Monday, December 8, 2025
Epaper
Home නවකතාවඔයා ආවේ මගේ හොර අල්ලන්න නේද?

ඔයා ආවේ මගේ හොර අල්ලන්න නේද?

by Thanushika

අම්මා උයන හැටි බලා ඉන්නට නිගූ හැමදාමත් කැමතියි. අම්මා මිරිස් ගලේ සම්බෝලය අඹරනු බලා සිටීම නිගූට එදවස මහත්ම ප්‍රමෝදයකි. මිරිස්ගල සෝදා ලුණු කැට ටිකකුත්, ගම්මිරිස් ඇට කීපයකුත්, සුද්ද කර ගත් රතුලූනු, සුදුලූනු ගෙඩි කීපයකුත්, වියළි මිරිස් කරල් අහුරකුත් මුලින්ම ඇඹරෙයි. මැටිකෝප්පයෙන් ගලට හැලුණු පොල් ටික සම්බෝලයේ නියම පැහැයට හැරෙන තුරු අම්මාගේ අඩන්තේට්ටමට ලක්වනු නිගූ එදවස බලා සිටියේ මහත් ආස්වාදයකිනි. සම්බෝලය මැටිකෝප්පයටම එකතු කර දෙහි ගෙඩියෙන් භාගයක් කපා මිරිකා දෙහි ලෙල්ල සම්බෝලයේම තබයි. අම්මා ආසාවෙන් උයන කැකුළු හාලේ බතට මේ සම්බෝලය රස නහර සත්වනක් පිනා යන මුසුවකි.

නිගූට මේ දේවල් සිහිපත් වන්නේ මාලබේ ගෙදර උයන විටයි. උයන්නේ කන්න දෙයක් සකසා ගැනීම සඳහාම නොවෙයි. ඔහුට ඉවීම භාවනාවකි. කාන්සිය මකා දැමීමකි. සැහැල්ලු වීමකි. අම්මාත්, අම්මා සමඟ ගෙවුණු සොම්නස් සහගත ළමාවියත් සිහිපත් කරවන අතීත කාමයකි. එහෙත් උයන අතරතුර තමන් වේදනාව රසයක් බවට පත් කරගනිමින් සිටින්නේදැයි නිගූ සිතයි.

සෙනසුරාදා දවසකි. නිගූ පමා වී අවදිව රයිස් කුකරයේ බතක් ඉදෙන්නට තබා, මෝර කරවල සමඟ වම්බටු වෑංජනයක් පිළියෙල කරමින් සිටියි. තෙලෙන් උයා ගත් වෑංජනයට මිටිකිරි ටිකක් ද එක්කොට තෙල් පාටට පෑදීගෙන එද්දී කපන ලෑල්ලේ තිබූ තක්කාලි ගෙඩිය ද කපා ඊට එක් කරන විටම ගෙදර සීනුව නාද වෙයි.

සෙනසුරාදා දවස නිදහස් දවසක් ලෙස තියා ගන්නට නිගූ ටික ක‍ෙලක සිට උත්සාහ ගනියි. ඒ දවස්වල නම් සෙනසුරාදා උදේවරු පන්තියකට සාරා රැගෙන යෑම පැවරී තිබුණේ නිගූටයි. බොහෝ දුරට සිකුරාදා දිනවල කොළඹින් පිටවෙන විට රෑ බෝ වෙයි. සිකුරාදා හැන්දෑව මිතුරන් මුණගැසෙන සාද මේස වටා රොක්වන සැඳෑවකි. එබැවින් සිකුරාදා රෑ බෝවී ගෙට ගොඩ වන්නේ බමන මතිනි. එබැවින් හදිසියේම යෙදෙන දේශනයක් හෝ ශූට් එකක් නැතිනම් නිගූ සෙනසුරාදා නිදහස් දවසක් ලෙස තියා ගන්නට උත්සාහ කරයි. කැමැති පොතක් පතක් බලමින්, කැමති කෑමක් හදාගෙන කමින් දවස ගෙවීමේ සනීපයට නිගූ ලෝබයි.

