මිත්‍රත්වය මත පදනම්ව ගොඩනැඟිලා තියෙන සමාජ සංස්ථාවක මිත්‍රත්වය බිඳ වැටීම මොන තරම් ඛේදවාචකයක් ද කියන එක අමුතුවෙන් කිවයුතු දෙයක් නෙමෙයි. ඔයාට,මට අපේ ජීවිත වටා හුස්ම ගන්න හැම මනුස්සයෙක්ගෙම ජීවිත කතාව සමඟ පොඩි හරි සම්බන්ධයක් තියෙනවා.
එය වර්ග කළ හැකි හෝ වෙනස් කළ හැකි යමක් නොවේ. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔවුන්ගේ අත්දැකීම් පරාසය සහ ඔවුන් ජීවිතය අත්දැක ඇති ප්‍රමාණය මත ඔවුන් තවත් අයකුට සලකන ආකාරය වෙනස් වේ. කතාවක් අහලා තියෙනව ද නයාගේ විෂ තියෙන්නේ දළවල, බඹරාගේ විෂ තියෙන්නේ බඹර තුඩෙහි. නමුත් මිනිසාගේ විෂ සියොළඟ කියලා. අපි අද කතා කරන්න යන්නේ විෂම වුණු මිනිස්සු අතර විෂ මිනිස්සු ගැන. මේ විෂ සහිත මිනිස්සු අපිට බහුලව සමාජයේ හමුවන පිරිසක්. නමුත් විෂ සහිත බව එකවර පිටත පෙනෙන්නේ නැහැ. මිත්‍රත්වය තුළ සැඟව ගත් විෂ සහිත බව හඳුනා ගැනීම පහසු කාර්යයක් නොවෙයි. විශේෂයෙන්ම ඔයා රැකියාව කරන ස්ථානයේ සිද්ධ වෙන විවිධ සිදුවීම්, කතන්දර, නොසලකා හැරීම් ගණනාවකට පස්සේ ඔයා ඒ විෂ සහිත මිනිස්සු හඳුන ගනිවී.
රැකියාව කියන්නේ පද්ධති සහ සැලසුම්වලින් පමණක් නොවෙයි මිනිසුන්ගෙන් ඉදිවුණු ස්ථානයක්. එක සේවකයකුගේ හැසිරීම පූර්ණ කණ්ඩායමක් මත බලපෑම් කළ හැකි යි. සමහරෙක් උත්තේජන සහ දිරිගැන්වීම් ගෙන එනවා, තවත් සමහරෙක් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව කරන දේ තුළින් නරක බලපෑම් ව්‍යාප්ත කරනවා.
කොහොමද විෂ සහිත මිනිසුන් හඳුනා ගන්නේ?
විෂ සහිත මිනිස්සුන්ගෙන් ඈත්වීමට පෙර ඔයා විෂ සහිත මිනිසුන් හඳුනා ගත යුතුයි. තරුණ වියේ ඉන්න ඔයා විශේෂයෙන්ම ආසාවෙන් රැකියාවක් තෝරගත්ත ඒ රැකියාවේ නිරත වෙන කෙනෙක් විය හැකියි. නමුත් ඔයාට ඒ රැකියා ස්ථානයේ එපා කරවන කෙනෙක් ඉන්නව ද? ඒ කෙනා නිසා ඒ ස්ථානය එපා වීමට හේතු මොනවා ද? මේ සියල්ල සලකා බලන විට අපි අපේ ඉදිරිය සාමකාමීව ගෙන යන්න අපි ළඟ සිටින මිනිසුන් හඳුනා ගත යුතු යි. බලන්න මේ ලක්ෂණ තියෙන අය ඔයාගේ රැකියා ස්ථානයෙත් ඉන්නව ද කියලා
නිරන්තර ගැටලු ගැන complain කරන, නිරන්තර ඕපාදූප සාකච්ඡා කරන, ආවේගශීලී කතාබහක් සහිත
