රෙසින් කලාව දැන් අත්කම් ක්ෂේත්‍රයට එතරම් අලුත් දෙයක් නොවෙයි. සල්ලි මවන අත්කම් කියද්දි කාටත් මුලින්ම මතක් වෙන්නේ රෙසින් කලාව. ඒ තරමට ස්වයං රැකියාවක් ලෙස කාන්තා ව්‍යවසායකත්වයට රෙසින් කලාවේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ නිසාම අද කවුරුත් කතාබහ කරන මේ රෙසින් කලාවෙන් හරි අපූරු නිර්මාණයක් ඉදිරිපත් කරන්න හිතුවා.
මේ චෙස් බෝඩ් එක නිවෙසේ සතුට වැඩි කරගන්න හේතුවක් කරගන්න පුළුවන් වගේම ව්‍යාපාරයක් විදිහටත් නිර්මාණය කරගන්න පුළුවන්.
මේ සඳහා මුලින්ම රෙසින් මිශ්‍රණය සකසා ගත යුතුයි. ඒ සඳහා රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. මුලින්ම රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකට වන ලෙසයි. නැත්නම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක් කර ගැනීමට නොහැකි වේවි.
මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණි විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව ඔබට වැටහේවි.
චෙස් බෝඩ් ඩිසයින් සහිත මෝල්ඩ් වර්ග ඕනෑ තරම් වෙළෙඳපොළේ තිබෙනවා. ඉතින් තමන් කැමැති විදිහේ කැමැති ප්‍රමාණයක මෝල්ඩ් එකක් තෝරා ගන්න. මේ මෝල්ඩ් එකට රෙසින් මිශ්‍රණය පිරවීම හරිම පරෙස්සමට කළ යුතුයි. කොටු සඳහා කළු සුදු හෝ තමන් කැමති වර්ණ දෙකක් යොදා ගත හැකියි. ඒ සඳහා ඉහත සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් එක කොටසක් ගෙන එයට කළු වර්ණය එකතු කර මිශ්‍රකර ගන්න. අනෙක් කොටසට සුදු හෝ කහ පැහැය එකතු කරගෙන මිශ්‍රකර ගන්න.
දැන් අපි මෝල්ඩ් එකේ චෙස් කොටු ටික පුරවා ගනිමු. මෙහිදී මුලින්ම කළු වර්ණයෙන් කොටුවක් හැර කොටුවක් පුරවා ගන්න. වර්ණ දෙකම එක්වර කලවමේ පුරවා ගැනීමට ගියොත් වර්ණ මිශ්‍රවී නීට්නස් එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා එක වර්ණයකින් කොටු ටික පුරවාගෙන වියළුණු පසු අනෙක් වර්ණයෙන් කොටු ටික පුරවා ගන්න.
මේ මෝල්ඩ් එක තියෙන්නේ යට පැත්තට නිසා අපි නිර්මාණය කරන්නේ යට පත්තේ සිටයි. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
මේ මෝල්ඩ් එක වටේම බෝඩර් එකක් වැනි පටියක් දැක ගන්න පුළුවන්. ඒකටත් වෙනම කළු රෙසින් වර්ණය එකතු කර වේලෙන්න හරින්න.
මේ මෝල්ඩ් එක අපි යට පැත්තටත් රෙසින් ලේයර් එකකින් පුරවා ගන්න ඕනේ. එහිදී අපි කරන නිර්මාණය අනුව තද වර්ණයක් ළා වර්ණයක් එකතු කරගන්න. ඒ ලේයර් එකත් හොඳින් වියළුණු පසු මෝල්ඩ් එකෙන් ගලවා ගන්න.
ඉන්පසු කොටු අතර තියෙන දාර තමන්ට කැමති නම් ගෝල්ඩ් ප්ලැටිග්නම්, ගෝල්ඩ් පෙන් එකකින් හරි එහෙමත් නැත්නම් ඇක්‍රලික් කලර් යොදාගෙන සිහින් පින්සලකින් ඇදගන්නත් පුළුවන්.
මේ බෝඩ් එක යට පැත්තට බයින්ඩර් ගම් ලේයර් එකක් දමා ගන්න. ඊට පස්සේ පේපර් කප් හතරක් උඩ මේ බෝඩ් එක තියලා ඒකට උඩින් විනිවිද පෙනෙන ටොප් ලේයර් එක දමා ගන්න. එහිදී වායු බුබුළු මතු වෙනවා නම් හීට් ගන් එක අල්ලන්න. මේ චෙස් බෝඩ් එකට අවශ්‍ය නම් කකුල් හතරක් සවි කරගන්න පුළුවන්. ඒ සඳහා නොබ්ස් සහිත රේසින් මෝල්ඩ් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ නොබ්ස් හතර රෙසින් මිශ්‍රණයෙන්ම අලවා ගන්නත් පුළුවන්.
දැන් චෙස් ඉත්තන් සඳහා මෝල්ඩ් පුරවාගනිමු. එහිදී ආදාළ වර්ණවලින් මේ ඉත්තන්ගේ මෝල්ඩ් පුරවා ගන්න. එහිදී මෝල්ඩ් එක යට පැත්ත මිරිකමින් පුරවන්න එවිට වායු බුබුළු මතු වීම ඉතාම අවම වේ. වර්ණ කිහිපයක් එකතු කරලා ලේයර් වශයෙන් ද මේ මෝල්ඩ් පුරවා ගන්න පුළුවන්.
මේ චෙස් බෝඩ් එකට ෆොටෝ එකතු කරලත් හදන්න පුලුවන්. එහිදී ආර්ට් බෝඩ් එකක ප්‍රින්ට් කරගත්ත ෆොටෝ මෝල්ඩ් එකේ කොටුවලට මාරුවෙන් මාරුවට එකතු කරන්න පුළුවන්. රෙසින් ස්වල්පයක් ෆොටෝ එක යට පැත්තේ ගාලා කොටුවේ යට පැත්තට අලවා ගන්න. මෝල්ඩ් එකේ කොටුවලට ක්ලියර් රෙසින් ලේයර් එකක් එකතු කරන්න. ඉන්පසු නිර්මාණයට ගැළපෙන වර්ණයකින් යට ලේයර් එක දමා ගන්න පුළුවන්.
උපදෙස් –
රෙසින් නිර්මාණ ශිල්පිනී
සුදර්ශි ලංකා
I do creations by lanka