Friday, October 3, 2025
Epaper
Home Highlightsලොව දිනන්නට ආදරයෙන් සුරකින්න

ලොව දිනන්නට ආදරයෙන් සුරකින්න

අනූෂා ගෝකුල ප්‍රනාන්දු - ඌව පළාත් ප්‍රධාන ලේකම්

by Thanushika

දරුවෝ ද වැඩිහිටියෝ ද අසිරිමත් ය

වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ අනාගතය ගොඩනැඟීමේ දී අපට අහිමි කළ නොහැකි වටිනා සම්පත් දෙකක් තිබේ. ඒ ළමා සහ වැඩිහිටි පරම්පරාවයි.

මෙම පරම්පරා දෙක හුදෙක් යැපෙන්නන් ලෙස පමණක් නොසලකා ඔවුන්ගේ අසීමිත ශ්‍රමය, දැනුම සහ අත්දැකීම් රටේ සංවර්ධනය සඳහා ඵලදායී ලෙස යොදාගැනීමේ පසුබිමක් නිර්මාණය කිරීම අපගේ අද දවසේ ප්‍රධාන අභියෝගයයි. මෙවර ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක වැඩිහිටි සහ ළමා දිනය මෙම පරම්පරා දෙකේම විභවය උපරිම ලෙස යොදාගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා අප විසින් නිර්මාණය කළ යුතු ක්‍රමවේද පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරයි.

අසිරිමත් දරු පරපුර

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ළමුන්ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට අඩු ළමා ජනගහනය මිලියන පහකට ආසන්න වන අතර එය සමස්ත ජනගහනයෙන් දළ වශයෙන් හතරෙන් එකක් පමණ වේ. මෙම පරම්පරාව අද ජීවත් වන්නේ “ඇල්ෆා පරම්පරාව” ලෙස හැඳින්වෙන යුගයකය. තාක්ෂණය සමඟ බද්ධ වූ ඔවුන්ගේ චින්තන රටාව සහ අත්දැකීම් පෙර පරම්පරාවන්ට වඩා බෙහෙවින් වෙනස්ය. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන හැකියාවන් ප්‍රදර්ශනවලට පමණක් සීමා වී ඇති අතර අපගේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ඔවුන්ගේ අසීමිත හැකියාවන් ගොඩනැංවීමට අවශ්‍ය ඉඩකඩ ලබා දී නැත.

මෙම අභියෝගවලට අමතරව අපගේ ළමා පරම්පරාව අද මත්පැන්, මත්ද්‍රව්‍ය සහ ළමා අපචාර වැනි සමාජ ගැටලු රැසකට මුහුණ දෙයි. සෑම දරුවෙකුගේම ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ට බියෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අද අපගේ ප්‍රමුඛතම වගකීමකි. දරුවන්ගේ අසීමිත නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික දැනුම නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය සඳහා යොමු කිරීමෙන් පමණක් මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකිය. ජපානය, ඉන්දියාව, චීනය වැනි දියුණු රටවල දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා නව නිෂ්පාදන සහ ව්‍යාපාර බිහි කිරීමට හේතු වී ඇති අතර, අපටද එම ආදර්ශය අනුගමනය කළ හැකිය.

වැඩිහිටි පරම්පරාවේ අත්දැකීම් සහ දැනුම් සම්භාරය

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තවත් වටිනා කොටසක් වන වැඩිහිටි පරම්පරාව අද වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2023 වන විට මෙරට වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනය මිලියන 2.4ක් පමණ වන අතර, එය සමස්ත ජනගහනයෙන් 25%කට ආසන්න අගයකි. මෙම ජනගහනය ප්‍රධාන කණ්ඩායම් තුනකට බෙදිය හැකිය. වයස අවුරුදු 60-70 දක්වා වන තරුණ වැඩිහිටි, 70-80 අතර වැඩිහිටි සහ 80ට වැඩි සැබෑ වැඩිහිටි කණ්ඩායම්.

මෙම සංඛ්‍යාව 2030 වන විට හතරෙන් එකක් පමණ වන බවට ගණන් බලා තිබේ. මෙය රටේ සංවර්ධනයට යොදාගත හැකි විශාල මානව සම්පතකි.

