Saturday, October 18, 2025
Epaper
Home කෙටි කතාවආධාර පත්‍රය

ආධාර පත්‍රය

by Thanushika

“අම්මේ…..අම්මේ…..”

පුටුව උඩම අඩ නින්දකට වැටී සිටි සුජාතා ගැස්සී අවදි වුණේ නිපුනිගේ හඬින්.

නිපුනි අද මේ වෙලාවට නිවෙසේ සිටින්නේ ඇයි දැයි ඇයට එක්වරම සිතාගත නොහැකි වූවත් එය සෙනසුරාදා දිනයක්.

“ඇයි…ඇයි….මට ටිකක් නින්ද ගියා.”

“අම්මේ…ලොකු හාමුදුරුවෝ වැඩමකරලා.”

” කෝ, කොහෙද… ”

තුනටියේ වේදනාව අමතක වුණු සුජාතා පුටුවෙන් නැඟිට්ටේ ඉද්ද ගැහුවා වාගේ.

” ඉස්තෝප්පුවේ…මම පුටුවකට සුදු රෙද්දකුත් දාලයි ආවේ.”

සුජාතා ඇඳගෙන හිටිය ගවුම ගලවලා, හෝදපු ගවුමක් ඇඳගත්තා. පනා පාරවල් දෙක තුනක් ගහලා කොණ්ඩෙ එක්තැන් කරගෙන ඉස්තෝප්පුවට ගියේ මූණේ පවුඩර් ටිකකුත් උලාගෙනයි.

“අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ වැඩම කරන්න මහන්සි වුණේ පණිවිඩයක් එව්වා නම් මම පන්සලට එනවනේ.”

සුජාතා කිව්වේ පහත් වී හාමුදුරුවන්ට වඳින ගමන්.

“අනේ ඒකට කමක් නැහැ ඉස්කෝලෙ හාමිනේ.

තවත් ගෙවල් හතර පහකට යන්න එක්කමයි අද දොට්ට බැස්සේ. මෙහෙන්ම ගමන පටන්ගන්න හිතුවා. ලොකු ඉස්කෝලේ මහත්තයා ඉන්න කාලෙත් ඕනෑම සුබ කටයුත්තක් පටන්ගනිද්දි මුලින්ම වැඩියේ මෙහෙටනේ. ඉස්කෝලෙ මහත්තයා නැතිවුණාට පස්සෙ ඉස්කෝලෙ හාමිනෙත් අපිට බොහොම උපකාර කරලා තියෙනවා.”

“එහෙමයි හාමුදුරුවනේ ”

“පන්සලේ බෝධි ප්‍රාකාරය දැන් බොහොම අබලන්. තැන තැන පුපුරලා. මුල් ගිහින්. දායක සභාවේ අදහස තියෙන්නේ බැම්ම ඉවත්කරලා රන් වැටක් හදන්නයි. එහෙම කළොත් බොහොම අලංකාරයට හිටීවි. ලොකු මුදලකුත් යනවා. ඒ මුදල් එකතු කරගන්න වෙන්නේ ගමේ දානපතියන්ගෙන්ම තමයි. ටවුමේ තොග කඩේ සිරිවර්ධන මුදලාලි මේකට යන මුදලින් භාගයක්ම දෙනවා. ඉතිරි මුදල තමයි අපට හොයාගන්න තියෙන්නේ.

ඉතින්….ඉස්කෝලෙ හාමිනේගේ පින්වත් දෑතින්ම මුලින්ම ආධාර පත්තරයට ගණනක් ලියන්නකෝ. අදම මුදල් දෙන්න ඕනෙ නැහැ. ලබන මාසෙ පළමුවැනිදා වෙනකොට ලැබුණොත් ඇති.”

