වර්තමානයේ දී බොහෝ දෙනෙක් ගත කරන කාර්යබහුල ජීවන රටාවත් එක්ක දිනපතා ආහාර වේලට නැවුම් එළවළු ලබා ගැනීම සඳහා එළවළු කොටුවක් පවත්වාගෙන යාම අපහසුයි. ඒ නිසා බොහෝ වේලාවට සුපිරි වෙෙළඳසල්වලින් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරන එළවළු සහ පලතුරු මිලදී ගන්න ඔවුන් පෙලඹී ඉන්නවා.
එළවළු තෝරලා බලලා ගන්න එක අපේ අත්තම්මාලාගේ කාලේ ඉඳන් දන්න දෙයක් වුණාට අද ඉන්න තරුණ දරුවන්ට නම්, ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඉතින් ළඟදී විවාහපත් වෙන්න බලාගෙන ඉන්න අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.
නැවුම් වූ පමණින්ම හැම එළවළුවම හොඳම තත්ත්වයෙන් නැහැ. ඒ නිසා පලුදු වුණ කැපුම් පාරවල් සහිත සහ තැළුණු එළවළු තෝරාගැනීමෙන් වළකින්න. ඒවා ඉක්මනින්ම නරක් වෙන්න බලනවා. ඒ වගේම එළවළු ගෙනැත් සතියකට වඩා කාලයක් තියාගෙන පාවිච්චි කරන එක ඒ තරම්ම සුදුසු නැහැ.
සතියකට අවශ්‍ය එළවළු පමණක් එකවර මිලදී ගන්නත් අමතක කරන්න එපා.
පලා වර්ග
කොළ වර්ග මිලදී ගන්නකොට ඒවා ප්‍රාණවත් කොළ පැහැයෙන් සහ මැල නොවුණ ස්වභාවයෙන් ඇත්නම් අලුත්ම කොළ වර්ගයි. මැලවුණු, තැනින් තැන කහ ගැහුණු කොළ වර්ග නෙළා දින කිහිපයක් ගත වූ ඒවායි. කොත්තමල්ලි කොළ, පාස්ලි සහ සලාද කොළ වගේ ඉක්මනින් නරක් වෙන කොළ වර්ග තෝරා ගන්නකොට හැම විටම නොතැලුළු නැවුම් කොළම තෝරාගන්න.
වට්ටක්කා
වට්ටක්කා පොඩි ගෙඩියක් පිටින්ම ගන්නවා නම් වට්ටක්කා ගෙඩියේ නැට්ටෙන් තමා අලුත් බව බලාගන්න පුළුවන්. මුලින්ම බලන්න වට්ටක්කා ගෙඩියේ නැට්ට කැඩිලා ගිහිල්ලද කියලා. නැට්ට ගැලවිලා ගිහින් නම් බොහෝ දුරට ඒ වට්ටක්කා ගෙඩිය ඇතුළෙන් නරක් වෙලා තියෙන්න පුළුවන්. හොලවා බැලුව ම ඇතුළෙන් දිය ගතියට හෙලවෙන සද්දයක් ඇහෙනව නම් ඒ නරක් වුණ වට්ටක්කා ගෙඩියක්. කෑලි කපපු වට්ටක්කා නම් බැලු බැල්මට නරක් වෙලාද නැද්ද කියන්න පුළුවන්නෙ.
මේවායින් රස වගේම පිටි ගතිය වැඩි වට්ටක්කා හොඳ තද තැඹිලි පාටකින් යුක්තයි. ළා කහ පාට සුදට බර වට්ටක්කා දලු කාලෙන් කඩපු වට්ටක්කා නිසා රස අඩුයි වගේම පිටි ගතියෙන් තොරයි.
මල් ගෝවා
ආසාවෙන් හදන්න ගෙනාවට සමහර වෙලාවලට මේ මල් ගෝවා මැද නරක් වෙලා අහක දාන්න වෙන වෙලාවල් නැතුවාම නෙවෙයි. ගෝවා මල විසිරිලා නම්, මල් කොටස් ඈත් වෙලා නම් ඒක පරණ ගෝවා මලක්. හොඳ ගෝවා මලක් එකට ගුළි වුණ පිරුණු ස්වභාවයකින් යුතුයි. තැනින් තැන කහ හෝ අළු පාට වුණ පුස් පැල්ලම් සහිත නම් ඒ පරණ වුණ ගෝවා මලක්.
