Friday, October 3, 2025
Epaper
Home Highlightsවටින කියන දේ බැංකුවේ තියන්න

වටින කියන දේ බැංකුවේ තියන්න

Safety locker

by Thanushika

අහල පහළ ගෙවල් දෙක තුනකටම හොරු පැන්නා. ගෙදර වටින කියන බඩු මුට්ටු තියෙන එක අතිශය භයානක තත්ත්වයක් බවට පත්වෙලා. ඒ ගැන සිතමින් ඉද්දී පවිත්‍රාට කල්පනා වුණා, ඔෆිස් එකේ කුලුපග යෙහෙළියක් වන සිතාරි එයාගේ රත්රන් බඩු ටික බැංකුවේ locker එකක තැන්පත් කරලා තියෙන බව.

දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් නිකම්ම හොරුන්ට පූජා කරන්නේ මොකටද කියල පවිත්‍රාට හිතුණා. මෙයත් එක්තරා විදිහක දැවෙන ප්‍රශ්නයක්. මේ ගැන කතා බහ කරන්න අපි තෝරා ගත්තේ රාජ්‍ය බැංකුවක්.

ඇත්තටම මොකක්ද මේ ලොකර් එකක බඩු තැන්පත් කරනවා කියන්නේ?

ඔබ මහන්සියෙන් රැස් කරගත් ඔබේ සම්පත් සුරක්ෂිතව තියන්න පුළුවන් හොඳම තැනක් තමයි බැංකු locker එක, Safty locker facility එහෙමත් නැත්නම් සුරක්ෂිතාගාර පහසුකම්.

එහි තැන්පත් කරන දේවල්වලට උපරිම ආරක්ෂාවක් ලැබෙන බැවින් හිතේ සැනසිල්ලෙන් ඉන්නට පුළුවනි.

නීතිවිරෝධී නොවන, අප ළඟ තබා ගැනීම අනාරක්ෂිත යැයි හැඟෙන දේවල්, සාමාන්‍යයෙන් අපි පරිභෝජනය කරන නමුත් හැමවෙලේම අවශ්‍ය නොවන දේ මෙහි තබන්නට පුළුවන්.

මොන වගේ දේවල්ද Safety locker එකේ තැන්පත් කරන්න පුළුවන්?

* රත්රන් බඩු

* මැණික්

* දියමන්ති

* ඔප්පු

* ස්ථිර තැන්පතුවල රිසිට්පත්

* වාහනවල පොත්

* වාහනයේ අනු යතුර (Duplicate key) වැනි දේ

මෙහි තැන්පත් කරන්නට අවසර නොමැති දේවල් මොනවාද?

* සාමාන්‍යයෙන් දියර වර්ග

* අනතුරු සහ විනාශකාරී ද්‍රව්‍ය එනම් ආයුධ, උණ්ඩ, බෝම්බ, කඩු, කිණිසි වැනි දෑ

* වෙනත් කෙනකුට හිරිහැරයක් වන දෑ. උදාහරණයක් ලෙස ඇසිඩ්, සයිරන් හෝන් වැනි දෑ

Safety locker පහසුකම ලබා ගන්නේ කොහොමද?

සෑම බැංකුවකම මේ පහසුකම නැහැ. මේ නිසා ළඟම ඇති බැංකුවට ගොස් එම පහසුකම ඇති බැංකු පිළිබඳ දැනුම්වත් වීමක් ලබාගන්නට පුළුවන්. මෙහිදී බැංකුවේ කළමනාකරු හෝ මෙහෙයුම් කළමනාකරු මුණගැසිය හැකියි.

ඒ අනුව ලාච්චුවක් කුලී පදනම මත ලබාගත හැකියි. මේවා කුඩා, මධ්‍යම, විශාල ලෙස සේප්පු තිබේ. කුඩාම සේප්පුව ෆයිල් කවරයක ප්‍රමාණයකින් (ඔප්පුවක් තැන්පත් කළ හැකි පරිදි) යුතුයි. එහි එක් යතුරක් බැංකුව සතුවන අතර තවත් යතුරක් ගනුදෙනුකරු සතුයි. මෙය විවෘත කිරීමට දෙදෙනාම එකට සිටිය යුතුයි. බැංකුවේ යතුරෙන් වෙනමත් ගනුදෙනුකරුගේ යතුරින් තනිවමත් විවෘත කරන්නට බැහැ. බැංකුව යතුර ලබා දුන් පසු ඒ සඳහා වාර්ෂිකව කුලී මුදලක් ගෙවිය යුතුයි. සාමාන්‍යයෙන් රුපියල් 3500 සිට ලබාගත හැකි අතර මෙය බැංකුවෙන් බැංකුවටත් සේප්පුවේ ප්‍රමාණය අනුවත් වෙනස් අගයක් ගනියි.