සුජාතාගේ ඉහමොළ දාලා ගියේ බැංකු පොතේ තියන සොච්චම මතක් වෙලා. දෙන්නගෙම පැන්ෂන් එක ලැබුණත් බෙහෙත්වලටයි ගෙදර අඩුවැඩියටයි ගියහම මාසෙ අන්තිමට පොතේ ඉතුරුවෙන දෙයක් නැහැ.

ඒත් සිරිවර්ධන මුදලාලි මතක්වෙද්දී දැනෙන්නේ ලජ්ජාවක්. ඒ කාලේ කඩේ බඩු කිරන්න ගිය කොල්ලා. දැන් මහ මුදලාලි කෙනෙක්. හැබැයි දැක්ක තැන “ඉස්කෝලේ හාමිනේ” කියලා ඔළුව පාත්කරනවා තමයි.

“අනේ අනිච්චං අපිට ගිය කලක්”

සුජාතාට හිතුණා.

මොනවා කරන්නද ? ඉස් ඉස්සෙල්ලම ආපු නිසා ලක්ෂයක්වත් නොලියා බැහැ. ලක්ෂ දෙකක්වත් ලියන්න තිබුණා නම් හොඳයි. ඒත් පොතේ ඉතිරිවෙලා තියෙන්නෙත් ලක්ෂ දෙකයි. ඒකත් බොහොම අමාරුවෙන් බේරගෙන ඉන්නේ. ලෙඩක් දුකක් හැදුණොත් බෙහෙත් ගන්න, නැත්නම් තමන්ගේ අවසන් කටයුත්තකට හරි ගන්න හරි කියලා තමයි ඕක ඉතිරිකරගත්තේ.

“නිපුනි දන්නවානම් ඕකටත් විදලා ”

සුජාතාගේ හිතේ දුව ගැන ඇතිවුණේ කලකිරීමක්.

“දැන් ගමේ හැමතැනම අලුත් සල්ලිකාරයෝ. ලක්ෂය හොඳටම මදි. මැරුණු මහත්තයටත් හොඳ නැහැ. ලක්ෂ දෙකක්ම ලියනවා. ලෙඩ වුණොත් ආණ්ඩුවේ ඉස්පිරිතාල තියෙන්නේ. මැරුණොත් ඉන්න එකෙක් වළලන්න, පුච්චන්න බැරිනම් කානුවකට හරි ඇදලා දාන්නේ නැතෑ. යනකොට ගෙනියන්න තියන්නේ ඔච්චරයි.”

එහෙම හිතපු සුජාතා රුපියල් ලක්ෂ දෙකක්ම ලියලා දෝතින්ම ආධාර පත්තරය ලොකු හාමුදුරුවන්ට පිළිගන්වලා වැන්දා.

සුජාතාගේ කරට උඩින් ආධාර පත්තරය කියවපු නිපුනි කතා නොකරම ගෙට ගියා. ලොකු හාමුදුරුවෝ ආපහු වඩිනකොට වඳින්නවත් ආවේ නැහැ.

“කොච්චරවත් නෑ..නෑ…කිව්වට අම්මා ළඟ තියෙන සල්ලි එළියට එන්නේ ආධාර පත්තරයක් දැක්කොත් තමයි.”

රෑට උයන ගමන් නිපුනි කිව්වා.

“ඇයි මම උඹලගෙ ඕනෑ එපාකම්වලට දෙන්නේ නැද්ද?”

එහෙම කියාගෙනම කුස්සියෙන් පිටවුණු සුජාතා කාමරයට ඇවිත් ඇඳේ ඇලවුණා. හවස හයියෙන් හයියෙන් එහාට මෙහාට ඇවිදපු නිසා කොන්දෙ අමාරුව වැඩිවෙලා.

සුජාතාට දරුවෝ දෙන්නයි. වැඩිමලා නිපුනි. පුතා රුචිර. නිපුනි ඉස්කෝලේ යන කාලෙමයි කැලුම් එක්ක සම්බන්ධයක් පටන්ගත්තේ.

“ඕක නිසා තමයි නිපුනිට කැම්පස් යන්නත් බැරිවුණේ.”

