අහක දාපු කොස් ඇට මෙච්චර ගුණදායකද?
“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං
“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”යන්න බුද්ධ වචනයයි.
ඉතින් අද කියලා දෙන්න යන්නේ නිෙවස අවටින්ම හොයාගෙන කිසිම මුදලක් වැය නොකොට, පූජා කරලා සුගතියේ උපදින්න පවා හැකියාව ලබාදෙන බත් ගසේ පින් ඇටය ගැනයි. අපගේ ආහාර රටාවට සුවිශේෂී වූ, අතිරේක ආහාරයක් ලෙස කාලයක් පැවති, දැන් දැන් අප බොහෝදෙනා නොසලකා හරින ලද කොස් ඇට ගැන කතා කරන්නට මෙය හොඳම කාලයයි. මුළු ගමටම බත සැපයූ කොස්, අපේ ජීවන රටාව වෙනස් වීමත් සමඟ ක්‍රමයෙන් ඈත් වෙමින් තිබේ. එහි ඇති රසවත් මදුළු ගැන කතා කළත්, බොහෝ දෙනා කොස් ඇට ගැන කතා කරන්නේ ඉතා අඩුවෙන්. නමුත් නූතන පෝෂණවේදීන්ගේ සහ විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ කොස් ඇට යනු අප සෞඛ්‍යයට අතිශයින් වටිනා සුපිරි ආහාරයක් බවයි. මේ ලිපිය ඒ නොසලකා හරින ලද නිධානය ගැනයි.කොස් ඇට යනු ශාක ආහාර මත යැපෙන්නන්ට අත්‍යවශ්‍යම ආහාරයකි. එය අති විශාල ලෙස ප්‍රෝටීනවලින් පොහොසත් වන අතර, සිරුරේ මාංසපේශී වර්ධනයට සහ ශක්තිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
මීට අමතරව, එහි අංශුමාත්‍රික වශයෙන් අඩංගු ඛනිජ ලවණ රාශියක් අපගේ ශරීරයට අමිල මෙහෙයක් සිදු කරයි. කොස් ඇටවල ඇති යකඩ, රතු රුධිර සෛලවල ඇති හිමොග්ලොබින් නිෂ්පාදනයට හොඳින්ම උපකාරී වන අතර, එමඟින් රක්තහීනතාව සහ රුධිරය සම්බන්ධ අනෙකුත් සංකූලතා වළක්වා ගැනීමට විශාල රුකුලක් සපයයි. යකඩවල ක්‍රියාකාරීත්වය නිසාම, කොස් ඇට හෘදයට සහ මොළයට සුවිශේෂී පෝෂණයක් ලබාදෙන බව ද පර්යේෂණවලින් තහවුරු වී තිබේ. කොස් ඇට හුදෙක් ශරීර අභ්‍යන්තර සෞඛ්‍යයට පමණක් නොව, අපගේ බාහිර පෙනුමට ද විශාල රුකුලක් ලබා දෙයි. එහි අඩංගු විටමින් (B) සංකීර්ණයට අයත් තයමින් සහ රයිබොෆ්ලෙවින්, සම සහ හිසකෙස් සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට වැදගත් වේ. කොස් ඇට ආහාරයට ගැනීමෙන් සමෙහි තෙතමනය ආරක්ෂා වන අතර, හිසකෙස් ශක්තිය වැඩි වීම ද සටහන් කළ හැකිය. එපමණක් නොව, එහි ඇති ඛනිජ ලවණ මඟින් මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වන අතර, මානසික සෞඛ්‍යය ද යහපත්ව පවත්වා ගනී. මෙය කාර්යබහුල ජීවිතයක් ගත කරන අප වැනි අයට අතිශයින් වැදගත් වේ. කොස් ඇටවල සිරුරට