අනෙකා කුමක් ඇසුවත් එයට සමච්චල් සහගත පිළිතුරු ලබා දෙන, සහයෝගීතාව වෙනුවට අත්‍යවශ්‍ය නොවන තරගකාරී බවක් ගෙන එන, තවත් කෙනෙකුගේ අදහස් අනුමත නොකරන, ආයතන ප්‍රධානියාගේ අවධානය දිනා ගැනීමට දැඩි වෙහෙසක් දරන, අතරමඟ අනෙකුන්ව බිඳවන අයව ඔයා දැක තිබෙනව ද? මේ එක ගති ලක්ෂණයක් නොවෙයි, සියලුම ගති ගුණ ඇතුළත් සමහරෙක් අපි ඕනෑතරම් රැකියා ස්ථානවල මෙන් ම සමාජ සංස්ථාව තුළ ද දැක ඇති බව සහතික යි. මෙවැනි හැසිරීම් පොඩි කරුණු ටිකක් වශයෙන් පෙනුණත් ඉන්, දිගුකාලීන විශ්වාසය කැඩී බිඳී යන අතරමඟ අනෙකාගේ හොඳ හිත් ද බිඳවන්නට සමත් වෙනවා. තමන්ගේ මතයට අනෙකාගේ මතය හසුරුවා ගැනීමට වෙර දරන මෙවැනි විෂ සහිත මිනිසුන් තමන්ගේ නොහැකියාවන් සහ අත්දැකීම් අඩු බව මෙන් ම, ඇවතුම් පැවතුම්වල ඇති ගෝත්‍රිකභාවය සඟවා ගන්නේ තවකෙකුට රිදවීම සහ ඇඟිල්ල දිගු කිරීම මඟින්. නිදසුනක් ලෙස ඔයා නැති තැනක ඔයාගේ වැරදි උළුප්පා දැක්වීමට යම්කිසි කෙනෙක් වෙහෙස වෙනවා නම් එහෙමත් නැතිනම්, ඔයා නොකළ, නොදත් වරදකට ඔයාගේ සම්බන්ධයක් නිර්මාණය කරන්න උත්සාහ දරනවා නම් ඒ විෂ සහිත පුද්ගලයෙක්. ඔහුගේ හෝ ඇයගේ සමාජ ජීවිතය මෙන් ම පෞද්ගලික ජීවිතත් වටිනාකම්වලින් තොරවූවක්. එනිසාම හැම මොහොතකම වටිනාකම්වලින් ගහන පුද්ගලයකු ඔවුන්ගේ ඉලක්කය බවට පත් කර ගන්නවා. සතුටින් රැකියාවේ නිරත වී නිෙවසට යෑමට ඔවුන් අනෙකාට ඉඩ දෙන්නෙ නැහැ. තමන්ගේ ඒකාධිකාරයක් ගොඩනඟා ගැනීමට මෙන්ම අනෙකාගේ මානසික සහනය බිඳ දැමීමටත් මොවුන් උපන් හපන්කම් දක්වනවා.
සැබවින්ම මෙය දුර්වල පෞරුෂයක ඇති ලක්ෂණයක්. තමන්ගේ හැකියාව ඇති එකම ක්ෂේත්රය තුළ තමන්ව ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථය සමඟ දහසක් වැරදි තිබෙන තමන්ව තමන්ගෙන්ම සඟවා ගනිමින් අනෙකා වෙත චෝදනා ගොනු කිරීමට ඔවුන් උත්සාහ දරනවා. නමුත් ඔයා රැකියාව තුළ නවකයෙක්නම් හෝ ඒ රැකියා ස්ථානය තුළ සර්වසාධාරණ ලෙස කටයුතු කරන අයෙක්නම් හෝ මෙවැනි අසමතුලිත, සවිඥානික නොවන විෂ සහිත මිනිසුන්ගේ සමාගමය ප්‍රිය කළත්, නොකළත් ඔයාගේ පෞරුෂය බිඳ ගැනීමට හෝ ඔයාගේ මානසික සාමය බිඳ ගැනීමට ඉක්මන් නොවිය යුතු යි. ඒ සඳහා ඔයා කළ යුත්තේ කුමක් ද? මේක ගැඹුරු සහ ලේසියෙන් හිතාගන්න බැරි ප්‍රශ්නයක් වුණත්, ඔයා වෙනුවෙන් ඔයා පෙනී සිටිය යුතුයි. දන්නවා ද? 2016 දී, මිචිගන් විශ්වවිද්‍යාලය මගින් සිදුකළ අධ්‍යයනයකට අනුව අනාවරණය වෙලා තියෙනවා සෘජුවම හෘදවාහිනී පද්ධතියෙහි සෞඛ්‍ය තත්ත්වය, ආතතිය සහ සෘණාත්මක විෂ සහිත සම්බන්ධතාවලින් ලැබෙන සාමයක් නොමැති මනසේ අතුරු ඵලයක් බව.
ඉතින්, කාගෙවත් විෂවලින් ඔයාව ලෙඩ කරගන්නේ ඇයි? මෙන්න මේ දේවල් එක්ක විෂ සහිත මිනිසෙක් වෙන එක නවත්තලා විෂ බෙදන මිනිස්සුන්ට උත්තර බඳින විදිහ තේරුම් ගන්න.
1.Emotional Intelligence වැඩි මනුස්සයෙක් වෙන්න !
