Monday, November 17, 2025
Epaper
Home Cakesහවස තේ එකට coffee cake

හවස තේ එකට coffee cake

by Thanushika

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු වූ මොහොතක රස බලන්න කදිමයි. ආදරණීය පුංචි සැමරුමකටත් කදිමයි.

කෝපි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

කේක් මිශ්‍රණය සඳහා

බටර් ග්‍රෑම් 150ක්

සීනි ග්‍රෑම් 150ක්

ලොකු බිත්තර 03ක්

කේක් පිටි ග්‍රෑම් 150ක්

වැනිලා / කෝපි එසෙන්ස් තේ හැඳි 01ක්

ක්ෂණික කෝපි තේ හැඳි 02ක්

බේකිං පවුඩර් තේ හැඳි 01ක්

උණු වතුර මේස හැඳි 02ක්

කෝපි අයිසිං සඳහා

බටර් ග්‍රෑම් 100ක්

අයිසිං සීනි ග්‍රෑම් 250ක්

ක්ෂණික කෝපි තේ හැඳි 02ක්

උණු වතුර මේස හැඳි 01ක්

සැරසීමට කජු

සාදන ක්‍රමය

කෝපිවලට උණු වතුර එකතු කර හොඳින් දිය කර ඒ ටික නිවෙන්න පැත්තකින් තියාගන්න.

බිත්තර සුදු මද ටික හොඳට බීට් කර ගන්න. සුදු මද ටික හොඳට බීට් වුණාට පසුව ඒ ටිකත් පැත්තකින් තියා ගන්න.

වෙනමම භාජනයක බටර් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් වෙනකම් බීට් කරන්න.

බටර් ටික හොඳට ක්‍රීම් වුණාට පස්සෙ බිත්තර කහ මද එක එක දාන ගමන් මිශ්‍රණය තව ටිකක් හොඳට බීට් කරන්න.

දැන් මේකට වැනිලා ටිකයි කලින් හදා ගත්ත කෝපි ටිකයි දා ගන්න. ඔයාලගේ කෝපි එකේ කෝපි කුඩු තියෙනවානම් පෙරා ගන්න.

ඊළඟට පිටියි, බේකිං පවුඩර් ටිකයි එකට කලවම් කරන්න. මේ පිටිවලින් ටික ටික බටර් මිශ්‍රණයට එකතු කර ගන්න.

අන්තිමට කලින් බීට් කර ගත්ත බිත්තර සුදු මද ටික මේ මිශ්‍රණයට දාලා හෙමින් සැරේ කලවම් කර ගන්න.

දැන් මේ කේක් මිශ්‍රණය බේකිං ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180 ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 35ක් විතර බේක් කර ගන්න. කෝපි අයිසිං එක හදන්න මුලින්ම කෝපි ටික උණු වතුරත් එක්ක දිය කර නිමෙන්න තියන්න.

බටර් ටික ළා පාටට එනකම් හොඳට බීට් කර ගන්න. බීට් කර ගත්ත බටර් එකට හලා ගත්ත අයිසිං සීනි එකෙන් භාගයක් දමා කලවම් කරන්න. අයිසිං සීනි ටික හොඳට කලවම් කරගෙන ඉවර වෙලා කලින් හදා ගත්ත කෝපි ටික දා ගන්න. කේක් එකට කෝපි දානකොට කලවම් කළා වගේම මෙතැනදීත් කෝපි එකේ කෝපි කුඩු ති‍ෙයනවානම් ඒ ටික පෙරලා අර ගන්න. ඉතුරු අයිසිං සීනි ටිකත් මේකටම දමා කලවම් කරන්න.

කේක් එක හරි මැදින් හරහට කපලා කෑලි දෙකකට වෙන් කර ගන්න. එක කෑල්ලක් උඩින් අයිසිං ගාලා අනිත් කේක් කෑල්ල මේකට උඩින් තියා ගන්න. දැන් මුළු කේක් එකම අයිසිංවලින් කවර් කර ගන්න. දැන් ඉතින් ඔයාලට පුළුවන් මේ කේක් එක කැමති විදිහකට අයිසිං කර ගන්න. කේක් එක අයිසිං කරලා ඉවර වෙලා තව ටිකක් ලස්සන වෙන්න පොඩියට කපා ගත්ත කජු කෑලි ටිකකුත් කේක් එකට උඩින් දා ගන්න

