Monday, October 13, 2025
Epaper
Home Highlightsඔබ පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත ද?

ඔබ පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත ද?

by Thanushika

ඔබ ඔබේ මුහුණ ගැන කොතරම් උනන්දුවක් දක්වන්නේ ද? එහි කිසියම් පැල්ලමක් මතුවුණත් ඔබ ඒ සම්බන්ධයෙන් වඩාත් කලබල වනුයේ එයින් ඔබේ රූපයට ඇති විය හැකි අවලස්සන ගැන වද වෙමින්. ඔබේ මුහුණ පියකරුව තබා ගන්නට උනන්දුවක් දක්වන්නා සේම කාන්තා සිරුරක හැඩයට මනා සහායක් ලබා දෙන පියයුරු සම්බන්ධයෙන් ඔබ අවධානයක් නොදක්වන්නේ මන්දැයි මඳක් විමසා බැලිය යුතුය. මෙතෙක් ඔබ පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත බව සොයා බලන්නට මඟහැරී ගියේ නම් අදම ඊට මුල් තැන දෙන්න.

සාමාන්‍යයෙන් අන්තර් ජාතික වශයෙන් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු දින ආරම්භ වනුයේ පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් වීමේ මාසය ලෙසයි. නමුත් පියයුරු පිළිකාව යනු වසර පුරාම අපේ අවධානය යොමු විය යුතු කරුණක් බවට පත්ව ඇත්තේ මේ වන විට ලංකාවේ ප්‍රධානතම වශයෙන් හඳුනාගන්නා පිළිකා අතර කාන්තාවන්

සම්බන්ධයෙන් පළමු තැන ගන්නා පිළිකාව පියයුරු පිළිකාව වන බැවිනි.

පියයුරු පිළිකාව හට ගන්නේ කොහොමද?

සියලුම පිළිකා වර්ග මෙන්ම පියයුරු පිළිකාව යනු අසාමාන්‍ය සෛලවල පාලනයකින් තොරව වර්ධනය වීමයි. පියයුරු පිළිකාව සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ කිරි නිපදවන ග්‍රන්ථිවල හෝ එය තන පුඩුවට ගෙන යන නාලවල කුඩා සීමිත ප්‍රදේශයකින්. මෙය පියයුරේ විශාල වී රුධිර ප්‍රවාහය හරහා අනෙකුත් අවයවවලට හෝ වසා නාලිකා හරහා අසල ඇති වසා ගැටිති වෙත පැතිර යා හැකිය. පිළිකාව වර්ධනය වී පපුවේ බිත්තිය හෝ පියයුරු අවට සම වැනි පටකවලට පහර දිය හැකියි. පියයුරු පිළිකා විවිධ වර්ග තිබේ. එමෙන්ම එය විවිධ අනුපාතවලින් වර්ධනය වී ව්‍යාප්ත වේ.

සමහර පිළිකා පියයුරු පටකවලින් පිටත පැතිරීමට වසර ගණනාවක් ගත වන අතර අනෙක් සමහර ඉතා වේගයෙන් වර්ධනය වී පැතිරෙයි.

අද වෙද්දී දිනෙකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනකු හඳුනාගන්නා අතර ඉන් තිදෙනක් මියයන යන බව වාර්තා වේ.

මෙය ලෝක මට්ටමින් සිදුවෙන දෙයක් ද නැත්නම් ලංකාවේ පමණක් සිදුවෙන දෙයක් ද?

මේ අගය වාර්තා වෙන්නේ ලංකාවේ. ලංකාවේ වසරකට කාන්තාවන් 5000 – 6000ත් අතර ප්‍රමාණයක් පියයුරු පරීක්ෂාව සිදු කරනවා. ඒ අතරින් දි‍ෙනකට පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් 15 දෙනකු හඳුනාගන්නවා වගේම පියයුරු පිළිකාව නිසා කාන්තාවන් තුන්දෙනකු මියයනවා. මේ තත්ත්වය වළක්වා ගන්න නම්, තමා පියයුරු

පිළිකාවේ ගොදුරක් බවට පත් වී ඇතිද, නැතිද කියන එක කාන්තාවක් ඉතා ඉක්මනින් හඳුනාගන්න අවශ්‍යයි.

පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද?