ගෝවා මලේ යට පැත්ත හරවා බැලුවම නටුව කොටසේ මැද කළු වෙලා නම්, ඇඟිල්ලෙන් තද කළ විට ඇතුළට එබෙනවා නම් ඒ ගෝවා මලේ මැද නරක් වෙලා. නහයට ළංකොට බැලූ විට ගඳක් එනවා නම් ඒත් නරක් වුණ එකක්. මලේ යට පැත්තෙ තියෙන කොළ කහ වෙලා නරක් වෙලා නම් පරණ වෙච්ච ගෝවා මලක් කියලත් මතක තියාගන්න.
කරවිල
තිත්ත නැති කරවිල නම් ඉතින් හොයාගන්න බෑ. කොයි කරවිලත් තිත්තයි. කරවිලවල තිත්තකමේ තමා ගුණ තියෙනව කියන්නෙ. හැබැයි ළපටි කරවිල තරමක් තිත්ත ගතිය අඩුයි. කරවිල ගෙඩියේ යට කොටස ඒ කියන්නෙ නැට්ට පැත්තට විරුද්ධ පැත්ත සුදු පැහැ නම්, නැට්ට පැත්තෙන් කහ වේගෙන එනවා නම් ඒ කරවිල ගෙඩිය ඇතුළෙන් ඉදීගෙන එනවා. කොළ පාට කරවිල ගෙඩියක වුණත් නැට්ට පැත්තෙන් චුට්ටක් කඩලා බැලුවම ළා කහ පාට නම් ඒක ඇතුළෙන් ඉදිලා.
තැනින් තැන කළු පොඩි පැල්ලම් තියෙන කරවිල පරණ සහ නරක්වීමට ලක් වීගෙන එන කරවිලයි. හොඳට සරුවට හැදුණ කරවිලවල රැලි ගතිය තරමක් අඩුයි වගේම විශාල රැලි සහිතයි. තද ගතියෙන් අතට දැනෙන, නැට්ට වියළි, ළා දුඹුරු පැහැ වෙලා නැති කරවිල ගෙඩි හැමවිටම තෝරාගන්න.
බණ්ඩක්කා
බණ්ඩක්කා තෝරන අපි හැමෝම දන්න ක්‍රමේ තමා අගිස්ස චුට්ටක් කඩලා බලන එක. ටකස් සද්දයක් එක්ක ලේසියෙන්ම කැඩෙනව නම් ඒ ළපටි බණ්ඩක්කා. නැත්නම් මෝරලා. සමහර බණ්ඩක්කා ළපටි වුණත් ඇතුළෙන් නරක් වෙලා, ඇට කළු වෙලා, පණුවෝ හැදිලා තියෙන්න පුළුවන්. එහෙම බණ්ඩක්කා පිටින් බලල එකපාරට තෝර ගන්න අමාරුයි. වක් වෙලා නැවිලා තියෙන බණ්ඩක්කාවල ඇතුළෙ පණුවො ඉන්න පුළුවන්කම වැඩියි. ඇද වෙලා වකුටු වෙලා නැති කෙළින් කරල් තෝරාගන්න. ඒ වගේම බණ්ඩක්කා ගෙනාවම දෙහි එක්ක එකට ගබඩා කරන්න එපා. බණ්ඩක්කා ඉක්මනින් මෝරනවා.
