දේශීය නර්තන කලාවේ සන්නාම අතර චන්දන වික්‍රමසිංහට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. දෙස් – විදෙස් ප්‍රසංග අතික්‍රමණය කරමින් නර්තනයේ රජ ගමනක යෙදෙන චන්දන වික්‍රමසිංහ අද තරුණී “අම්මාවරුනේ” ලිපි පෙළ රසවත් කරන්නට එක් වූයේ සිය සෙනෙහබර මෑණියන් ගැන මෙන්ම ආදරණීය බිරිය ගැන සිය හදපත්ලෙන්ම ගලා එන හැඟීම්, වචන බවට පත් කරමිනි.
මේ ලිපිය සැරසෙන්නේ චන්දන කියූ ඒ ප්‍රේමණීය වදන්වලිනි. ඒ අනුව පළමුවෙන්ම ඔහු සිය පෙම්බර මෑණියන් ගැන මෙසේ අදහස් පළ කළේය. “මගේ අම්මා ලලිතා වික්‍රමසිංහ. අපේ අම්මා කිසිදු කම්මැළිකමක් නැති බොහොම ධෛර්යවන්ත කාන්තාවක්. උදේ පාන්දරම අවදි වෙලා අපට කෑම බීම හදලා දීලා ඇය රැකියාවටත් යනවා. ඇය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලඝු ලේඛිකාවක් ලෙස සේවය කළා. ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක් ලෙස ද කටයුතු කළ අපේ අම්මාට හොඳට කවි කියන්නත් පුළුවන්.”
චන්දන සිය මව හා බැඳුණු දිවියේ අමතක නොවන මතක සිහිපත් කළේ මෙයාකාරයෙනි.
“අම්මා සහ මම අතර අමතක නොවන ප්‍රධාන සිදුවීම් තුනක් තිබෙනවා. අනෙක් පිරිමි ළමයින්ට වඩා මගේ ඇඟේ තිබෙන අසාමාන්‍ය නර්තන හැකියාව අවබෝධ කර ගත් මගේ අම්මා මං පුංචි සන්ධියේදීම මාව නැටුම් පන්තියකට ඇතුළත් කරනවා. මගේ නර්තන දිවියේ ආරම්භය සනිටුහන් වන්නේ ඒ විදිහටයි.
යොවුන් වියේ මම ගෑනු ළමයෙක් සමඟ යාළු වුණු බව සැල වූ සැණින් “ගෑනියෙක් ගන්න කලින් කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් මිනිහෙක් වෙයන්” යැයි අම්මා මට අවවාදයක් දුන්නා. ඒ අවවාදය මගේ හිතේ දැඩිව පැළපදියම් වුණා. එයත් අම්මා සහ මා අතර වූ අමතක නොවන සිදුවීමක්. මේ වන විට මගේ බිරිය සහ දරුවන් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත් රාජකාරි කටයුතු නිසා මම ලංකාවේ රැඳී ඉන්නවා. ඉතින් අදටත් අපේ අම්මා මං ගැන සෙවිල්ලෙන් ඉන්නවා. මේ වන විට ඇගේ වයස අවුරුදු අසූ හයක්. ඉතින් ඇතැම් විට මගේ තනි නොතනියට නිෙවසට පැමිණෙන ඇය අදටත් මා ගැන සොයා බලනවා. අපේ අම්මා අපට කොතරම් ආදරේ වුණත් අපිට වඩා පවුලේ අනෙක් අය ගැන සොයා බැලුවා යැයි මා විශ්වාස කරනවා. පුංචි කාලේ අප ඒ ගැන විස්සෝපයෙන් සිටියත් පරිණත වෙද්දී එය ඇයගේ හිත හොඳකම යැයි අවබෝධ කර ගත්තා. අදටත් ඇය මගේ නැටුම් පන්තිවල දරුවන් දහස් ගණනක් ගැන ඉතා වුවමනාවෙන් සොයා බලන මනුෂ්‍යත්වයෙන් පිරි අපූරු චරිතයක්.”