පියයුරුවල අලුතින් ඇති වූ අසමමිතික බවක්, පියයුරෙහි වළ ගැසීමක්, ගැටිත්තක්, පියයුරෙහි සමෙහි වෙනස් වීමක් (දොඩම් ලෙල්ලක මතුපිට දදයක් හෝ ඝනවීමක්), තනපුඩුවේ ගිලීයාමක් හෝ වෙනසක්, තනපුඩුවේ කිරි නොවන වෙනත් දියර පිටවීමක්, පියයුරුවල අසාමාන්‍ය වේදනාවක්.

පියයුරු පිළිකාවක් ඉක්මනින් හඳුනාගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් පියයුරු පිළිකාමය තත්ත්වයක් හඳුනාගන්න අපිට ක්‍රම තුනක් භාවිත කරන්න පුළුවන්.

1) ස්වයං පියයුරු පරීක්ෂාව

2) මැමෝග්‍රෑම් පරීක්ෂාව

3) වෛද්‍යවරයකු ලවා පියයුරු පරීක්ෂා කරගැනීම

ලංකාවේ කාන්තාවන්ට වඩාත් පහසුවෙන් වගේම ඉක්මනින් පියයුරු පිළිකාවක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ස්වයං පියයුරු පරීක්ෂාවක් හරහායි. සෑම කාන්තාවක්ම මාසයකට සැරයක් තමන්ගේ පියයුරු ස්වයං පරීක්ෂාවකට ලක්කර ගත යුතුයි. එතැනදී ඔබ තවමත් ඔසප්වීමට මුහුණ දෙන කාන්තාවක් නම් ඔබ මේ පරීක්ෂාව සිදු කරන්න ඕ‍ෙන ඔසප් වීම සිද්ධවෙලා දින හතකට පස්සේ. ඊට හේතුව ඔසප් සීමාව තුළ කාන්තාවකගේ පියයුරුවල ගැටිති ස්වභාවයක් පවතින නිසයි. ඒ නිසා ඔසප් කාලසීමාව මඟහැර කණ්ණාඩියක් ඉදිරියට ගිහින් තමන්ගේ පියයුරේ හැඩය හොඳට බලන්න. ඊට පස්සේ මුළු පියයුරම අතින් පිරිමැද හොඳින් පරීක්ෂාවට ලක් කරන්න.

රෝග ලක්ෂණයක් හඳුනාගත් විට ඔබ කළ යුත්තේ කුමක්ද?

ඒ වගේ ලක්ෂණ ඔබේ එක් පියයුරක හෝ පවතිනවා නම් එතැනදී ඔබ වහාම කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ සුවනාරි සායනය හෝ රජයේ, පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වීමයි. උගත් නූගත් භේදයක් නැතුව ලංකාවේ බහුතරයක් කාන්තාවන් පියයුරක වෙනස්කමක් කල්තියා හඳුනාගත්තත් පහුවෙලා තමයි වෛද්‍යවරයා මුණගැහෙන්නෙ. ඒත් ප්‍රමාද වුණාට පස්සේ ශල්‍යකර්මයක් කරලාවත් පියයුරු පිළිකා තත්ත්වයක් සුව කර ගැනීම අපහසුයි

පියයුරු පිළිකාමය තත්ත්ව කාන්තාවකට වැලඳෙන්න බලපාන හේතු මොනවාද?

පියයුරු පිළිකා වැලඳීම වැඩි වශයෙන් මානසිකව බලපාන්නේ වයස අවුරුදු 20 – 40 අතර පසුවෙන කාන්තාවන්ටයි. කාන්තාව මානසිකව ශක්තිමත් කිරීමේ ලොකුම කාර්යභාරය පැවරෙන්නේ පවුලේ අයට. ඒ අය මුලින්ම තේරුම්ගන්න ඕ‍ෙන පියයුරු පිළිකා තත්ත්වය හමුවේ අදාළ රෝගියා මානසිකව කඩාවැටිලා ඉන්න බව.

පවුලේ අය සෑම අවස්ථාවකම ඇයට ශක්තියක් විය යුතුය.

පියයුරු පිළිකා තත්ත්වයක් සම්පූර්ණයෙන්ම සුව කරන්න ගතවෙන්නේ මාස 06 ක් 08ක් වගේ කාලයක්. ඒ කාලසීමාව තුළ අවශ්‍ය ප්‍රතිකාර නිසි වෙලාවට කිරීමෙන් පියයුරු පිළිකා තත්ත්වය නිට්ටාවට සුව කළ හැකි බව පවුලේ උදවිය තේරුම් ගනිමින් ඒ වෙනුවෙන් අවශ්‍ය සහාය රෝගියාට ලබා දිය යුතුයි.

හිරුෂිකා ප්‍රියදර්ශනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?