කවුරුන් හෝ වේවා තමන්ගේ නිර්මාණයකට සම්මානයක් ලැබීම ඒ නිර්මාණකරුට මොනතරම් සතුටක් ගෙන දෙන්නක්ද? එවැනි සම්මානයක් තමන්ගේ කුලුඳුල් නිර්මාණයකට හිමිවීම ඊටත් එහා ගිය සතුටක් නොවන්නේද? හරියට ක්‍රිකට් ක්‍රීඩකයකු තම මංගල තරගයේ දී ශතකයක් රැස් කළා වැනි හැඟීමක් ලැබෙනවා නොඅනුමානය.
රජනි යාපා මේ අපූරු අත්දැකීම හිමි කරගත් අපේ කාලයේ තරුණ ලේඛිකාවකි. ඈ ලියූ ‘රෝසියානා’ ඇගේ කුලුඳුල් නවකතාව පසුගියදා සම්මානිත වූවා. එස්. ගොඩගේ පොත් ප්‍රකාශයන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් වසරක් පාසා පැවැත්වෙන සම්මාන උෙලළේ රජනිගේ ‘රෝසියානා’ නවකතාව කෘතීන් 61ක් අතරින් දෙවැනි තැනට පත්වූවා.
කොළඹ විශාඛා විද්‍යාලයේ ශිල්ප හැදෑරූ රජනිගේ ගම් පියස වේයන්ගොඩ. පියා ඉංජිනේරුවරයකු ද, මව ගුරුවරියක ද වූ රජනිගේ එකම නැඟණිය නීතිඥවරියකි.
පාසලෙන් සමුගත් පසු රජනි ජනමාධ්‍ය හා ලේඛන කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි. ඉන් අනතුරුව ඈ ගුවන්විදුලි තිරපිටපත් රචනය පිළිබඳ තම දැනුම මුවහත් කරගත්තේ ගුවන්විදුලි සංස්ථාවට ඇතුළත්වී ආනන්ද සිරිසේන මහතාගේ මඟ පෙන්වීමෙනි. ලේඛන කලාවෙන් මඳකට ඈත්ව ව්‍යාපාර කටයුත්තකට තිබූ ආසාව නිසාම රජනි ආර්. ක්ලෙමන්ට් මහතා යටතේ අවුරුදු 8ක් කේක් ශිල්පය හදාරන්න පටන් ගත්තා. මේ අතර කාලයේ ඈ ‘රයාස් මයින්ඩ්’ නමින් මුහුණු පොතේ තමන්ගේ නිර්මාණ රැගත් කවි පිටුවක් පටන් ගත්තේ ලේඛන කලාවට ඇති ඇල්ම නිසාමයි. දවසින් දවස මේ පිටුව හරහා ලැබුණු ප්‍රතිචාර ඉහළ යෑමත් එක්කම ඈ නවකතාවක් ලිවීමට පෙලඹුණු අතර ය. රෝසියානා නවකතාවේ උත්පත්තිය සිදුවූයේ ඒ ආකාරයෙනි.
‘රෝසියානා’ අත්පිටපත ඇගේ සහෘදයන් පරිශීලනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දැඩි ඉල්ලීම මත එය ගොඩගේ ප්‍රකාශකයන්ගේ තරගයට ඉදිරිපත් කරනු ලැබුවා. තම කුලුඳුල් නිර්මාණයට නිසි තැනක් ලබා දීම ගැන ඈ ගොඩගේ අධිපතිතුමන් සහ ඔහුගේ දියණිය සිහිපත් කළේ භක්ත්‍යාදරයෙනි.
ලාල් හෑගොඩ සූරීන් සංස්කරණය කර එළිදැක්වෙන ‘කවි සියපත 2007’ කෘතියේ ඇගේ කවි දෙකක් 2007 වසරේ පළවීම මුද්‍රිත මාධ්‍යයේ ඈ ලැබූ පළමු ජයග්‍රහණයයි.
රෝසියානා නවකතාව පාදක වී තිබෙන්නේ නවසීලන්තයේ තරුණියක සහ ලංකාවේ තරුණයකු වටා ගෙතුණු ආදර අන්දරයක් වූවාට මෙය හුදෙක්ම බෞද්ධ පසුබිම සහ සොබා දහම පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කර ලියූ කතාවක් බැව් ඈ පැවසුවාය. කුලුඳුල් නවකතාවට ලැබුණු අසීමිත ගෞරවය හා වටිනාකම් සමඟින් ඇය මේ දිනවල ඇයගේ දෙවැනි නිර්මාණය වෙනුවෙන් කටයුතු සූදානම් කරමින් ඉන්නා බැව් අවසන් වශයෙන් පැවැසුවේ ලේඛන කලාවේ දිගු ගමනක් යෑම ඇගේ බලාපොරොත්තුව බව පවසමිනි.
ටෙනිසන් එදිරිසිංහ