ලෝකයක් හැඩ ෙවන්නේ සුන්දරත්වයෙනි. අපි සෑමවිටම මේ සුන්දරත්වයට නිරායාසයෙන්ම ආකර්ෂණය වෙමු. ලස්සන රුවක් දකින නෙත නිරායාසයෙන්ම ඒ වෙත ඇදී යන්නේ එබැවිනි. සොබාදහමින් උරුම වූ මේ සුන්දරත්වය සෑම ලලනාවකටම උරුමය. එය සැමදා රැකගැනීමට නම් අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් වෙයි.
එසේම අපගේ ශරීරයට බාහිරින්ද ලබා දිය යුතු සත්කාරයන් පවතී. රුව රැකගැනීමේ කලාවේ මූලික පදනම එයයි. අතීතයේ අපට මේ සියල්ල සොබාදහමේ දායාදයක් ලෙසින් නිරායාසයෙන්ම හිමි විය. ඒ වෙනුවෙන් වෙනම සත්කාරයන් හෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර ගැනීමට අවශ්‍ය නොවීය. අපගේ දෛනික දින චර්යාව තුළ මේ සියල්ල නිරායාසයෙන්ම හිමි විය.
උදෑසන කාලයේ ඇළෙන්, දොළෙන් පිරිසුදු වූ විට ශරීරයම සිසිල් වී හොඳින් පිරිසුදු විය. ජලයේ ගිලී පිරිසුදු වූ විට නැවත ඇඟ පිරිසුදු කරගන්නට ෂැම්පු, කන්ඩිෂනර් හෝ ක්‍රීම් වර්ග අවශ්‍ය නොවීය. දහවල් නෑමෙන් පසු ආහාරයට ගන්නේ ඉතාම පෝෂ්‍යදායි අල, බතල, කොස්, දෙල්, පලා වර්ග පලතුරු, එළවළුය. මේ ගන්නා ආහාර වේලා අපගේ ශරීරය නිරායාසයෙන්ම නීරෝගි කරයි. නීරෝගිමත් වූ සිරුර පැහැපත්ව දිදුලවන්නේ බාහිරින් පෙනෙන සම හා කෙස්වල ස්වභාවයෙනි. ඒ සඳහා එදා වෙනම සත්කාරයන් කිරීම අවශ්‍ය නොවීය. හිසට හොඳ තෙල් වර්ගයක් ගැල්වීම සමට දේශීය වටිනා ඖෂධ ලෙස ගන්නා කෝමාරිකා, කහ, සුදුහඳුන්, දෙහි වැනි දෙයක් ගැල්වීම ප්‍රමාණවත් විය.
මෙවන් වූ සත්කාර ක්‍රම ඉතාම සාර්ථක විය. ඒ සඳහා ඔවුන්ට ලොකු වියදමක් නොවීය. ඒ වෙනුවෙන්ම රූපලාවණ්‍යාගාරයකට යන්නට අවශ්‍ය නොවීය.
හොඳ පෝෂ්‍යදායි ආහාරයක් ගැනීමෙන් ඉතාම නීරෝගිමත් දිදුලන සමක් අපට නිරායාසයෙන්ම හිමි විය. එය රැකගැනීම සඳහා කළ හැකි සරල ප්‍රතිකර්ම රාශියක් විය. මෙවැනි ප්‍රතිකර්ම හා සත්කාර ගැන අතීතයේ පොත්පත්වල සඟරාවල බොහෝ ලිපි පළ වී තිබේ. තම සම රැකගැනීම සඳහා කළ හැකි සරල ප්‍රතිකර්ම කීපයක් අඩංගු ලිපියක් 1970 වසරේ තරුණි පුවත්පතේ නොවැම්බර් මාසයේ පළ වූ ලිපියක සඳහන් විය.
එහි තම මුහුණේ පැහැපත් බව රැකගැනීම සඳහා අවශ්‍ය සරල උපදෙස් හා සත්කාරයන් කීපයක්ම සඳහන් විය.
නවීන ලෝකයේ නම් කාන්තාවන්ගේ රූපාලංකාරය සඳහා නිපදව ඇති දේ බොහෝය. ඒ වගේම ඕනෑම කාන්තාවක්, විශේෂයෙන් නාගරික කාන්තාවන් අද වෙළඳපොළේ ඇති ක්‍රීම් වර්ග, පියරු වර්ග ආදිය කියන මිලකට ගෙන තම රූ සපුව වැසීමට මහන්සි ගන්නවා.
නමුත් මුහුණෙහි අලංකාරය වඩවා ගැනීමට හැකි දේ ඔබට ගෙදරින්ම සොයා ගත හැකි බව ඔබ දන්නවාද? සමේ අලංකාරය ආරක්ෂා කර ගැනීම සඳහා පළමු පියවර තමයි සම පිරිසුදුව තබා ගැනීම. මේ සඳහා කළ යුතු වැදගත්ම දෙයක් තමයි සබන් ගා පිරිසුදු ජලයෙන් මුහුණ සේදීම. නමුත් සබන් ගා ජලයෙන් සේදූ පමණින් මුුහුණ පිරිසුදු වෙනවා යැයි සිතන්නට එපා. ඔබ දිනපතා පවුඩර්, ක්‍රීම් ආදිය ආලේප කරන්නේ නම් ඒවායින් මෙන්ම එසේම දූවිලි, කුණු ආදියෙනුත් ඔබේ මුහුණු අපිරිසුදු වීමට ඉඩ තිබෙනවා.
