පසුගිය සතිය පුරාම ජාත්‍යන්තරයේ වැඩි කතාබහට ලක්වූ පුවත එයයි. සායනික අත්හදා බැලීම්වලදී 100%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බව කියන මේ විස්මිත සොයා ගැනීම ලොව පුරා මිලියන ගණනාවක පිළිකා රෝගීන්ට ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තු දැල්වූ අතර, වාර්ෂිකව ජීවිතයෙන් සමුගන්නා මිලියන ගණනාවක පිළිකා රෝගීන්ට නැවත ජීවත්වීමේ ආශාව ඇතිකළ පුවතක් බවට ද පත් විය.
වසර 2024 දී සිදු කළ ඇස්තමේන්තුවකට අනුව ලොව පුරා වාර්ෂිකව හඳුනා ගන්නා මිලියන 19.9ක නව පිළිකා රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකගේ අඳුරු මුහුණු ආලෝකමත් කරන ‘දෙවියන්ගේ සුබාරංචියක්‘ බඳු පුවතකි. පිළිකා රෝගයෙන් වාර්ෂිකව අකාලයේ ජීවිත හැර යන මිලියන 10කට ආසන්න රෝගීන් සංඛ්‍යාවෙන් සැලකිය යුතු ප්‍රමාණයකට බලාපොරොත්තුවේ ආලෝකය දල්වන ලද පුවතකි.
එකවරම නින්දෙන් අවදිවූවාක් මෙන් ලෝක වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව අතර වැඩි කතාබහට ලක්වූ රුසියාවේ මේ සොයාගැනීමය. එය තවත් වසර කිහිපයකින් සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කිරීමෙන් පසු ලෝක වෛද්‍ය විද්‍යාවේ විප්ලවීය වෙනසක් සිදු කිරීමේ වැඩිඉඩක් මතුවී තිබේ.
දශක ගණනාවක් පුරා ලොව පුරා වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් දසදහස් ගණනින් දිවා රෑ නොබලා උත්සාහ කරමින් සිටින පිළිකාව තුරන් කිරීමේ ඖෂධය සොයාගැනීමේ දැවැන්ත මෙහෙයුම මේ සියවසේ වෛද්‍ය විද්‍යාව ලද විශිෂ්ටතම ජයග්‍රහණය ද වනු ඇත.
එන්ටරෝමික්ස් නමින් හඳුන්වනු ලබන එම පිළිකා නිවාරණ එන්නත සොයා ගනු ලැබුවේ රුසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණ මධ්‍යස්ථානය විසිනි. ඒ සඳහා මොස්කව් නුවර පිහිටි එන්ගල්හාර්ඩ් අණුක ජීව විද්‍යා ආයතනයේ ද සහයෝගය ලැබී තිබිණි. එය පසුගිය කාලයේ කොවිඩ් වසංගතයෙන් ලෝක ප්‍රජාව රැක ගැනීමේ එන්නත සඳහා පදනම් කරගත් MRNA තාක්ෂණය ඇසුරින් සිදු කරනු ලැබූ වසර ගණනාවක දීර්ඝ පර්යේෂණයක ප්‍රතිඵලයකි. ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 48කි.