මෙම පහසුකම පිළිබඳ ගනුදෙනුකරු සතු අවබෝධය ඉතාම අවමයි. මෙවැනි පහසුකම් පිළිබඳ නොදන්නා අයත්, ඒ සඳහා ඉතා විශාල මුදලක් ගෙවිය යුතු බවත්, මෙම පහසුකම ලබා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන එකක් ලෙසත් ඇතැමුන් සිතයි.

විදෙස්ගතව සිටින අයවලුන්ගේ වටිනා කියන දෑ බොහොමයක් තැන්පත් කර ඇත්තේ මේ Safety lockerවලයි. මෙහි තැන්පත් කර ඇති දෑ පිළිබඳ ලැයිස්තුවක් හෝ එහි තැන්පත් කරන්නේ මොනවාදැයි බැංකුව නිරීක්ෂණය කරන්නේ නැත.

මංගල උත්සවයක් වැනි දේකට සහභාගී වීමට රත්රන් බඩු අවශ්‍ය යැයි සිතන කෙනකුට Safety locker එකෙන් අදාළ දෑ ලබා ගැනීමට කොපමණ දින ගණනකට පෙර පැමිණිය යුතුද?

ඊට පෙර දිනයේදී වුවද පැමිණිය හැකියි. බැංකුවට පැමිණෙන්නට පෙර දුරකතන ඇමතුමක් ලබාදී පූර්ව දැනුම් දීමක් කර පැමිණෙන්නේ නම් බැංකුවට මෙන්ම ගනුදෙනුකරුටද පහසුවක් වේවි. කාලයද ඉතිරි වේවි. නැවත තැන්පත් කරන්නට එදිනම හෝ පැමිණෙන්නට හැකියි.

මේ සඳහා අදාළ බැංකුවේ බැංකු ගිණුමක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යද?

මෙහිදී බැංකුවේ යම් ස්ථාවර ගිණුමක් තැන්පත් කිරීම අවශ්‍ය වේවි. එහි අවමය රුපියල් 75,000ක් පමණ වෙයි. අදාළ පුද්ගලයා බැංකුවේ ගනුදෙනුකරුවකු බවට පත්කර ගන්නේ එලෙසයි. ගනුදෙනුකරුට ස්ථාවර ගිණුමක් සඳහා වන පොලිය බැංකුව විසින් ලබාදේ. යම් හෙයකින් Safety locker පහසුකම තවදුරටත් අවශ්‍ය නොවන බව හැඟෙන්නේ නම් සේප්පුව නැවත ලබාදීමට මෙන්ම අවශ්‍ය නම් ස්ථාවර ගිණුම ද අවසන් කළ හැකියි.

Safety locker එක පවත්වාගෙන යාමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

ප්‍රධානම දේ වන්නේ රහසින් හෝ නීත්‍යනුකූල නොවන දෙයක් තැන්පත් නොකිරීමයි. එසේම පදිංචි ලිපිනය වෙනස් වන්නේ නම් එයද බැංකුව වෙත දැනුම් දිය යුතුයි.

යම් හෙයකින් අදාළ හිමිකරු මියගියහොත් ක්‍රියාත්මක වන්නේ කවර පටිපාටියක්ද?

එහිදී නීත්‍යනුකූල ලෙස පැවරීමක් කළ හැකියි. එසේ පැවරීමක් කර තිබුණේ නම් ගනුදෙනුකරු මියගියහොත් එම පැවරීම කළ අයට එහි තැන්පත් කර ඇති දෑ හිමිවේ. එසේ නොවන විටක දී එය බූදල් වේ.

එහි තැන්පත් කොට තිබුණු දෑ ලක්ෂ 40කට වඩා වැඩි වටිනාකමින් යුතුවූයේ නම් අන්තිම කැමති පත්‍රයක්ද ලියා නොමැති නම් තැන්පත් කර ඇති දෑ ලබා ගත හැකි වන්නේ අධිකරණය හරහායි. එහිදී ද සාමාන්‍ය නීතිය පරිදි විවාහක අයෙකු නම් සියයට පනහක් කාලත්‍රයාටත් ඉතිරි සියයට පනහ දරුවන්ටත් ලබාදේ. දරුවෝ නොමැති නම් සියයට පනහක් කාලත්‍රයාටත් ඉතිරි සියයට පනහ මවුපියන් හා සොයුරු සොයුරියන්ටත් හිමිවේ.

උපදෙස්:
මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාවේ
සහකාර සාමාන්‍යාධිකාරී
නලින් පෙරේරා

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?