අලුතෙන්ම මිරිකා ගන්නා ලද පොල්කිරි මුහුණ පිරිසුදු කර ගැනීමට ඉතාම උචිත දෙයක් බව දන්නවාද?
පොල් බෑයක් මිරිකාගෙන එයින් මුහුණ සෝදන්න. ඊට පසු විනාඩි දහයක් හෝ පහළොවක් පමණ ඔබේ ඇඟිලි තුඩුවලින් මුහුණ හොඳින් පිරිමදින්න. දැන් පිරිසුදු ජලයෙන් මුහුණ සෝදා හරින්න. ඔබේ මුහුණට ලැබී ඇති නැවුම් පෙනුමත්, පිරිසුදු බවත් දුටු විට ඔබටම පුදුම හිතේවි.
මුුහුණ පිරිසුදු කර ගැනීමට ඉතාම සුදුසු තවත් දෙයක් ඔබේ ගෙවත්තෙන් ලබා ගත හැකිය. ඒ හොඳින් පැසුණු දෙහිය. දෙහි ගෙඩියක ඉස්ම ගෙන දිනපතා මූණෙහි හා බෙල්ලේ ආලේප කර පිරිමදින්න. සම කාන්තිමත්, නමුත් ඔබ මෙය කළ යුත්තේ ඉතා සීරුවෙනි. එයින් ඔබේ සම පැළී යාමටද ඉඩ ඇත. ඒ නිසා ඉතාම මෘදු ලෙස ගා පිරිසුදු කර හරින්න.
සම පැහැපත් වීමටත් එහි ලප කැළැල් ආදිය මැකී යාමටත් සුදුහඳුන් තරම් දෙයක් නැත. සුදු හඳුන් දෙහි ඉස්මෙන් අඹරා හැමදාම රාත්‍රියේ නින්දට පෙර ඔබේ මුහුණේ ගල්වන්න. එයින් ලැබෙන ප්‍රතිඵලය පුදුමය.
මුහුණේ අලංකාරය සඳහා මුළුතැන්ගෙයින් ලබා ගත හැකි තවත් දෙයක් නම් කහ කුඩුය. නෑමට පෙර කහ කුඩු ස්වල්පයක් ගෙන මූණේ අත්වල ගල්වන්න. කහ කුඩු ගැල්විය යුත්තේ ස්වල්ප වශයෙනි. නැත්නම් ඔබේ සම අප්‍රසන්න තද කහ පැහැයක් වීමට ඉඩ ඇත.
ඔබේ මුහුණ පැහැපත් කර ගැනීමට මෙන්න තවත් උපදෙසක්. බිත්තරයක සුදුමදය ගන්න එය මූණේ ගල්වා ස්වල්ප වෙලාවකට පසු ස්නානය කරන්න. පිපිඤ්ඤා පෙති කීපයක් ගෙන මූණේ ඇතිල්ලීමෙන් ද සමට පැහැපත් ගතියක් ලබා ගත හැකිය.
මේ උපදෙස් වසර පනහකට වඩා පැරණි උපදෙස් මාලාවකි. අදටත් එදා මෙන්ම මේ උපදෙස් වලංගුය. වෙනසකට ඇත්තේ වර්තමානයේ අපගේ යුවතියන් ශරීරිය පිරිසුදු කිරීමට සබන් ගෑම නොකරයි. ඒ වෙනුවට ෂැම්පු වර්ග හා කන්ඩිෂනර් වර්ග භාවිත කරයි. නමුත් දේශීය වශයෙන් වටිනා ඖෂධ වර්ග තවමත් භාවිත කරන යුවතියන් අප අතර සිටියි. ඔවුන්ගේ සම පැහැපත්ය. හිසකෙස් ඉතා නීරෝගිව පවතී. එසේම ස්වාභාවික ලස්සනක් හා පැහැයක් එම යුවතියන්ගේ සමේ පවතින බව පැහැදිලිවම දැකගත හැකිවනු ඇත.
එබැවින්ම එදා රුව ලස්සන කරන්න අපේ යුවතියන් අනුගමනය කළ ආහාර පිළිවෙත් අදටත් වලංගුය. එයින් කිසිම අතුරු ආබාධයක් සිදු නොවෙයි. සම දිගුකලක් ඉතාම නීරෝගිව පැහැපත්ව පවතිනු ඇත.
උපදෙස් :
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දශක හතරකට වඩා අත්දැකීම් සහිත ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශක
මැණික් හේමචන්ද්‍ර
දුමින්ද කාරියවසම්