Sunday, December 7, 2025
Epaper
Home කලා ලොවඅපි අතරෙත් අපි ඇතුළෙත් නිශ්මිලා ජීවත් වෙන්න පුළුවන්

අපි අතරෙත් අපි ඇතුළෙත් නිශ්මිලා ජීවත් වෙන්න පුළුවන්

'ආයු' වෙතින් සිංහල සිනමාවට එන සැන්ඩ්‍රා මැක්

by Thanushika

දළ රළ මැද ඇය ජීවිතය සොයා යයි. අපේ සිනමාවට වසන්තය උදාවූ සමයක ‘ආයු’ තිරගත වෙයි. ඒ චත්‍ර වීරමන්ගේ සිනමා අදියුරෙන් තැනුණු අපූර්වතම කෘතියක් ලෙසිනි.

මිනිසුන්ගේ ජීවිතවලට ගලා එන අනපේක්ෂිත සිදුවීම් හමුවේ විඳීම්, විඳවීම්, විඳ දරා ගැනීම් ඔස්සේ ‘ආයු’ දිවයයි. හදවත අවදි කරන, හදවතට තෙතමනයක් ගෙන දෙන, ආදරය ගැන, ජීවිතය ගැන අප දකින විදිහ වෙනස් කරන චිත්‍රපටයක් වන ‘ආයු’ ඔස්සේ ඇය සිංහල සිනමාවට පා තබයි.

චිත්‍රපටය නරඹා සිනමා ශාලාවෙන් පිටතට එද්දී සැන්ඩ්‍රා මැක් නම් වූ ඇය තාරුණ්‍යයේ හදවත් දිනා ගත් ක්‍රෂ් එකක් නොවීම නම් පුදුමයකි.

ඔබ කවුද?

මම වෘත්තියෙන් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියැළෙන කෙනෙක්. ලේඛිකාවක්. ඩිසයිනර් කෙනෙක්.

ඔබේ සිනමා ආගමනය සිදුවන්නේ ‘ආයු’ හරහා. අපි ඒ ගැන කතා කරමු.

‘ආයු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ‘නිශ්මි’. චත්‍ර වීරමන් මේ චරිතය රඟපාන්න මට ආරාධනා කළාම එය මට ගෞරවයක් විදිහටයි දැනුණේ.

මගේ වෙළෙඳ ප්‍රචාරණ වෘත්තියත් සමඟින් සිනමා අධ්‍යක්ෂවරුන් මුණගැසී තිබෙනවා. ඔවුන් සමඟ එකට වැඩ කර තිබෙනවා. නමුත් චත්‍ර වීරමන් හමුවුණේ ප්‍රථම වතාවට, මේ චිත්‍රපටයේදීමයි. ඔහුව මට වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේදී හමුවෙලා නැහැ.

ඔහුගේ ප්‍රථම චිත්‍රපටය ‘ආලෝකෝ උදපාදී’. මම එය ආසාවෙන් නරඹලා තියෙනවා. ඒ script එකට මම ආස වුණා. නිශ්මිට මම ආදරය කළා.

නිශ්මි ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ඒක අභියෝගයක් වුණා. හැබැයි අලුත් අත්දැකීමකුත් වුණා. අපි අතරේ වගේම අපි ඇතුළතත් නිශ්මිලා ජීවත් වෙනවා. නිශ්මි කියන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක්. ඇය විවාහකයි. ඇගේ සැමියා රවී. ඔහුගේ බලාපොරොත්තු සමඟිනුත් ඇයට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඇගේ මවගෙනුත් යම් පීඩනයක් එල්ල වෙනවා. වෘත්තියේ ප්‍රශ්න, නිවෙසේ ප්‍රශ්න… මේ සියල්ල මැද ජීවිතය තේරුම් ගෙන ඉන්න කෙනෙක්.

ජීවිතයේ කිසිදාක නොසිතූ නොවිරූ ප්‍රශ්නවලට, අභියෝගවලට මුහුණ දුන්නත් ඇය ඒ සියල්ල ධනාත්මක සිතින් භාරගන්න තැනැත්තියක්. ඇය ජීවිතයේ සියල්ල අතහැර දමා යමක් සොයමින් පවතින තැනැත්තියක්.

ඔබට රඟපාන්න ලැබෙන්නේ ජගත් මනුවර්ණ, අෂාන් ඩයස් වගේ පළපුරුදු රංගන ශිල්පීන් සමඟ. ඒ අත්දැකීමත් අමතක නොවන දෙයක් වෙන්න ඇති.

