් අති ප්‍රබල හා විස්මිත බවින් සමන්විත වන බැවිනි. එමෙන්ම කිසියම් අභියෝගාත්මක තත්ත්වයක දී තමා බිඳ වැටී සිටීමට සුදුස්සකු නොවන බව විශ්වාස කිරීම ලොව දිනූ අයගේ අදහසයි. කින්ට්සුගී කලාව එකී යථාර්ථය මැනවින්ම ලොවට කියාදෙන අපූරු ජපන් කලාවකි.
‘කින්’ යනු ජපන් භාෂාවෙන් ‘රත්රන්‘ යන අර්ථය දෙන පදයකි. ‘ට්සුගී’ යනු ‘බැඳීම’ යන අර්ථය දෙන්නකි. ‘කිංසුකුරෝයි’ යනුවෙන් හඳුන්වන්නේ ද මෙම කලාවයි. රන් මුසු කරන ලද මැලියම් යොදා ගනිමින් කැඩී බිඳී වෙන් වී ගිය මැටි භාණ්ඩ නැවත බැඳීම හෙවත් යථාවත් කිරීම මෙහිදී සිදු වේ. මෙය ජපානයේ ඉතා පැරණි කලාවක් පමණක් නොව අප සැමට උසස් ජීවිතාදර්ශයක් ලබාදෙන අපූරු සංකල්පයකි. මෙහි ආරම්භය පහළොස්වැනි ශත වර්ෂය තෙක් පැරණිය. එනම්, එම යුගයේ දී ජපානයේ අශිකාගෝ යොෂිමාසා නම් ශෝගුන්වරයාගේ ප්‍රියතම මැටි බඳුනක් බිඳී යාම නිසා කනස්සල්ලට පත් වී ඔහු එහි වටිනාකම නැවත ලබා ගත හැකි ක්‍රමයක් සෙවීමේ දී මෙම කලාව ජපන් නිර්මාණකරුවන් අතින් බිහි විය.
කින්ට්සුගී කලාව තුළින් හැඩවන භාණ්ඩ කිසි විටෙකත් පෙර අරමුණ සඳහා භාවිත නොවේ. මන්ද මෙම කලාව තුළින් වටිනාකම් අහිමි වී ගිය බඳුන්වලට නව අලංකාරයක්, වටිනාකමක් ලබා දෙන බැවිනි. ප්‍රතිසංස්කරණයෙන් පසු එම භාණ්ඩ අලංකරණය සඳහා යොදා ගනියි. එසේ නොවන්නේ නම් ඒවා ප්‍රදර්ශනය සඳහා තබනුයේ ප්‍රදර්ශන කුටි තුළය. මෙම සංකල්පය ජීවිතයේ අභියෝග මැද ගත කරන ඔබ, අප සියලුදෙනා හට කියා දෙන්නේ බිඳීම් සහිත ජීවිතයට නැවත වටිනාකමක් ලබා දීමට අවස්ථාවක් ඇති බවයි. අවශ්‍ය වන්නේ බිඳීමට හේතු වූ සිදුවීම වටහා ගනිමින් එහි යථාර්ථය අවබෝධ කර ගැනීමයි.
කැඩුණු බිඳුණු බඳුන් නැවත සැකසීමේ දී ඇතැම් කැබලි ඉවත් කිරීමට සිදු වේ. ඒ වෙනුවට යොදා ගන්නා මැලියම් පිරවුම් නිසා බඳුනට ගෙන එනු ලැබෙන්නේ පෙර නොතිබි අපූරු අලංකාරත්වයකි. එය අසම්පූර්ණත්වය තුළින් වුවද අප සතු වටිනාකම් නැවත දැකීමට අපව හුරු කරවයි. එසේම මෙම කලාවේ දී කැඩී බිඳී යාම යනු අදාළ බඳුනෙහි ඉතිහාසයට අදාළ කරුණක් ලෙස සලකයි. එයින් අප තුළ ඇති වේදනාකාරී, අභියෝගාත්මක ඉතිහාසය අමතක කොට වර්තමාන මොහොතේ සුන්දරත්වය දැකීමට අපව හුරු කරවයි.
තවද මෙහිදී උත්සාහ දරන්නේ අදාළ පළුදුවීම් නැවත පෙර පැවති පෙනුමටම සකස් කිරීමට නොව, ඒවා රත්රන් ආලේපයෙන් දීප්තිමත් කිරීමටය. අප ජීවිතයේ ද යම් යම් පළුදුවීම් දෙස ධනාත්මකව බැලීමට මෙහිදී හුරු කරවයි. එනම්, වර්තමාන කඩා වැටීම් අනාගතයේ දී අප ජීවිතයට දීප්තිය ගෙන දෙන කදිම අත්දැකීම් ලෙස දැකීමට මෙහිදී චින්තනයක් ඇති කරවයි.
කෙසේ නමුත් මෙම සංකල්පය කලක් මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යමින් තිබුණු අතර, 2011 මාර්තු 11 වැනි දින ජපානයේ ඇති වුණු දරුණු භූමිකම්පාව හේතුවෙන් නැවත ජනතාව අතර ප්‍රචලිත විය. එහිදී මිනිසුන් සතුව වටිනා බඩු භාණ්ඩ රැසක් කැඩී බිඳී විනාශයට පත් විය. එම භාණ්ඩ නැවත සකස් කිරීම සඳහා මෙම කලාව වැඩි වශයෙන් භාවිත විය. පසුකාලීනව මෙම කලාව චීනය, වියට්නාමය, කොරියාව යන රටවල්වලට ද ව්‍යාප්ත විය. මෙම කලාව තුළ පවතින විස්මිත බව ඊට හේතුවයි.