*************

අතුරුපසට කෝපි මූස් එක්ක පිටි නැති චොකලට් කේක් හදමු

මේ කේක් එක යට තියන චොකලට් කේක් එක හොඳට චොක්ලට්වලින් පිරුණ රසම රස කේක් එකක්. හොඳ කෝපි සුවඳක් එක්ක කේක් එකට උඩින් ති‍ෙයන කෝපි මූස් එකත් එක්ක හොඳ අතුරුපසක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

කේක් එක සඳහා

බටර් ග්‍රෑම් 110ක්

චොකලට් ග්‍රෑම් 150ක්

බිත්තර 03ක්

සීනි ග්‍රෑම් 100ක්

කොකෝවා පවුඩර් මේස හැඳි 01ක්

ලුණු

කෝපි මූස් එක සඳහා

බිත්තර කහ මද 02ක්

සීනි ග්‍රෑම් 100ක්

කෝන් පිටි ග්‍රෑම් 12ක්

උණු කිරි මිලි ලීටර් 160ක්

වැනිලා – තේ හැඳි 1/2ක්

ක්ෂණික කෝපි මේස හැඳි 01

ජෙලටින් කුඩු මේස හැඳි 1/2ක්

කූල් වතුර මේස හැඳි 02ක්

විපින් ක්‍රීම් ග්‍රෑම් 240ක්

සාදන ක්‍රමය

කේක් බැටර් එක හදා ගන්න බටර් ටිකයි, චොකලට් ටිකයි මඳ ගින්දරේ දිය කර ගන්න.

දිය කර ගත්ත චොකලට් ටික ටිකක් නිවුණාට පස්සේ බිත්තර කහ මද එක එක දදා කලවම් කරන්න.

කොකෝවා පවුඩර් ටිකයි ලුණු ටිකයි එකතු කරන්න.

දැන් බිත්තර සුදු මද ටික ටිකක් වෙලා හොඳට බීට් කර ගන්න.

බිත්තර ටික හොඳට පිම්බෙන ගානට ආවාට පස්සේ සීනි ටිකත් දාලා තව ටිකක් වෙලා බීට් කර ගන්න. දැන් මේ බීට් කර ගත්ත බිත්තර ටික චොකලට් එකත් එක්ක කලවම් කර ගන්න.

කේක් බැටර් එක බේකිං පෑන් එකකට දාලා සෙල්සියස් අංශක 180° ක උෂ්ණත්වයක විනාඩි 25ක් විතර බේක් කර ගන්න.

කෝපි මූස් එක හදාගන්න බිත්තර කහ මද ටිකයි සීනි ටිකයි, එකට දාලා කලවම් කරන්න.

දැන් මේකට කෝ්න් පිටි ටිකත් දාගන්න.

මේ මිශ්‍රණයටම කිරි ටික ටික දදා කලවම් කරන්න.

මේ කිරි ටික ටිකක් ඝනකම් වෙනකම් දිගටම හැඳි ගාන ගමන් මඳ ගින්දරේ රත් කරන්න.

මිශ්‍රණය ඝනකම් වූ විට ළිපෙන් අයින් කර වැනිලා ටිකයි, කෝපි ටිකයි දමා හොඳට කලවම් කර නිවෙන්න තියන්න.

වතුරවලට ජෙලටින් ටික දමා විනාඩි 05ක් 10ක් විතර තියලා තියන්න.

දැන් මේ ජෙලටින් ටික කෝපි මිශ්‍රණයට දමා කලවම් කරන්න.

ඊළඟට විපින් ක්‍රීම් ටික හොඳට බීට් කර ගන්න.

දැන් බීට් කර ගත්ත විපින් ක්‍රීම් ටිකට කෝපි මිශ්‍රණය දමා කළවම් කරන්න.

හොඳට කළවම් වුණාට පස්සේ මේ කෝපි මූස් එක කේක් එකට උඩින් දාගන්න.

දැන් මේ කෝපි මූස් එක හොඳට සෙට් වෙනකම් මේ කේක් එක පැය 04ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න. කේක් එක හොඳට සෙට් වුණාට පස්සේ බේකිං ට්‍රේ එකෙන් අයින් කර රස්නේ පිහියකින් කෑලිවලට කපා ගන්න.

 

උපදෙස්
ප්‍රවීණ කේක් නිර්මාණ උපදේශිකා
සර්වදර්ශනී
අප්සරා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?