Friday, October 3, 2025
Epaper
Home Highlightsලිංගික අප්‍රාණිකත්වයට සාර්ථක ප්‍රතිකාර

ලිංගික අප්‍රාණිකත්වයට සාර්ථක ප්‍රතිකාර

by Thanushika

නේමින්ද , සත්සරණි විවාහයට දැන් වසර දහයක් සම්පූර්ණයි. කවදත් සතුටින් ඉන්න, විනෝදකාමී ජෝඩුවක් වුණු මේ දෙන්නා තමන්ගේ දසවැනි විවාහ සංවත්සරයත් මහඉහළින් සමරන්න අමතක කළේ නැහැ. අවුරුදු හතක් වයසැති දියණියකගේ වගේම අවුරුදු හතරක පුංචි පුතකුගේ මවුපියන් වුණු මේ දෙන්නා අතරේ හොඳ ලිංගික සම්බන්ධයකුත් තිබුණා.

ඒත් දැන් ටික දවසක ඉඳන් ඔවුන්ට පොඩි ගැටලු කිහිපයක් මතුවෙලා. ගැටලු කිවුවට ඇත්තටම ඒක ලිංගික ගැටලුවක්. ගැටලුව තමන්ගෙ කියලා දැනගත් වහාම වෛද්‍යවරයකු මුණගැහෙන්න නේමින්ද පැකිළුණේ නෑ.

“ඩොක්ටර්….මට දැන් වයස අවුරුදු 47ක්. මමත්, මගේ බිරියත් අතර හොඳ ලිංගික සම්බන්ධයක් තියෙනවා. ඒත් දැන් ටික දවසක ඉඳලා මේ සම්බන්ධයේ දී පොඩි ගැටලුවකට මුහුණ දෙන්න මට සිදුවෙලා. ඒ කියන්නෙ මගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම තරමක් අඩුයි. වෙලා ගිහින් ප්‍රාණවත් වුණත්, ටික වෙලාවක් සංසර්ගයේ යෙදෙනකොට අප්‍රාණික වෙනවා කියලා මට දැනෙනවා. ඒ කියන්නේ ලිංගික සතුටක් සඳහා සිටිය යුතු කාලයට කලින් අප්‍රාණික වෙනවා. සමහර වෙලාවට ඇත්තටම ප්‍රාණවත් වෙන්නෙ නෑ. ඩොක්ටර් මොකක්ද මේකට හේතුව?”

“මට පෙනෙන විදිහට නම් ප්‍රාණවත්වීමේ දුබලතාව කියන (Erectile Dysfunction) තත්ත්වය තමයි මේ ඇතිවෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ සෑහීමකට පත්විය හැකි ලිංගික සතුටක් සඳහා, ශිශ්නයේ ප්‍රාණවත් බව ඇතිකර ගැනීමට හෝ එය පවත්වා ගැනීමට නොහැකිවීමයි. මේක එක දිගට පවතින්න හෝ විටින් විට ඇතිවිය හැකියි.”

“ඩොක්ටර් මේ විදිහට ප්‍රාණවත් වීමේ දුබලතා තත්ත්වය බහුලව පවතින ගැටලුවක් ද? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.”

“සාමාන්‍යයෙන් ගෝලීය වශයෙන් මිලියන 300ක පමණ පිරිමින්ගේ මේ තත්ත්වය පවතිනවා. ඒ වගේම මේ ප්‍රාණවත් වීමේ දුබලතාව පුද්ගලයකුගේ වයස හා සෞඛ්‍ය මට්ටම මත වෙනස් වෙනවා.

පිරිමි ළමුන්ගේ ශිශ්නය ප්‍රාණවත් වීම ආරම්භ වන්නේ මවු කුසේ සිටින කාලයේ දීයි. එනම් ගර්භයට සති 16ක් (මාස 4ක) පමණ කාලයේ දී පටන් ස්වයං සිද්ධියක් ලෙස සිදු වන්නක්. මෙය උපතින් පසුවද ස්වයං සිද්ධියක් ලෙස සිදු වෙනවා. ඊට අමතරව නව යෞවනයේ ආරම්භයත් එක්ක ලිංගික හැඟීම් සහිත උත්තේජන සමඟ ප්‍රාණවත් වීම ආරම්භ වෙනවා. නමුත් මෙය ජීවිත කාලය පුරාවටම එකම සක්‍රියභාවයකින් පවතින්නක් නොවේ. පසුකාලීන වයසට සාපේක්ෂව ප්‍රාණවත් වීමේ දුබලතාවන් (Erectile dysfunctions) විවිධ වයස්වලදී විවිධ මට්ටමෙන් පවතිනවා.

