Monday, November 17, 2025
Epaper
Home Highlightsහොඳම කෙනා මුණ ගැසුණේ කවදද?

හොඳම කෙනා මුණ ගැසුණේ කවදද?

එදා තමයි දවස

by Thanushika

දෙස් – විදෙස් මනෝ උපදේශකවරියක් සහ ලේඛිකාවක් වන අනීශා ජයකොඩි තරුණී කියවන ආදරණීය ඔබට කරන සෙනෙහෙබර මඟපෙන්වීම ‘ආදරණීය ජීවිතයකට මඟ’ අලුත් වූ තරුණී සමඟ…

අවුරුදු විස්සක්, විසි දෙකක් වෙනකම් ඉගෙනගෙන ඊට පස්සෙ රස්සාවක් කරන්න පටන් ගන්නකොටම ගැහැනු ළමයකුට එන ප්‍රශ්නයක් ති‍ෙයනවා. ගැහැනු ළමයි විතරක්ම නෙමෙයි පිරිමි ළමයිනුත් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. හැබැයි සාපේක්ෂව අපේ ආසියාතික සමාජයේ ගැහැනු ළමයින්ට මේ ප්‍රශ්නය බලපානවා වැඩියි. මොකද්ද ඒ?

”කසාද බඳින එක”

ඉගෙනගෙන රස්සාවක් කරන්න පටන් ගත්තා කියන්නෙම පරස්තාවක් කරගන්න කාලෙ ආවා කියලා හිතන් ඉන්න මිනිස්සු තාමත් ඕ‍ෙන තරම් ඉන්නවා. අවුරුදු විසි ගාණෙන් බැන්දේ නැත්නම් ගැහැනු ළමයින්ගේ වටිනාකම අඩුවෙනවා කියලා හිතාගෙන ඉන්න සමහර මවුපියෝ රෑ නිදි නැතුව දුවලගේ කසාදෙ ගැන කල්පනා කරන හැටි ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.

ඇත්තටම ගැහැනු ළමයෙක් කසාද බඳින්න ඕනේ මොන වයසෙදි ද ?

ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත්, උත්තරය තමයි

කසාද බඳින්න එහෙම නිශ්චිත වයසක් කියලා එකක් නැහැ. ඔබ විවාහයට සූදානම් වෙන්නේ කවදද අන්න එදා තමයි දවස.

දශක ගාණකට කලින් ගැහැනු ගෙවල් අස්සට සීමා වෙලා ඉන්නකොට වැඩිවිය ලබපු ගමන් වගකීමෙන් නිදහස් වෙන්න හිතාගෙන ගැහැනු ළමයි ඉක්මනට විවාහ කරලා දුන්නට වර්තමානයේ එහෙම දෙයක් අවශ්‍ය නැහැ.

ලංකාවේ මේ වෙනකොට දිනකට 400ක් දික්කසාද ඉල්ලුම් කරනවා. ඒ දික්කසාදවලින් 70%ක ප්‍රතිශතයක් අවුරුදු හතළිහට අඩු ගැහැනු. ඒ කියන්නේ කසාද බඳින ප්‍රමාණය වගේ කිහිප ගුණයක් කසාද ලෙ‍ෙහලා දාන්න බලාගෙන පෝලිම්වල ඉන්නවා කියන එක. කිසිම අවබෝධයක් නැතුව හදිස්සි වෙලා විවාහයට ඉක්මන් වීම නිසා දික්කසාදවල පෝලිමේ ඉන්න පිරිස තමයි වැඩි.

ආදරේ කරන කාලේ ඒ ති‍ෙයන ආකර්ෂණයට, පිටත පෙනුමට සහ ඒ ඇතිවෙන හැඟීම්වලට රැවටිලා මෙයාව ඉක්මනට කසාද බැඳගන්න ඕනේ. එතකොට හැමදාම මෙහෙම ආදරෙන් ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවට, ප්‍රේමයයි විවාහයයි කියන්නේ එකක් නෙමෙයි. පැහැදිලිවම දෙකක්.

විවාහයට හදිසි වෙන්නේ ඇයි?

ආදරේ කරන කාලේ ඉඳලා හිටලා මුණ ගැහෙනකොට ඒ දැනෙන හැඟීම්, විවාහයෙන් පස්සේ හැමදාම එක ගෙදර ඉන්නකොටත් ඒ විදිහටම දැනෙන්නේ නැහැ. කාලයක් යනකොට ඒ හැඟීම් සාමාන්‍යකරණය වෙනවා. එතකොට ඔයා ළඟ වත්කම් විදිහට ඉතුරුවෙන්නේ දෙන්නට දෙන්නා ගැන ති‍ෙයන අවබෝධයයි, උගත්කමයි, තේරුම් ගැනීමයි විතරක් වෙන්න පුළුවන්.