ඒකත් එක්තරා විදිහක අභියෝගයක් තමයි. හැබැයි සුන්දර අභියෝගයක්. ඒගොල්ලෝ කොහෙත්ම මාව අලුත් රංගන ශිල්පිනියක් විදිහට සැලකුවේ නැහැ. ඒ වගේම මගේ අම්මට රඟපාන්නේ මාලිනී ෆොන්සේකා මහත්මිය. ඇයත් සමඟ රඟපෑමේ විරල ගණයේ භාග්‍යයත් මට මේ චිත්‍රපටය හරහා ලැබුණා.

රූගත කිරීම් සිදුකරපු කාලෙ ගැනත් මතක් කරමු.

මෙහි රූගත කිරීම් සිදු කෙරුණේ 2018දී. ලංකාව පුරා ලස්සන Location කිහිපයකම ෂූටින් තිබුණා. දවස් 38ක් විතර එක දිගටම ෂූටින් තිබුණා. විවේකයක් නැතුවම අපි ෂූටින් කළා.

මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිමැවූවක්ද?

සත්‍ය කතාවක්ම නෙමෙයි. සත්‍ය කතාවක යම් සිදුවීමක් ඇසුරින් නිමැවුමක්.

කොහොමද ප්‍රතිචාර?

ප්‍රතිචාර හොඳයි. ඉතාම හොඳ, හරිම සතුටුදායක ප්‍රතිචාර තියෙනවා. සිනමාවේ දැවැන්තයන්ගේ විචාර දිරිගන්වනසුළු ඒවා.

සිනමා රසිකයන් හද බැඳ ගත් චිත්‍රපට, විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට සමීප කරවීම දැන් trend එකක් වෙලා. ‘ආයු’ චිත්‍රපටයත් එලෙස විදෙස් රටවල තිරගත කිරීමේ වෑයමක් තිබෙනවාද?

ඔස්ට්‍රේලියාවේ දැනටමත් දර්ශන වාර කිහිපයක් සඳහාම තිරගත ටිකට්පත් අලෙවි වෙලා තිබෙනවා.

ඔබේ කලා ජීවිතයේ ඇරඹුම කොහොමද වෙන්නේ?

ඇත්තටම මම English Theater එකේ ඉන්න කෙනෙක්. මම පාසල් දෙකකට ගියා. ශාන්ත පාවුළු මිලාගිරියට සහ කොල්ලුපිටියේ Methodist College එකට. අපි පල්ලි යද්දි පාසලේදී ගීතිකා කණ්ඩායම්වලට සහභාගි වෙලා ඒ අත්දැකීම ලබල තියෙනවා.

ශාන්ත පාවුළු මිලාගිරියෙදි මම Bellet Festival වලට සෑහෙන්න ගිහින් තියෙනවා. ඒක කලාකාරිනියන් බොහෝ දෙනෙක් බිහි කරපු පාසලක්. හේග් කරුණාරත්න සර්ව මතක් කරන්නම ඕන. සර් තාම ඉන්නවා. Bellet Festival වලට අපිව පුරුදු කරන්නේ සර් තමයි.

Methodist College එකේදිත් මම script ලියලා, Drama කරනවා.

ඊට පස්සේ මම ගියේ British Council එකේ තිබ්බ workshop වලට. එහෙදී රූඩි කොරන්ස් සහ ස්කොට් රිචඩ්ස් විසින් මෙහෙයවන ලද නාට්‍ය වැඩමුළුවලට මම සහභාගි වෙලා තියෙනවා. ඔවුන් විසින් මෙහෙයවපු නාට්‍ය නිෂ්පාදනවලට සහභාගි වෙලත් තියෙනවා. හැබැයි films නම්, කරලා තිබ්බෙම නැහැ.

රංගනය පැත්තෙන්, සිනමාව පැත්තෙන් අනාගත බලාපොරොත්තු මොනවද?

හොඳ තිරපිටපත්වලට, හොඳ චිත්‍රපටවල රඟපාන්න ආසයි. ශ්‍යාම් ප්‍රනාන්දු එක්ක කෙටි චිත්‍රපටයක රඟපෑවා.

චත්‍රගේ තාත්තා සමන් වීරමන්, ඔහු අප අතර නැහැ දැන්. ඔහුත්, චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් දෙපොළ වන දයා රත්නායක සහ යසස් රත්නායකවත් මම මේ මොහොතේ සිහිපත් කරනවා.

ඔබ දුනු ශිල්පයට සහ නර්තනයටත් දක්ෂ කෙනෙක් නේද?

දුනු ශිල්පය භාවනාවක් වගේ. මම එයට හරිම ආදරෙයි.

මම බෝල්රූම් සහ ලතින් අමෙරිකානු නැටුම් ඉගෙනගෙන තියෙනවා. නර්තනය කියන්නෙත් මම ගොඩක් ආස කරන දෙයක්.

pix by  -උපුල් නිශාන්ත

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?