ඒ කියන්නෙ, අවුරුදු 40 වෙනකොට 40%කටත්, අවුරුදු 50 වෙනකොට 50%කටත්, අවුරුදු 60 වෙනකොට 60%කටත්, අවුරුදු 70 වෙනකොට 70%කටත් මේ තත්ත්වය ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඊට අමතරව ඉතාම කලාතුරකින් කවදාවත් ප්‍රාණවත් නොවූ වගේම තරුණ වයසේ ප්‍රාණවත්භාවය නැතිවූ අයත් හමු වෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයසේ අයගෙන් (අවුරුදු 40 අඩු) මෙය 5-10% ප්‍රමාණයේ පවතිනවා.”

“ඒ කියන්නෙ වයසත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙනවා කියන එකද?”

“ගැහැනු, පිරිමි දෙගොල්ලොම තේරුම් ගත යුතු දෙයක් තමයි, මේ කායික ලිංගික ප්‍රාණවත් ස්වරූපය ජීවිත කාලයම එකම මට්ටමෙන් පවතින්නක් නොවන බව. එසේම පිරිමින්ට ශිශ්නයේ ප්‍රාණවත් බව ස්වාභාවිකව ලබා දී තිබෙන්නේ, ජවය ඇති තරුණ අවධියේ පැටවුන් හැදීමටයි. ඒ කියන්නෙ තමන්ගේ වර්ගයා බෝ කිරීම උදෙසායි. කාන්තාවන්ගේ වයස අවුරුදු පනහක් පමණ වන විට සිදුවන අර්ථවභාවය (menopause) හා සමගාමීව පිරිමින්ගේ ද 50%කට පමණ ප්‍රාණවත් වීමේ දුර්වලතා ඇති වේ. පිරිමියකුගේ කායික හා මානසික සෞඛ්‍ය තමයි ඇත්ත වශයෙන්ම ලිංගික සෞඛ්‍ය වන්නේ.”

“ඩොක්ටර් ප්‍රාණවත්වීමේ දුබලතාවන් සිදුවන හේතු කාරණා මොනවාද කියලත් කියන්නකෝ ?

“මම ඒ හේතු ප්‍රධාන මාතෘකා හයක් යටතේ පැහැදිලි කරන්නම්.

1. ලිංගිකත්වය හා සම්බන්ධ කරුණු

ලිංගිකත්වයට බලපාන ප්‍රධාන කාරණාව ලෙස ලිංගික අනන්‍යතාව, ඒ කියන්නේ තමාට නිවැරදි ලෙස ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද යන්න පිළිබඳ අභ්‍යන්තරව තදින් දැනෙන හැඟීම. ලිංගික ආකර්ෂණය පවතින්නේ ස්ත්‍රියකටද පුරුෂයකුටද යන කරුණු. එනම් විරුද්ධ ලිංගික ආකර්ෂණය ද සමලිංගික ආකර්ෂණය ද යන්න පිළිබඳ තක්සේරුවයි. එසේම ලිංගික ප්‍රතිචාර චක්‍රය ක්‍රියාත්මක වීම, ඇඟෑලුම්කම (Intimacy), උද්දීපන අවධියේ ප්‍රමාණවත් බව හා කාලය එසේම සහකරුගේ සහයෝගය, උද්දීපන ස්ථායි කාලය, ඕගසම් වීම හා ශුක්‍ර බැහැරවීම, උද්දීපනය සමනය වීම වැනි ක්‍රියා සම්බන්ධ ගැටලු මේ යටතේ විශ්ලේෂණය කරගත යුතු අතර ඒවා නිවැරදි කිරීම සිදු කළ යුතුයි.

2. මානසික සෞඛ්‍ය හා සම්බන්ධ කරුණු

ඇතැම් විට තරුණ අවධිය හා කාර්යබහුල යුවළයන් අතර මානසිකව බලපාන කාරණා පුරුෂ ලිංගය ප්‍රාණවත් වීමට හෝ ඕගසම් ලබා ගැනීමට දෙපක්ෂයටම ගැටලු ඇතිවිය හැකියි. උදාහරණ ලෙස සම්බන්ධතා ගැටලු, විෂාදය, සාංකාව හා නොයෙක් මානසික දුබලතා මෙම තත්ත්වයට බලපානු ඇත.

3. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ කරුණු

ප්‍රාණවත්වීම ලබා ගැනීමට හා පවත්වා ගැනීමට ස්නායුවල සෞඛ්‍යය ඉතාම වැදගත් වේ. එනම් ස්නායුගත රෝග දුර්වලතා, දියවැඩියාවේ සංකූලතා හා ඇතැම් ඖෂධ වර්ග එහි ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරයි.