ඔවුන් ඇසුරින් සිදුකළ පර්යේෂණ ක්‍රියාවලියේදී සියලුදෙනාගෙම සිරුරේ පැතිරුණු පිළිකාවේ ප්‍රමාණය 60% ක් දක්වා අවම කිරීමට නව සොයාගැනීම සමත්වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් පැතිරීම කැපී පෙනෙන ආකාරයෙන් සීමා වී තිබේ. අනිත් අතට ප්‍රතිකාර සිදු කළ අවස්ථාවේදී ඔවුන්ට කිසිදු අතුරු ආබාධයක් හෝ ජීවිත අවදානමක් සිදු නොවීමෙන් එහි ආරක්ෂිත බව තහවුරු වී තිබේ. ඒ සියලුදෙනාම පර්යේෂකයන් සමඟම ගෞරවනීය පුද්ගලයන් පිරිසක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
ලොව පුරා විසිරී සිටින මිලියන ගණනාවක පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා විප්ලවීය වෙනසක් සිදු කිරීම සඳහා වෛද්‍ය විද්‍යාවේ තවත් යෝධ පියවරක් ඉදිරියට තබමින් එන්ටරෝමික්ස් පිළිකා නිවාරණ එන්නත රෝගීන්ට නොමිලයේ ලබාදීමටත් දැන් රුසියාව සූදානම් ය. ඒ සඳහා මේ වන විට රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය අපේක්ෂාවෙන් පසුවන බව ද එරට ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණ මධ්‍යස්ථානයේ ජෛව විද්‍යා ඒජන්සියේ ප්‍රධානි මහාචාර්ය වෙරෝනිකා ස්වෝර්ට්සෝවා ප්‍රකාශ කළාය.
මහාචාර්ය වෙරෝනිකා….! ඔව්.. මේ විශ්වකර්මයට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ කාන්තාව ඇයයි.
වෛද්‍ය පවුලකින්ම පැවත එන වෙරෝනිකා මහාචාර්යවරිය සිය වෘත්තියට අදාළ සියලු සුදුසුකම් සපුරා ගත්තේ තරුණ වියේදීමය. අනතුරුව 2008 වසරේ එවකට රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වෙඩෙව්ගේ කාලසීමාවේ ආරම්භයත් සමඟ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිනිය ලෙස පත්වූ අතර, 2012 මැයි මාසයේදී ජනපති පුටින්ගේ දෙවැනි ධුර කාලයේදී රුසියාවේ සෞඛ්‍ය ඇමැතිනිය ලෙස පත්වීම ලැබුවාය. තරුණ වියේ සිටම වෛද්‍ය විද්‍යාවේ විවිධ පර්යේෂණ සඳහා යොමු වූ වෙරෝනිකාගේ එකම අපේක්ෂාව වූයේ මාරාන්තික රෝගාබාධවලින් පීඩා විඳින ලෝකවාසී ජනතාව වෙනුවෙන් ජීවිතය කැප කිරීමය. දේශපාලන ජීවිතය කාර්යබහුලත්වය ඊට බාධාවක් වෙද්දී 2020 වසරේදී ඇය සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූවත්, 2012 සිට මේ දක්වා අඛණ්ඩව රුසියාව පාලනය කරමින් සිටින පුටින්ගේ විශ්වාසවන්තම සෞඛ්‍ය බලධාරිනිය බවට ද පත්වී සිටින්නීය.
ජීවිත මිලියන ගණනාවක් පිළිකා මාරයාගෙන් ගලවා ගැනීමේ මෙහෙයුමේ අසහාය වීරවරිය ලෙස ඉතිහාසයට එක්වීමට නියමිත වෙරෝනිකා දැනටමත් රුසියාවේ මාරි කියුරි ලෙස ගෞරවාදරයට පාත්‍ර වී සිටින්නීය.
දශක දෙකකට වැඩි කාලයක් ව්ලැදිමිර් පුටින්ගේ යෝධ සෙවණැල්ලට ඉහළින් කිසිවකු ඉස්මතු නොවූ රුසියාවේ ඇය සිය ප්‍රතිරූපය ගොඩනඟා අවසන් ය. පුටින්ගේ ද නොමඳ ගෞරවයට පාත්‍ර වී සිටින මේ 64 හැවිරිදි සුන්දර කාන්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා කාරුණික මානව හිතවාදිනියක බව ඇගේ වෛද්‍ය වෘත්තියෙන් මෙන්ම දේශපාලන භූමිකාවෙන්ද පෙන්නුම් කර ඇති අතර, පිළිකා එන්නතෙහි සාර්ථකත්වයත් සමඟ ඇගේ නාමය ලෝක වෛද්‍ය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියා තබනු ඇත.
ෆවුස් මොහොමඩ්