Friday, October 3, 2025
Epaper
Home Highlightsහර්නියා හැදෙන්න වයස් සීමාවක් නෑ

හර්නියා හැදෙන්න වයස් සීමාවක් නෑ

ඕනෑවට වඩා බර උසුලන්න එපා

by Thanushika

රෝගය හඳුනාගත් වහාම ප්‍රතිකාර කළොත් පූර්ණ වශයෙන් සුව කළ හැක

“අපේ අක්කට හර්නියා එකක්.”

“අපේ මහත්තයටත් තිබ්බා හර්නියා එකක්. ගිය සතියේ තමයි ඔපරේෂන් කරලා ගෙදර ගෙනාවේ.”

හැමතැනින්ම ඇහෙන මොකක්ද මේ හර්නියා කතාව. හරියටම හර්නියා එකක් හඳුනා ගන්නේ කොහොමද? ස්ථිර වශයෙන්ම සුව කළ හැකිද? එය පාලනයක් පමණද? ඒ පිළිබඳ ආයු ලංකා ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය චමිලා නිශාදරී සමඟ සිදුකළ සාකච්ඡාවයි මේ.

වෛද්‍යතුමියනි, හර්නියා රෝගය කියන්නේ කුමක්ද?

ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රිය කොටසක්, එය වටේ ඇති බිත්තිවල දුර්වලතාවක් නිසා බාහිරයට නෙරා ඒම හර්නියාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපට පෙනෙනුයේ භාහිරට නෙරා එන හර්නියා විතරයි. නමුත් ශරීර අභ්‍යන්තරයේ පවා හර්නියා ඇතිවෙනවා. උදාහරණයක් විදිහට ආමාශයේ උඩට නෙරා එන තත්ත්වය ගන්න පුළුවන්.

හර්නියා රෝග ඇතිවීමට හේතු මොනවාද?

පාලනයකින් තොරව ඕනෑවට වඩා බර ඉසිලීම මඟින් උදර බිත්තිවල ඇති පටක දුර්වල වීම නිසා හර්නියා තත්ත්වය ඇතිවෙනවා. දීර්ඝ කාලීනව පවතින කැස්ස සහ එය අධික බලයකින් පිට කිරීම මත ඇතිවන පීඩනය මඟින් හර්නියා ඇතිවීමට පුළුවන්. කිසියම් ශල්‍යකර්මයක් කිරීමෙන් පසු ඇතිවන කැපුම හරහා ඇතිවන සලකුණ මත පේශී දුර්වල වීම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීරයේ අධික බර, මල බද්ධයත් හේතු වෙනවා.”

හර්නියා රෝගය වැඩි වශයෙන් ඇතිවන වයස් කාණ්ඩ තිබෙනවාද?

මෙම රෝගය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඇතිවෙන්න පුළුවන්.

හර්නියා රෝග ලක්ෂණ මොනවාද?

මෙය මුලින්ම දිස්වන්නේ ශරීරයේ කිසියම් ස්ථානයක ඉදිමුමක්, එසවීමක්, පිම්බුමක් ආකාරයට. පටක තද වීමත් සමඟ එය තුළින් කුඩා වේදනාවේ සිට තදබල වේදනාවක් දක්වා ඇතිවෙන්න පුළුවන්.

කැස්සක් ඇතිවන අවස්ථාවකදී ශරීරයේ ඉහත කී ඉදිමුණු ස්ථානය වැඩිපුර ඉස්සෙනවා නම් එය ගැටලුසහගත තත්ත්වයක්.

හර්නියා රෝගය සුව කළ හැක්කේ ශල්‍යකර්මයකින් පමණද?

කිසිසේත්ම නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙන්ම ආයුර්වේද ක්‍රමය තුළද ශල්‍ය ප්‍රතිකාර සිදුකළා. නමුත් දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තර්පණ ප්‍රතිකාර සිදු කරනවා. ඒ කියන්නේ දුර්වල පේශීන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම. පේශීන් දුර්වල වීම නිසා තමයි ඒවා බාහිරයට නෙරාගෙන එන්නේ. ඒවායේ ශක්තිමත් බව වැඩි කර නෙරාගෙන පැමිණෙන ඉන්ද්‍රිය කොටස් නැවත යථා තත්ත්වයට පත්කිරීම තමයි මෙහිදී සිදුවෙන්නේ. එහිදී ඖෂධ යොදා පටක තිබෙන ස්ථාන ශක්තිමත් කරනවා.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් හර්නියා රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකිද?

ඔව්. සුව කරන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හර්නියා රෝගය හඳුන්වන්නේ අංශ වෘද්ධි රෝගය ලෙසට. පාලනයක් නොවෙයි සම්පූර්ණ වශයෙන්ම සුව කරන්න පුළුවන්. ශල්‍යකර්මයක් සිදුකළ පුද්ගලයන්ට හර්නියා නැවත නැවත මතුවෙන්න පුළුවන් එම ශල්‍යකර්ම කැපුම හරහා. එම කැපුම තුළින් පටක දුර්වල වන නිසා එය තවත් හර්නියාවකට මඟපෙන්වීමක්.

වෛද්‍යතුමියනි, හර්නියා රෝගය මඟින් පිළිකා තත්ත්ව ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා යැයි සමාජය තුළ මතයක් තිබෙනවා. එය සත්‍යයක්ද?

එය ඉතාමත් දුර්ලභ තත්ත්වයක්. ශරීර අභ්‍යන්තරයේ පටකවල රුධිර සැපයුම අවම වී පටක මියගොස් පුද්ගලයකුට පිළිකාමය තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. එයත් ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින්. එවැනි අවස්ථාවක ඉතා තදබල වේදනාවක ලක්ෂණ පහළ වෙනවා. නමුත් මෙය ඉතාමත් දුර්ලභ තත්ත්වයක්.

මෙම රෝගී තත්ත්වය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

පළමුවෙන්ම ඉතාමත් හොඳින් දිනකට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කළ යුතුයි. එවිට මලපහ පිට කිරීමේ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඔබ යම්කිසි බරක් උසුලන්නේ නම් ඉතාමත් නිවැරදි ක්‍රමයට බර එස විය යුතු අතර පමණට වඩා බර එසවීමෙන් වළකින්න. කෙඳි සහිත ආහාර සහ පලා වර්ග වැඩියෙන් ආහාරයට ගන්න. මේදය සහිත ආහාර අවම කරන්න. ඒ වගේම තමයි සමබල ආහාර වේලක් ගත යුතුයි. ඒ තුළින් ශරීරයේ බර පාලනය වීමක් සිදුවෙනවා. දීර්ඝ කාලීන කැස්සක් තිබේ නම් වහාම ප්‍රතිකාර ගත යුතුයි.

අවසාන වශයෙන් වෛද්‍යවරියක ලෙස ඔබ මේ සම්බන්ධයෙන් සමාජයට දෙන පණිවිඩය කුමක්ද?

රෝගය හඳුනාගත් වහාම ප්‍රතිකාර සිදුකළොත් ඉතාමත් කෙටි කාලෙකදී පූර්ණ සුවය ළඟා කරගන්න පුළුවන්. හර්නියාව වර්ධනය වීමත් සමඟ සුව කිරීමට යන කාලය තරමක් වැඩි වේ. ඒ නිසා ඔබ ඔබේ ශරීරය පිළිබඳ ඉතාමත් සැලකිල්ලෙන් සිටීම වැදගත් වෙනවා.

 

උපදෙස්:

ආයු ලංකා ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය

චමිලා නිශාදරී

බුද්ධිකා සංජීවනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?