හැබැයි ඒ වෙනකොට දෙන්නට දෙන්නා හරියට තේරුම් අරන් නැහැ කියලා තේරුණොත් ඉතින් වැඩේ එතැනින්ම ඉවරයි. එදා ඉඳන් ඉතින් ජීවිතේ විඳිනවා කියලා කරන්නේ දෙන්නම විඳවන එක විතරයි. ඔන්න ඕකයි කියන්නේ විවාහ වෙන්න හදිස්සි වෙන්න එපා කියලා. අපි කොහොම කිව්වත් අපේ සමාජයේ ඇතුළේ තවමත් දික්කසාදය වගේ කාරණාවලදී පිරිමි ළමයකුට වඩා ගැහැනු ළමයෙක්ට මුහුණ දෙන්න වෙන්න සමාජ ප්‍රශ්න වැඩියි.

ඒ නිසා කවුරු කොහොම කිව්වත් විවාහය කියන කාරණාවේ දී ගැහැනු ළමයි හුඟක් බුද්ධිමත් වෙන්න ඕනේ.

කාටවත් ඕනේ විදිහට, කවුරුවත් කිව්ව පලියට, සමාජයට පේන්න , ලෝකයා සතුටු කරන්න හෝ ක්ෂණික ආකර්ෂණය වගේ නිසා ඔබට ඉක්මනට විවාහ වෙන්න හිතෙනව නම් මුලින්ම තමන් ඒකට කොයි තරම් දුරට සූදානම් ද කියලා හිතලා බලන්න.

ගැහැනු ළමයි පිරිමි ළමයින්ටත් වඩා හොඳට ඉගෙන ගන්න ඕනේ.

තමන් කැමති ක්ෂේත්‍රයක රස්සාවක් කරන්න ඕනේ.

තමන්ටම කියලා දෙයක් හම්බකරගන්න ඕනේ.

ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න උත්සාහ කරන්න ඕනේ.

ජීවිතේ තමන්ට තිබ්බ හීනවලට යන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ.

ආස දේවල් කන්න, ආස දෙයක් ගන්න, ආස විදිහට අඳින්න, මෝස්තර කරන්න, ඇවිදින්න තමන් වෙනුවෙන් ජීවත් වෙන්න කාලයක් තියෙන්න ඕනේ.

බඳින්නෙ සමාජයට ඕනෙ කෙනාද?

ඔය අතරේ තමන්ව තේරුම් ගත්ත තමන්ගේ අදහස් සිතුම් පැතුම්වලට ගැළපෙන සහකාරයෙක් හොයාගන්න එකත් කරන්න ඕනේ. හැබැයි කෙනෙක් විවාහ නොවීම ඉන්න හිතාගෙන ඉන්නව නම් ඒ මතයටත් සමාජයක් විදිහට අපි ගරු කරන්න ඕනේ.

විවාහ වෙන එක නෙ‍ෙමයි වැදගත්. විවාහය රැකගෙන ඉන්න එක.

තමන් ඒකට සූදානම් නැති වෙලාවක අම්මට තාත්තට ලෝකෙට සමාජෙට ඕ‍ෙන වෙලාවට කසාදයක් බැඳගෙන ලෝකය සතුටු කරලා තනියම දුක් විඳින ගැහැනු දරුවෝ ඔබට මට ඕනෙ තරම් මුණ ගැහිලා තියෙනවා. ඒ ළමයින්ගේ ජීවිත විතරක් නෙමෙයි ඒ ඉපදෙන දරුවොත් ඒ තීරණ නිසා දුක් විඳින හැටිත් මේ සමාජයේ ඕනෙ තරම් පේන්න තියනවා.

සරලවම කිව්වොත් විවාහ වෙන්න නිසි වයසක් නැහැ. දවසක් නැහැ. ඔයා ඒකට හරියටම සූදානම් කවද්ද, ඔයාට ගැළපෙනම කෙනා මුණ ගැහුණේ කවද්ද ? අන්න එදා තමයි දවස. ඒ අවුරුදු 25න් වෙන්නත් පුළුවන්. තිස් පහෙන් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පනහෙන් වෙන්නත් පුළුවන්.

වයස කීය වුණත් හදිස්සියේ විවාහ වී නිවී සැනසිල්ලේ පසුතැවෙනවා වෙනුවට, නිවී සැනසිල්ලේ විවාහ වී සැනසිල්ලේ ජීවත් වෙන එක තමයි වෙන්න ඕනෙ.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?