ලෝකයේ දියුණු රටවල් වයස්ගත වන ජනගහනයේ ශ්‍රම දායකත්වය උපරිමයෙන් ලබා ගනී. ජපානය, ජර්මනිය වැනි රටවල වයස අවුරුදු 80 දක්වා තම දැනුම හා පළපුරුද්ද රටේ ශ්‍රම

බලකායට එක් කරගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. අපගේ වැඩිහිටි පරම්පරාවටද තම අත්දැකීම්, වෘත්තීය දැනුම සහ ප්‍රඥාව භාවිතා කරමින් උපදේශන සේවා, පුහුණු වැඩසටහන් සහ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතුය.

තිරසර අනාගතයක් සඳහා සන්නිවේදනය

අපගේ සමාජයේ අනාගතය තීරණය වන්නේ ළමා සහ වැඩිහිටි පරම්පරා එකිනෙකා සමඟ කෙසේ සම්බන්ධ වී කටයුතු කරන්නේද යන්න මතයි. ළමා හා වැඩිහිටි දිනය සැමරීම හුදෙක් උත්සවයකට පමණක් සීමා නොවිය යුතුය. එය පරම්පරා දෙක අතර සහයෝගය සහ සන්නිවේදනය වර්ධනය කරන තිරසර අනාගතයක් සඳහා ඔවුන්ගේ දායකත්වය තහවුරු කරන සුවිශේෂී දිනයක් විය යුතුය.

කතන්දර කීමේ කලාව (Storytelling) සහ ගුණධර්ම සංවර්ධනය: අතීතයේ අපේ වැඩිහිටියන් තම දරුවන්ට කතන්දර, කවි සහ ජනප්‍රවාද තුළින් ගුණධර්ම සහ සාරධර්ම කියා දුන්හ. අද දියුණු රටවල් වන අ‍ෙමරිකාව සහ ජපානය වැනි රටවල් “ස්ටෝරි ටෙලර්” (Storyteller) වැනි වෘත්තීන් හරහා මෙම කලාව උසස් මට්ටමකින් භාවිත කරමින් දරුවන්ගේ මානසික හා චිත්තවේගීය වර්ධනයට අවශ්‍ය පසුබිම සකසා ඇත. අපටද මෙම ක්‍රමවේදය නැවත හඳුන්වා දිය හැකිය. පාසල්වල හෝ ප්‍රජා මධ්‍යස්ථානවල වැඩිහිටියන් සහ දරුවන් එක්ව කතන්දර කීමේ වැඩමුළු පැවැත්විය හැකිය.

තාක්ෂණික හුවමාරු වැඩසටහන්

ළමා පරම්පරාව සතු තාක්ෂණික දැනුම වැඩිහිටියන්ට හඳුන්වා දීමෙන් ඔවුන්ගේ නවීන ලෝකයට අනුවර්තනය වීමේ හැකියාව වර්ධනය කළ හැකිය. වැඩිහිටියන්ට ඔවුන්ගේ දුරකතන හෝ පරිගණක භාවිත කරන ආකාරය උගන්වන අතර ළමයින්ට වැඩිහිටියන්ගේ අත්දැකීම් සහ ප්‍රඥාව ලබාගත හැකිය.

ගුරු-ශිෂ්‍ය සම්බන්ධතා වැඩසටහන් තුළින් වැඩිහිටියන් තම අත්දැකීම් සහ දැනුම මත පදනම් වූ මාර්ගෝපදේශකයන් (Mentors) ලෙස කටයුතු කරමින් ළමා ව්‍යාපෘති සහ නවෝත්පාදන සඳහා උපදෙස් ලබා දිය හැකිය. මෙය පරම්පරා අතර පවතින විෂමතාවය නැති කිරීමට කදිම විසඳුමකි.

මෙවර වැඩිහිටි සහ ළමා දිනය, මෙම පරම්පරා දෙකම රටේ ප්‍රගතියේ ක්‍රියාකාරී පාර්ශ්වකරුවන් ලෙස පිළිගන්නා දිනයක් බවට පත් කරමු. ඔවුන් දෙපිරිසම යැපෙන කණ්ඩායම් නොව, අප රටේ මානව හා භෞතික සම්පත් සංවර්ධනයට සක්‍රිය ලෙස දායක විය හැකි වටිනා සම්පත් ලෙස පිළිගැනීමේ සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා මෙය කදිම අවස්ථාවකි. ළමයින්ගේ නවෝත්පාදන සහ වැඩිහිටියන්ගේ ප්‍රඥාව, අත්දැකීම් සමඟ මුසු කිරීමෙන් අපට ශ්‍රී ලංකාවේ අනාගතය සෞභාග්‍යමත් කළ හැකිය.

දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?