සුජාතා තනියම කියවනවා.

තරවටු කළත් අවවාද අනුශාසනා දුන්නත් ඒ සම්බන්ධය බිඳින්න බැරිවුණා. උසස් පෙළ කරලා නවතින්න සිද්ධවුණා.

“මක්කරන්නද කරුමෙ ”

සුජාතා තොල් මැතිරුවා. රජයේ ලිපිකාර විභාගයට පෙනී ඉඳලා තමයි ඔය රස්සාව හම්බවුණේ.

“ඉස්කෝලෙ මහත්තයා මොනතරම් මහන්සි වුණාද ඕකවත් හදලා දෙන්න.”

සුජාතට මහත්තයා මතක්වෙලා සුසුමක් පිටවුණා.

නිපුනි රස්සාවට ගිහින් ටික කලකින්ම කැලුම්ව බැන්දා. කැලුම් වැඩකළේ මොකක්දෝ පුද්ගලික තැනක. එක තැනක වැඩි දවසක් රැඳෙන්න බැරි ගතියක් කැලුම්ට තියෙනවා. දැනට රස්සාවල් දහයක් පහළොවක් කරලා ඇති. එකක්වත් ස්ථිර නැහැ. ගන්න ගාණත් බීමටම වියදම් කරනවා. කුලී ගෙවල් මාරු කරකර ඉන්දැද්දි ඉස්කෝලෙ මහත්තයමයි කිව්වේ මහගෙදර ඇවිත් නතරවෙන්න කියලා. මහත්තයා නැතිවුණේ ගේ ඔප්පුවකින් පවරලා නෙවෙයි.

සුජාතා නින්දට ගියේ පහුවදාට ඇඳන් යන්න සාරියයි හැට්ටෙයි සූදානම් කරලා. අලුත් සාරියක් නම් ගත්ත කාලයක් මතක නැහැ.

විශ්‍රාම අරගෙනත් දැන් කොච්චර කාලයක් ද?

ඒ කාලෙ ඇඳපු සාරිත් විශ්‍රාම ගත්තයින් පස්සේ දුන්නේ නිපුනිටම තමයි. උගන්වන කාලෙ නම් සුජාතා පිළිවෙළට ඇන්දා. සුජාතා කොහොමත් පාන්දරින් නැඟිටිනවා. මොනතරම් අතේ පයේ අමාරු තිබුණත් නිපුනිට උයන්න පොල් ටිකක් හරි ගාලා දෙනවා. එදා නම් නැඟිටගන්නවත් බැරි තරමටම කොන්දේ කැක්කුම වැඩි වෙලා. නැඟිට්ටේ හිතේ හයියට. ඒ තරම්ම ඇඟේ කෙඩෙත්තුවකුත් තිබුණා. තෙල් ටිකක් ගාන්නවත් නිපුනිටත් වෙලාවක් නැහැ. තෙල් තලි ගාගෙන බස්වල යන්නත් බැහැ. වෙනදා වගේ කුස්සිය දිහාවට යන්නේ නැතිව හෙමි හෙමින් මූණ හෝදගෙන සාරිය පටලවාගත්තා.

“අපි යනවා. අම්මා පරිස්සමෙන් යන්න. රත්තරං බඩු එහෙම දාගෙන යන්න එපා. ”

කියාගෙන නිපුනි දරුවෝ දෙන්නත් එක්කම පිටවෙලා ගියා. මූණට පවුඩර් ටිකක් දාගෙන කණ්ණාඩියෙන් බැලුවහම කර පාළුයි.

“චේන් එකක් වත් නැතිව ගෙයින් එලියට යන්න පුළුවන්ද?”