4. හෝමෝන ආශ්‍රිත කරුණු

විශේෂයෙන්ම ලිංගික හෝමෝන අඩුවීම් හෝ අසමතුලිතතාවන් මේ සඳහා බලපෑම් ඇති කරයි. පිරිමින්ගේ බහුලව පවතින ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ලිංගික ආශාව හා උනන්දුව ඇති කරයි.

5. රුධිර නාලගත රෝගවලට අදාළ කරුණු

රුධිර නාලගත රෝගයන් ලෙස ප්‍රධාන වශයෙන්ම, හමුවන්නේ, අධික කොලෙස්ටරෝල් තත්ත්වය, දියවැඩියා රෝගයේ සංකූලතාවන් ලෙස සිදුවන රුධිර නාලගත රෝගයි.

6. ඖෂධ හා මත්ද්‍රව්‍ය භාවිතාව සම්බන්ධ කරුණු

සමහර ඖෂධ වර්ග, මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය මේ සඳහා බලපෑම් ඇතිකරයි.”

“මේ සඳහා මොන වගේ ප්‍රතිකාර ක්‍රමද තිබෙන්නේ?”

“මෙයට හේතු විග්‍රහ කිරීමේදී ඇතැම් කාරණා පිළිබඳ මනෝ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන අතර, ඇතැම් කාරණාවලදී, ලිංගික සෞඛ්‍ය සේවා සපයන වෛද්‍යවරුන්ගේ සහාය පැතීමට සිදුවේ. මෙහිදී ප්‍රධාන කාරණය වනුයේ, ප්‍රාණවත්වීම් දුර්වලතාවට හේතුවන රෝගය පිළිබඳ නිසි රෝග නිර්ණයකට පැමිණීමයි. එහිදී ඇතැම්විට බහුවිධ කාරණා ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය වේ.

මේ සඳහා දැනට ක්‍රියාත්මක ප්‍රතිකාර ක්‍රම නම්,

1. ලිංගිකත්වය හා සම්බන්ධ විග්‍රහයන් හා උපදේශනය

2. ලිංගික චිකිත්සා ක්‍රම (Sex therapy)

3. රුධිර නාල විස්තාරණය කරන ප්‍රතිකාර

4. මානසික සෞඛ්‍යයට බලපාන කාරණා පිළිබඳ මනෝ වෛද්‍ය උපදේශනය හෝ ප්‍රතිකාර

5. රුධිර නාලගත රෝගවලට බහුලව හේතුවන අධික කොලෙස්ටරෝල් සහ දියවැඩියා පාලනය

6. පුරුෂ හෝමෝන අසමතුලිතතාවන් නිවැරදි කිරීමේ ප්‍රතිකාර

7. ෂොක් වේව් (Shockwave treatmenr) ප්‍රතිකාර ක්‍රම

8. ප්‍රාණවත් කිරීම සඳහා ශිශ්නයට ලබා දෙන එන්නත් ක්‍රම (මෙය බහුලව සිදුවන ක්‍රියාවක් නොවේ.)

9. මුත්‍රා නාලය තුළට මිරිකා හරින ප්‍රෝස්ටග්ලෑන්ඩින් ප්‍රතිකාරය (මේ ඉතා වියදම් අධික ප්‍රතිකාරයකි. ලංකාවේ මිලදී ගැනීමට නැත.)

10. කොක් රිං පලඳනාව (cock ring) ශිශ්නයේ මූලයට රබර් මුදුවක් පැලඳීම.

11. රික්තක උපකරණ භාවිතය. (Vaccume devices) මේ මඟින් ශිශ්නය අවට රික්තකයක් ඇතිකර, වැඩිපුර රුධිරය ශිශ්නය තුළට ගැලීම ඇතිකරයි.

12. පට්ටිකා සෛල බහුල මස්තු තරලය ශිශ්නය තුළට එන්නත් කිරීම.

13. ශල්‍යකර්ම මඟින් ප්‍රාණවත්භාවය සඳහා ශ්නයක් තුළ කෘත්‍රිම උපාංග තැන්පත් කිරීම.

14. කෘත්‍රිම ශිශ්නයක් සහිත බඳ පටි පැලඳීම හෝ ලිංගික ක්‍රියාවේදී කෘත්‍රිම ශිශ්න ආකෘති භාවිතය. (sex toys)

මෙම විවිධ වූ ප්‍රතිකාර එක් එක් අයට ඇති රෝගයේ ස්වභාවය අනුව, වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතු බවත් මතක තබාගන්න.”

 

උපදෙස් –

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

ලිංගිකව බෝවන රෝග, එච්.අයි.වී. හා ලිංගික සෞඛ්‍යය

අනුරාධපුර ශික්ෂණ රෝහල

 

චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?