දරුවෙක් යහපත් පුරවැසියෙක් කරන්නට අම්මා කෙනෙකු තරම් අව්‍යාජව වෙහෙසෙන්නියක් තවත් සිටියි ද? වයසින් මුහුකුරා ගියද චන්දනට සිය මව තවමත් අවවාද දෙන ආකාරය ගැන ඔහු පැවසුවේ මෙවන් කතාවකි. මම මොන නිර්මාණය කළත් අපේ අම්මා එයින් සෑහිමකට පත් වෙන්නේ නෑ. ඉතින් ඇය එහි අඩුපාඩු දකින තරමටම මම ඒ අඩුපාඩු සකසා ගත්තා. “නැටුම් ගැන දරුවන්ට දැනුම ලබා දිය යුත්තේ ආදරය සමඟ කරුණාව ද සමඟයි” යනුවෙන් ඇය මට අවවාද කළා. එසේ නැත්නම් දරුවන් ඔබගේ අවවාද පිළිගන්නේ නැතැයි අම්මා මට දුන් අවවාදය මං හිස් මුදුනින් පිළි ගත්තා. ඒ වගේම ලිට්ල් ස්ටාර් වැඩසටහනේදී මං දරුවන් ආමන්ත්‍රණය කරන ස්වරය පිළිබඳව අම්මා දැඩි ලෙස විවේචනය කළා.
“නැති බැරි මොහොතෙදී පිහිටට ඉන්නේ මවුනි පියාණෙනි ඔබ පමණයි” යන ගී පද අරුත් සැබෑ කරමින් චන්දන වැටෙන හැම මොහොතකම ඔහුගේ මව ඔහු ඉන්ද්‍රඛීලයක් කරන්නට අවවාද උපදේශ ලබා දෙන්නීය. ඒ ගැන චන්දන අප සමඟ මෙසේ කියා සිටියේය. නර්තන ක්ෂේත්‍රයේ සිටින නර්තන ශිල්පීන් අතර දැවැන්ත ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නේ මං. මට නිතරම ප්‍රශ්න දැම්මෙත් ක්ෂේත්‍රයේම පිරිස් වීම කනගාටුවට කරුණක්. විදෙස් සංචාර, ප්‍රදර්ශන, සංදර්ශන ආදියේදී මං මුහුණ දුන් ඒ ප්‍රශ්නවලදී අම්මා මට විශාල ශක්තියක් වුණා. මාගේ සංදර්ශන නැවැත්වීම, විදෙස් සංචාරවලින් මාව ඉවත් කිරීම ආදී ප්‍රශ්න ගණනාවකම මම ඒ කාලයේ මුහුණ දුන්නා. “අයියෝ ගණන් ගන්න එපා ලොකු පුතා” යනුවෙන් අම්මා ඒ අවස්ථාවන්හි මාව අස්වැසුව ආකාරය මට අද වගේ මතකයි.
“පෑගෙන කෙසෙල් පැළ සාරෙට ආරනවා” යන ආත්තෝපදේශය කියමින් අම්මා මට නිතරම අවවාද කරන්නේ කෙසෙල් ගස්වල මොටෙයිය පෑගෙන තරමට ගස ශක්තිමත්ව වැඩෙන බව ප්‍රකාශ කරමින්. ඉතින් ඇත්තටම මාව ශක්තිමත් ගසක් කළේ අපේ අම්මා.”
චන්දන වික්‍රමසිංහ, දිල්හානි වික්‍රමසිංහ හා විවාපත් වීමෙන් අනතුරුව දශක දෙකකට අධික කලක් පුරා ගෙවන සොඳුරු දිවිය ගැන අප හා අදහස් පළ කළේ නිම්හිම් නැති සතුටක් සිතේ දරාගෙනය.
“මාධ්‍යවේදිනියක් වූ දිල්හානි විවාහ වන්නේ නර්තන ශිල්පියෙක් වූ මා සමඟයි. ඉතින් මා ක්ෂේත්‍ර්‍රයේ සිටි තැනින් ඉහළට ඔසවා තබන්නට ඇය විශාල මහන්සියක් ගත්තා. ඉතින් ඇය මාධ්‍යවේදී වෘත්තියෙන් ඉවත් වීම ගැන මං විටෙක කනගාටු වෙනවා වගේම විටෙක සතුටු වෙනවා. ඇය සිය රැකියාව නැති කරගෙන දරුවන් වෙනුවෙන් කැප වුණා. මං ඒ ගැන සතුටු වුණත් ඇය මාධ්‍ය වෘත්තියේ ඉහළම ස්ථානයක සිටි අවස්ථාවක රැකියාවෙන් ඉවත් වීම ගැන මට කනගාටුවක් තිබෙනවා. එහෙත් මගේ අම්මා රැකියාව කරන අතරතුර දරුවන් හැදුවත් දිල්හානි දරුවන් සහ මා වෙනුවෙන් රැකියාව කැප කරමින් පූර්ණකාලීන මවක්, බිරියක් ලෙස කළ කැප කිරීම මහමෙරක් තරම් යැයි පැවසුවොත් වැරදි නෑ. ඇය දරුවන් වෙනුවෙන් ඒ සා කැපකිරීමක් නොකළේ නම් අද මා මේ ක්ෂේත්‍රයේ මෙවන් තැනක නොරැඳෙන්නටද ඉඩ තිබුණා.”