වැදගත් රසායනික ද්‍රව්‍ය කිහිපයක්ම අන්තර්ගත වේ. පොලිෆීනෝල, ෆ්ලේවනොයිඩ සහ සැපොනින් වැනි මෙම රසායනික සංයෝග පිළිකා සෛල වර්ධනය වීම වැළැක්වීමේ හැකියාවක් පෙන්වා දී තිබේ. පොලිෆීනෝලවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා ඇති කළ හැකි මුක්තඛණ්ඩක විනාශ කරයි. සැපොනින්වල ද පිළිකා නැසීමේ ගුණයක් ඇති අතර, ෆ්ලේවනොයිඩ රුධිර කැටි සෑදීමේ අවදානම අවම කරයි. මේවායේ අඩංගු තන්තු සහ ප්‍රෝටීන මඟින් මල බද්ධය වැළැක්වීමට සහ මාංසපේශි වර්ධනයට ද විශාල සහයක් ලැබේ.කොස් ඇට පිෂ්ට බහුල ආහාරයක් නිසා බොහෝ දෙනා ඒවා තරබාරුවට සහ දියවැඩියාවට හේතු වන බවට සිතති. නමුත් නව පෝෂණ විද්‍යාවට අනුව, කොස් ඇටවල අඩංගු පිෂ්ටයෙන් සියයට 30ක් පමණම සෑදී ඇත්තේ “ප්‍රතිරෝධී පිෂ්ටය“ නම් සෞඛ්‍ය සම්පන්න සංඝටකයකිනි. මෙය අපගේ ආහාර මාර්ග පද්ධතියේ දී නොකැඩී මහා අන්ත්‍රය වෙත ගමන් කරයි. එහිදී, බඩවැල් තුළ වෙසෙන හිතකර බැක්ටීරියා මඟින් එය පැසවීමට ලක් කරන අතර, එමඟින් කෙටි දාම මේද අම්ල නිපදවනු ලබයි. එවිට මහා බඩවැලේ රුධිර ප්‍රවාහය උත්තේජනය වන අතර, මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.
විද්‍යාඥයන් පවසන්නේ මෙම කෙටි දාම මේද අම්ල දියවැඩියා රෝගය, හෘද රෝග, තරබාරුව සහ අක්මාවේ රෝග වැළැක්වීමට දායක වන බවයි. එපමණක් නොව, අපගේ බඩවැල් සහ මොළය අතර ඇති සෘජු සම්බන්ධතාව නිසා, කොස් ඇට වැනි ප්‍රතිරෝධී පිෂ්ටයෙන් පොහොසත් ආහාර පරිභෝජනය කිරීමෙන් මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ද යහපත්ව පවත්වා ගත හැකිය. සරලව කිවහොත්, කොස් ඇට මොළයේ යහපත් ක්‍රියාකාරිත්වය සඳහා ද අත්‍යවශ්‍ය වේ.
කොස් ඇට 100ටක, ප්‍රෝටීන් 7ටක් පමණ ද, මැග්නීසියම්, පොස්පරස්, විටමින් (B1) සහ (B6,) යකඩ, හා පොටෑසියම් ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩංගු බව නවතම පෝෂණ විද්‍යාත්මක වාර්තා පෙන්වා දෙයි. එබැවින්, කොස් ඇට සකස් කිරීමට වැඩි වෙලාවක් ගත වුවත්, අපගේ සෞඛ්‍යයට අමිල මෙහෙයක් සිදු කරන මෙම ස්වාභාවික නිධානය නොසලකා හැරීමෙන් අපට අහිමි වන්නේ අපගේම යහපතයි. ඊළඟ වතාවේ කොස් ඇට ඉවතලන්නට පෙර, මේ කරුණු මතකයට නඟා ගන්න.
කොස් ඇට ගැන කතා කරන විට අපට කළුපොල් මාළුව නම් අමතක කරන්නට ම බැරිය. අපේ අත්තම්මාගේ රසම රස කළු පොල් මාළුවේ රෙසපිය. ඔයාලටත් දැන ගන්න මම මතක් කරන්නම්.