වම්බටු
රසවත් වගේම ගුණවත් එළවළුවක්. හැබැයි කිලෝ එකක් ගෙනාවම ග්‍රෑම් 250ක් වත් අහක දාන්න වෙන අවස්ථා වැඩියි පණුවො නිසා. ඒත් වම්බටු ගනිද්දි ඒ වම්බටු ගොඩේ පණුවො විදපු වම්බටු තියෙන එක එක අතකට සුබ ලකුණක් කියලයි ගොඩක් අය හිතන්නේ. මොකද ගොඩාක් අයගේ මතයක් තියෙනවා පණුවෝ කාපු එළවළුවල රසායනික පොහොර භාවිතය අඩුයි කියලා. ඒක නම් ඇත්තටම මිථ්‍යා මතයක්. ශ්‍රී ලංකාවේ හදන කොයි එළවළුවෙත් යම් තරමක රසායනික පොහොර අඩංගු වෙනවා. බය වෙන්න ඕනේ වෙනත් රටවලින් ගෙන්වන ලද එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ගවලටයි. ඒවායේ කෘමිනාශක භාවිතය වැඩි මට්ටමක තිබෙනවා. ලෝකයේ වගාවන්ගෙන් අඩුවෙන්ම කෘමිනාශක යොදාගන්න රටක් විදිහටයි ශ්‍රී ලංකාව පිළිගන්නේ.
ඉතින් වම්බටු තෝරා ගනිද්දි පිටතින් සිදුරු පේන්න නැති පණුවො විදපු නැති, නැට්ට හොඳ කොළ පාටින් තියෙනවා වගේම වියළුණු නැති, නැට්ටක් තියෙන වම්බටු තෝරගන්න.
ඒ වගෙම අතට ගත්තම එබෙන්නෙ නැති, රැලි වැටිලා නැති, පිරුණු වම්බටු ගෙඩි නැවුම් ඒවායි. පරණ වුණ වම්බටුවල නැට්ට දුඹුරු පැහැ වෙලා රැලි වැටිලා තියෙනවා වගේම තැනින් තැන දුඹුරු පැහැ ලප තියෙනවා.
තක්කාලි
තක්කාලි මිලදී ගැනීමේ දී සෑමවිටම දීප්තිමත් රතු පැහැයෙන් යුතු සිහින් සිවියක් සහිත මහත තක්කාලි තෝරා ගන්න. ඒ වගේම තක්කාලි ගෙඩි මතුපිට මොන ම ආකාරයේ හෝ පැල්ලම් නොමැති වීම නැවුම් සහ රසවත් තක්කාලිවල ලක්ෂණයකි. ඒවගේම ඇතැම් තක්කාලිවල සිදුරු දක්නට ලබෙන්නේ සර්පයින් දෂ්ඨ කිරීම නිසා බව ඇතමුන්ගේ මතයයි. එය සාවද්‍ය මතයකි. කිසි විටෙක තක්කාලි වැනි භෝගවලට එවැනි සර්ප දෂ්ඨ කිරීම් සිදු නොවේ. තක්කාලිවල කළු පැහැ සිදුරු දක්නට ලබෙන්නේ ඉල්මැස්සා හානි කිරීමෙනි. නැට්ට අසළ කළු පැහැ වී ඇත්නම් ඒ පනු හානියට කල් වූ තක්කාලි ගෙඩියකි.
මනාව පැසුණු තක්කාලි ගෙඩිවලින් හොඳ සුවඳකින් යුක්තයි. කොළ පැහැ තක්කාලි තෝරා ගැනීමේ දී ඒවායින් හොඳ සුවඳක් නිකුත් වෙනවා නම් එයින් හැඟවෙන්නේ ඒවා හොඳින් ඉදෙන ඒවා බවයි. නොඑසේම නම් ඒවා ළපටි කාලයේ දීම නෙළන ලද තක්කාලි වන අතර නිසි ලෙස පැසීමට පෙර නරක් වීම සිදු වෙනවා.
හොඳින් පැසුණු තක්කාලි ගබඩා කිරීමේ දී උඩු අතට සිටින සේ එකිනෙක නොගැටෙන ආකාරයට ගබඩා කරන්න. මෙසේ ගබඩා කරන ලද තක්කාලි දින කිහිපයක් තුළ ප්‍රයෝජනයට ගැනීම සිදු කිරීමෙන් ඒවා පමණ ඉක්මවා ඉදීමට ලක්වීම වළක්වා ගත හැකියි.
උපදෙස්
කෘෂි නවීකරණය පිළිබඳ
පාරම්පරික ගොවි,
රෝහණ රාමනායක
බෝගහකුඹුර