දිල්හානි මවක ලෙස චන්දන දකින්නේ මෙයාකාරයෙනි.
“දිල්හානි වුවමනාවටත් වඩා දරුවන් ගැන සොයනවා. දුවට අවුරුදු 25ක් වුණත් අසීමිත ආදරය නිසාම ඇය දුව ගැන සොයා බලනවා. මගේ පුතාලා දෙන්නට තවමත් ඇය බත් කවනවා. එහෙත් දරුවන් ගැන එතරම් සොයා බැලීම අනවශ්‍ය යැයි මා විශ්වාස කරනවා. ඔවුන්ට ස්වාධීනව ගොඩනැගීමට ඉඩ දිය යුතුයි. එහෙත් ඇය මවක් ලෙස දරුවන් කෙරේ පවතින අසීමිත ආදරය නිසා ඒ අයුරින් කටයුතු කරනවා.” සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැනියක් සිටියි. මේ කියමන චන්දන – දිල්හානි කැදැල්ලට කදිමට ගැලපෙනවා.
“ඒ කතාව ඇත්තක්. ඇය නිසි ලෙස පවුල කළමණාකරණය කර ගනිමින් අතිශය කැපවීමෙන් කටයුතු කිරීම මගේ සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. ඇය මා නිසා ආඩම්බර වන බිරියක් නොවේ. එයද ඇගේ සුවිශේෂ ලක්ෂණයක්.
ඒ වගේම ඒ කාලේ මට බොහෝ සෙයින් තරහ යනවා. ඒ වෙලාවට ඇය මාව සන්සුන් කරනවා. එතුළින් මා තුළ විනයක් හැදුණා වගේම නර්තනයේදී විශාල ශිෂ්‍ය පිරිසක් මා වටා එකතු වුණා. ඉතින් ඇයගේ එම ලක්ෂණය මගේ ජීවිතය ආලෝකවත් වන්නට ප්‍රධාන හේතුවක්.
ඒ වගේම නර්තනාංගවලදී දරුවන්ට ඇඳුම් අන්දද්දී මුළු සිරුරම ආවරණය පරිදී ඇඳුම් තෝරා දෙන්නේ ඇය. ඒ විනය පිළිබඳ ඇය නිතරම සොයා බලනවා. නිරුවත පෙන්නලා ගෙදරට සල්ලි අරන් එන්න එපා යැයි මට ඇය නිතරම අවවාද කරනවා.
ඒ වගේම නර්තන ක්ෂේත්‍ර්‍රයේදී මට පැමිණි හැම ප්‍රශ්නයකදීම ඇය මා සමඟ සිටියා. ඇය එහිදී නිතරම කීවේ “කමක් නෑ චන්දන. ඔයා පසුබහින්න. එක් කකුලක් පසුපසට තියන්න. අනතුරුව ඉදිරියට යන්න. යනුවෙන් ඇය මට අවවාද කළා.” වෘත්තියේ දී තමා මුහුණ දුන් ප්‍රශ්න, අභියෝග ඉදිරියේ දිල්හානි පෙනී සිටි ආකාරය ගැන චන්දන පළ කළේ මෙවන් අදහසකි.
“එක් වරක් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක පැවැත්වුණු නර්තන ප්‍රසංගයකදී අපට අඳින්න තැනක් හෝ ලැබුණේ නෑ. එහිදී දිල්හානි හඬා වැටුණා. ඒ අවස්ථාවේ එහි සිටි ප්‍රවීණ ගුරුවරුන් තිදෙනෙක් අතරින් එක් ගුරුවරයෙක් අපට ඔවුන්ගේ තැනක් ලබා දුන්නා. අනෙක් දෙදෙනාම අපට දොරවල් වැසුවා. ඉතින් එවන් අවස්ථාවන්හි දිල්හානි මා වෙනුවෙන් පෙනී සිටියා. එහෙත් අද වන විට මම නර්තන ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්නවා. ඒ ගැන මට බොහොම සතුටුයි.”
පසිඳු මිහිරාන් රැටියල