නිගූ දොරෙහි සවි කළ කුරුබිලියෙන් බලයි. අම්මා, ගේ දොරකඩට පැමිණ හිඳියි. ඔහුට ඇති වූ සතුට නිම්හිම් නැත. නිගූ දොර හැර අම්මා වැලඳ ගනියි. සන්ධ්‍යා වනිගසුන්දර ද අනන්ත ආදරයෙන් තම පුතු සිප ගනී. මේ තමා ළමැඩියෙහි හොවා සිටි කිරි දරුවාම නොවේදැයි සිතී ඇස් තෙත් වෙයි. එකවරම අම්මා හැඟීම්බර මොහොත මඟහැර ගේ පුරා සැරිසරයි. පැන්ට්‍රිය වෙත ද එබෙයි.

“ඔයා මොනවද මේ කරන්නෙ.. තනියමද ඉන්නෙ..? සාරා බලන්න ගියෙ නැද්ද ? ඇයි ඔයා මට කතා කළේ නැත්තෙ.. ?

සන්ධ්‍යා ප්‍රශ්නාවලියක්ම අසයි. නිගූගේ මුහුණේ පොඩි එකකුගේ බඳු සුරතල් සොම්නස් සිනහවක් නොමැකී රැඳී තිබෙයි.

“අම්මා මොකෝ මේ හදිසියෙම … ඔයා මගෙ හොර අල්ලන්න නේද ආවේ..?”

නිගූ හයියෙන් හිනා වෙයි. ඔහු මේ තරම් ප්‍රමෝදයෙන් සිනාසුණේ බොහෝ කලකින් නොවේදැයි ඔහුට සිතෙයි.

“අම්මෝ ඔයාගේ කෑමවල සුවඳ”

අම්මා බටු වෑංජනයට එබෙයි. ඉවුම් පිහුම් කළමනා, තුනපහ බෝතල් ඇති රඳවනයෙහි ඇගේ ඇස් මඳක් නතර වී තිබෙයි.

“අම්මා කාලා ද? බත් ටිකක් කමුද? මට නම් බඩගිනියි.. රෑට කෑවෙත් නැද්ද කොහෙද?”

” ඔයා ඉඳියිම කියලා හිතාගෙන නෙවෙයි නිගූ මං ආවේ..ඔයා ඉන්නවාම කියලා දන්නවා නම් මං හොඳ කොහිල ඇඹුලකුත් එක්ක බත් එකක් අරන් එනවා..”

නිගූ අම්මාගේ කොහිල ඇඹුලට පෙරේතයි. ඉස්සර මහගෙදර ළිඳ ළඟ කොහිල ගාල නිගූට මතක් වෙයි. අම්මා කොහිල දලු කපනතුරු නිගූ බලා සිටියි. එය ප්‍රීතිමත් මතකයකි. එහෙත් සන්ධ්‍යා වනිගසුන්දරට ඒ සමය මිහිරි සැමරුම් පිරි සමයක් නොවෙයි.

අමරනාත්ට රැකියාව අහිමි වී ඔහු කොහේ ගියාදැයි සොයා ගැනීමට නොහැකි වූ සමයකි. තනි පඩියෙන් හැමදේම පිරිමසාගෙන දරුවාද හදා වඩා ගනිමින් අම්මාටයි, තාත්තාටයි ද සලකමින් සිටි සමයක අගහිඟකම් දරා ගන්නට ළිඳ ළඟ කොහිල ගාල ඇයට අපමණ පිහිට වෙයි.

“අම්මාගේ කොහිල ඇඹුල කෑවේ නෑ තමා ගොඩ කාලෙකින්…”

නිගූ ලී වංගෙඩියට පොල් අහුරක් දමමින් පවසයි. නිගූට සම්බෝලය කොටන්නට සිදුව ඇත්තේ ලී වංගෙඩියකයි. අම්මා ඒ දෙස හොඳින් බලයි.