අහලා තියෙනව ද විෂම හැසිරීමේ විරුද්ධකාරී බලය “Emotional Intelligence” (EQ) කියන එක. මේක තමන්ගේ සහ වෙනත් අයගේ හැඟීම් හඳුනාගැනීම සහ පාලනය කරගැනීමේ හැකියාව පිළිබඳව කතා කරනවා. මේක අපිට උපකාරී වෙනවා විෂ සහිත මිනිසකු නොවී සිටීමට මෙන් ම විෂවලින් පීඩාවට පත් නොවන්නට
ස්වයං අවබෝධය: උත්සාහ කරන්න, “මම මේ මොහොතේ ගැටලු වැඩි කරනවා ද නැත්නම් අඩු කරනවා ද?” යන ප්‍රශ්නාර්ථයෙන් ඔබ ඔබේම හැසිරීම දෙස බලන්න. ඒ වගේ ම ඔබේ තරහ හෝ පීඩාව සෘජුවම වෙනත් අය මත තැබීමෙන් වළකින්න. අනුකම්පාව: වෙනත් අයගේ ගැටලු ඔවුන්ගේ කෝණයෙන් බලන්න. එය ඔවුන්ට ආරක්ෂිත බවක් දනවාවි. ඔබටත් සතුටක් ගෙන දේවි.
ඔයා IQ වැඩි පුද්ගලයකු වුණොත් ඔයාගේ රැකියා ස්ථානයේ නිදහස් සහ සාමකාමීම පුද්ගලයා ඔයා බවට පත් වේවි. ඒ සාමකාමී බව ජීවිතයට වද්ද ගන්න. ඔබ කණ්ඩායමට සැනසීමක්, සහනයක් ගෙන එන පුද්ගලයෙක් වෙයි.
ඔයාගේ ශක්තිය වටපිටාවට ගෙන එන්න
ඔයා Thermometer නොවී, Thermostat එකක් වගේ වෙන්න. තර්මොමීටරය වටපිටාවේ උෂ්ණත්වය පෙන්වනවා. නමුත්, තර්මොස්ටෑට් එක ඒ උෂ්ණත්වය සකස් කරන එකක් සහ පාලනය කර ගැනීමත් කරනවා. ඒ නිසා ඕනම අපහසු අවස්ථාවකදී වුණත් ඔයාට හමුවෙන මිනිසුන්ට උණුසුම් පිළිගැනීමක් දෙන්න,සත්‍ය සිනහවකින් ඔවුන්ට සංග්‍රහ කරන්න. ප්‍රශ්නයකට මැදි වුණ අයට උදව් කරන්න.
මිනිසුන්ගේ නරක වෙනුවට හොඳ දකින්න උත්සාහ කරන්න, අනෙකාගේ වටිනාකම්වලට වටිනාකමක් දෙන්න. ඒ නොහැකි නම්, අනවශ්‍ය කතන්දර සහ ඕපාදූපවලින් වැළකී නිශ්ශබ්දව සිටින්න.
මේ විදිහට ඔයා, දිනපතා කරන කුඩා හැසිරීම්, වටපිටාවේ සුවපහසුභාවය වගේම ඔයාගේ මානසික නිදහසත් ගොඩනඟාවි. හේතුව, තවකෙනෙකුට රිද්දන්න, විෂ දේවල් බෙදා ගන්න හදන පුද්ගලයාගේ මනස ද සාමකාමී නොවන නිසයි.
පැහැදිලිව හා ගෞරවයෙන් සන්නිවේදනය කරන්න
කාර්යාල ගැටලු බොහොමයක් ආරම්භ වෙන්නේ මේ සන්නිවේදන ගැටලු නිසා. සරල, නරක කතාවක් හරි ඉඟි මාරුකර ගැනීමක් හරි නිසා තව කෙනෙකුගේ නිදහස, සාමය බිඳ වැටෙන අතර ආවේගශීලීත්වය සහ කලකිරීම ගෙන එයි. එනිසා
පැහැදිලිව සහ නිවැරදිව කතා කරන්න.
හොඳින් සවන් දෙන්න, වෙනත් අයගේ අදහස් බෙදාගන්න. පසුතැවීම් නොකර, නිවැරදිව පැහැදිලි කරන්න.විරුද්ධ අදහස් පවා ගෞරවයෙන් ප්‍රකාශ කරන්න
මෙහෙම කළොත්, මිනිසුන්ට ඔයා සමඟ වගේම ඔයාට අනෙක් අය සමඟත් ආරක්ෂිතව කතා කරන්න හැකියාව ලැබේවි.
රුවංගා දිසානායක
කැලණිය විශ්වවිද්‍යාලය