සුජාතා රත්තරං චේන් පොට දාගත්තා. ඒ පෙට්ටියෙම තිබුණු වළල්ලත් අතක දාගත්තා. බැංකු පොතයි, හැඳුනුම්පතයි අනිත් කළමනා ටිකයි දාපු බෑග් එක උරේ එල්ලගත්තා. කුඩේ ගන්න හැදුවත් ඕනෑ නෑ කියලා හිතුණා.හතහමාරෙ බස් එක ටවුමට එනකොට

අටහමාරයි. බස් ස්ටෑන්ඩර්ඩ් එකේ ඉඳලා බැංකුවට තියෙන දුර ත්‍රීවීලරයක යනවද කියලා කල්පනා කළත්,

“එනකොට එනවා” කියලා හිතුවා.

උදේ අව්ව වුණත් හරි සැරයි. කකුලත් බැරි අමාරුවෙන් අද්දගෙන බැංකුවට යන්නම පැය බාගයක් විතර ගතවුණා.

එකපාරම පෝලිමට එකතු නොවී පුටුවක වාඩි වුණේ හිටගෙන ඉන්න බැරිකමටමයි. එදා සඳුදා දවසක් නිසා පෝලිමත් දිගයි. පැන්ෂන් දවස් නිසා තවත් කලබලයි.

ටිකක් වාඩිවෙලා ඉඳලා නැඟිටින්න හැදුවත් කොන්දේ අමාරුව පිට දිගේ ඉහළට ඇදෙනවා. සුජාතා හෙමිහිට පෝලිමට එකතු වුණා. සල්ලි අරගෙන ඇවිත් ආයෙමත් පුටුවක ඉඳගත්තා. බෑග් එක ඇරලා සල්ලි ටික පරිස්සමට ඇතුල් සාක්කුවට දාලා වැහුවා. වායුසමීකරණ යන්ත්‍ර තිබුණත් සුජාතාව දාඩියෙන් තෙත් වෙලා. ගිනිගහන අව්වක් පායලා තියෙනවා වීදුරුවෙන් පේනවා. ඒත් මෙතෙන්ට වෙලා වාඩිවෙලා හිටියොත් දහයාමාරේ බස් එක මඟහැරෙයි කියලා බයයි.

හෙමින් පුටු ඇන්ද අල්ලගෙන නැගිටපු සුජාතා බෑග් එක හොඳින් කිහිල්ලට තද කරගත්තා.සාරි පොට අරගෙන බෑග් එක නොපෙනෙන විදියට කර වටේ ඔතාගත්තා.බැංකුවේ පඩි පෙළ බැහැලා පාරේ ගමන්කරන සෙනග අතරට එකතු වුණා.

ත්‍රී වීලරයක්වත් පේන මානයක තිබුණේ නැහැ.

” අඳුනන්නේ නැති ඒවට නගින්නත් බයයි.”

අනිත් අතට හිතුනා.

” ටික දුරනේ

හෙමින් හෙමින් යනවා ”

මීටර් දෙතුන් සීයක් යනකොට වෙනදා නැති හතියකින් පපුව හිරවෙනවා වගේ සුජාතාට දැනුණා.ඇස් දෙක නිලංකාර වුණා.පාරේ යන එන නොපැහැදිලි රූප අතරේ තමන් ඉන්නේ කොතනද කියන එක සුජාතාට අමතක වුණා.වාරු නැති දෙපා ඉදිරියට ඇදගෙන යන්න හැදුවත් තව දුරටත් ඒවා ප්‍රතිචාර දැක්වූයේ නැහැ.කිහිල්ලට තද වී තිබූ බෑග් එක ගිලිහෙනවාවත් සුජාතාට දැනුනේ නැහැ.කපා හෙලූ ගසක් වගේ සුජාතා පදික වේදිකාව අයිනේ ඇද වැටුණා.හිරු අහසේ බැබලෙමින් තිබුණා.

” අල්ලන්න….අල්ලන්න”

” ඇම්බියුලන්ස් එකකට කතා කරන්න ”

කොහෝදෝ ඈත ලෝකයකින් සුජාතාට ඇහුණා.

 

නිමි

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?