“කෝ දෙන්න මං ඕක කොටන්න..”

“අම්මා ඉන්න .. මේක දැන් ඉවරයි.. අපි දෙන්නා බත් ටිකක් කමු..”

සන්ධ්‍යා වනිගසුන්දර බැල්කනිය අසල ඇති ඇඳි පුටුවේ වාඩි වෙයි. සිවුවැනි මහලේ සිට ඈත පෙනෙන වෙල් යාය දෙස හිස් බැල්මෙන් බලා සිටියි. නිගූ මේ ගෙවන්නේ කවර ජීවිතයක්දැයි සිතී ඈ තුළ මහත් ශෝකයක් උපදියි. ඔහුගේ විවාහ ජීවිතය දරුණු අගාධයකට ඇද වැටෙමින් තිබෙන බව ඇයට දැන් පැහැදිලියි. කාංචනාගේ හැසිරීම දෙස ගැහැනු ඇසකින් බලා කල්පනා කළද ඈ හැසිරුණු විදිහ නිගූට කළ අසාධාරණයකැයි ඇයට සිතෙයි. ආදර හැඟීමකින් හෝ කවර හෝ පිරිමි පහසක් කෙරෙහි ඇතිවන ගැහැනු වසඟකාරීත්වය සන්ධ්‍යා හොඳින් දනියි. එහෙත් සන්ධ්‍යා සිතන්නේ එබඳු හැඟුම් ගෙට ගොඩ වනවිට ගේ දොරකඩ තබා ආ යුතු බවයි.

නිගූ කවර දේකට වුවද ආදරයෙන් අවනත කර ගත හැකි ළමයකු බව සන්ධ්‍යා හොඳින් දනියි. එහෙත් දැන් ඒ දේවල්වලින් කිසිදු පලක් නැත. කාංචනා ඇගේ ලෝකය සොයා යමින් සිටින තරමටම නිගූ වල්මත් වන අයුරු සන්ධ්‍යා දකියි. සාරා ලොකු ළමයකු බවට පත් වී වසරක් පමණ ගෙවී ගොස් ඇතත් කාංචනාගේ හිතුවක්කාර හැසිරීම්වල අඩුවක් නොපෙනෙයි.

සන්ධ්‍යා කිසිවිටෙක කාංචනා සමඟ කතාබහකට නොඑළඹෙයි. දෙදෙනාම පරිපාලන සේවයේ සිටි අය වුවත් ඔවුන් ඒ විෂය ගැනවත් කිසිදා කතා කර නැත. ගැහැනියක් තවත් ගැහැනියකට පෙන්වන සියුම් ආඩම්බරය එකිනෙකා වෙත පාමින් ඒ ආඩම්බරය නිසාම ගැටුමකට නොඑළඹී සිටින්නට පුළුවන් වී තිබෙයි. එහෙත් දැන් මේ ප්‍රශ්න විසඳා ගත යුතු ඉමකට පැමිණ ඇතැයි සන්ධ්‍යා වනිගසුන්දරට සිතෙයි.

ඈ එකවරම නිගූට ඇසෙන්නට කතා කරයි. ඇයට නිගූ නොපෙනෙයි. එහෙත් ඇසෙන බව දනියි.

” ඔයා සාරා බලන්න ගියෙ නැද්ද පුතේ..

අපි දෙන්න යමුද ඒ පැත්තෙ ගිහින් එන්න .. මාත් කෙල්ලව බලන්න ආසාවේ ඉන්නෙ..

හැබැයි ඉතින් අද කාංචනා ගෙදර ඇති..”

අම්මාගේ වචනවල ගැබ් වී ඇත්තේ කාංචනා ගැන නුරුස්නාවයි. නිගූට එය හොඳින් වැටහෙයි.

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?