ඇදුම යනු වයස් භේදයකින් තොරව වැලඳෙන රෝග තත්ත්වයකි. ඇදුම රෝගය ශ්වාසය, හතිය, හැට්ටුව, ඇදීම, ඊලේ, මුහ රෝගය යන නම්වලින් ද හැඳින්වේ.
කුඩා කාලයේ දී ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් ද වැඩිහිටි අවධියේ දී පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වය ද වැඩි වශයෙන් ලක්වෙන රෝගයක් කියලත් මෙය කියනවා. ඇදුම රෝගය කියන්නේ පෙණහලුවල ඇතිවන රෝගී තත්ත්වයක්. අද දවසේ ලංකාවේ සුලබව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් වශයෙනුත් ඇදුම හඳුන්වන්න පුළුවන්.
මේ රෝගයට ප්‍රතිකාර ලෙස බෙහෙත් ඖෂධ ලබා ගැනීම වගේම ඉන්හේලර් භාවිතයත් වැඩි දෙනෙක් කරනවා. හැබැයි ඉන්හේලර් භාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු බොහොමයක් තියෙනවා. ඒ නිසයි ඇදුම රෝගීන්ට මේ ගැන දැනුම්වත් වීම වැදගත් වන්නේ.
ඉන්හේලර් එකක් යනු කුමක්ද?
ඉන්හේලර් එකක් යනු පෙණහලු සඳහා ඖෂධ ලබාදීමේ ක්‍රමයක් වන අතර, එය අවශ්‍ය ස්ථානයේ දී වේගයෙන් සහ ඵලදායී ලෙස ක්‍රියා කිරීමට නිර්මාණය කර ඇත. එය ඔබේ පෙණහලුවලට කෙළින්ම ඖෂධය ලබා ගත හැකි, අතේ ගෙන යා හැකි කුඩා වෛද්‍ය උපකරණයකි.
සාමාන්‍ය බෙහෙත් පෙත්තක් ඔබ ගිල්ල විට, එය ඔබේ බඩවැල්වලට ගොස්, රුධිරයට උරා ගන්නා අතර, අවසානයේ ඔබේ පෙණහලුවලට ළඟා වේ. මෙයට කාලය ගත වේ. ඉන්හේලර් එකක් මඟින් එම ඖෂධය කෙළින්ම එයට අවශ්‍ය ස්ථානයට එනම් ඔබේ පෙණහලුවලට සහ ශ්වසන නාළවලට ලබා දෙයි. එය වේගවත් වන අතර බොහෝ විට ඔබට කුඩා ඖෂධ ප්‍රමාණයක් අවශ්‍ය වේ.
භාවිත කරන්නේ ඇයි?
ඉන්හේලර් මූලික වශයෙන් භාවිත කරනු ලබන්නේ ශ්වසන ගැටලු සඳහා ප්‍රතිකාර කිරීමට සහ පාලනය කිරීමටය. එනම්:
1. ඇදුම (Asthma): පටු වූ ශ්වසන මාර්ග පුළුල් කිරීමට සහ ඇදුම ඇතිවීම වළක්වා ගැනීමට.
2. COPD – Chronic Obstructive Pulmonary Disease: දිගුකාලීන ශ්වසන රෝග අපහසුතා සඳහා.
3. අසාත්මිකතා (Allergies):ශ්වසනයට බලපාන ආසාත්මික ප්‍රතික්‍රියාවලට උපකාර වන ඉන්හේලර් කිහිපයක් තිබේ.
ඉන්හේලර්වල ප්‍රධාන වර්ග දෙකක් තිබේ, ඒවා බොහෝ විට “තාවකාලික සහනය ලබා දෙන” ( Reliever) සහ “දිගුකාලීන පාලනය ලබා දෙන/ පාලක (Controller) ලෙස හඳුන්වයි.
රෝගීන්ට පාලක ඉන්හේලර් සහ සහනය ලබා දෙන ඉන්හේලර් අතර වෙනස හඳුනා ගැනීම සඳහා ඉන්හේලර් සඳහා බොහෝ විට සම්මත වර්ණ ලබා දී ඇත.
පාලක ඉන්හේලර්
(Controller / Preventer inhalers)
සාමාන්‍යයෙන් වෙෙළඳ නාමය සහ වර්ගය අනුව දුඹුරු, තැඹිලි, කොළ, රතු හෝ දම් පාට වේ. ඒවායේ බොහෝ විට ආශ්වාස කරන ලද කෝටිකොස්ටෙරොයිඩ් (Inhaled Corticosteroid ) හෝ සංයෝජනයක් (Inhaled Corticosteroid + දිගු ක්‍රියාකාරී බ්‍රොන්කොඩයිලේටර්) අඩංගු වේ. උදාහරණ ලෙස දුඹුරු/තැඹිලි: බෙක්ලොමෙතසෝන්, බියුඩෙසොනයිඩ්.
මේවා ඔබ සෑම දිෙනකම ගත යුතුයි, ඔබට රෝග ලක්ෂණ නැතැයි කියා සිතෙන වෙලාවලත් ගත යුතුයි. හුස්ම හිරවීම, කැස්ස, පපුවේ තද ගතිය වැනි හදිසි රෝග ලක්ෂණ සඳහා අවශ්‍ය විටෙක පමණක් භාවිත කරන්න.
සාමාන්‍යයෙන් වරකට 2 – 4 පිම්බීම් ප්‍රමාණයක් හෝ කරලක්. රෝග ලක්ෂණ පවතින්නේ නම් පැය කිහිපයකට පසු නැවත නැවතත් කළ හැකිය.
මේවා ශ්වසන නාළ (airways)වල සංවේදනශීලතාව අඩු කරනවා. හතිය හෝ COPD වල ලක්ෂණ වැළැක්වීමට ලබා දෙයි. ඉක්මනින් රෝග ලක්ෂණ අඩු නොකරයි. ඒත් දිගුකාලීනව රෝග ලක්ෂණවලින් ආරක්ෂා කරයි. උදාහරණ: ස්ටෙරොයිඩ් (steroid) හෝ ස්ටෙරොයිඩ් සමඟ දිගුකාලීන ඖෂධ (combination) ඇති ඉන්හේලර්. ඇත්තටම කළ යුත්තේ ඔබේ වෛද්‍යවරයා කියන අයුරින් සෑම දවසකම, එකම වේලාවට ලබා ගන්න. දිනකට දෙවරක් ගැනීම ප්‍රමාණවත්. රෝග ලක්ෂණ නැති විට නවත්වන්න එපා.
ඉක්මන් සහනය දෙන ඉන්හේලර් (Reliever / Rescue inhalers)
මේවා ඉක්මනින් ක්‍රියා කරයි. ශ්වසන නාළවල මාංසපේශි විවෘත කරයි. මෙය ඉක්මනින් හතිය අඩු කිරීමට, හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙලාවට ගනී. මෙමඟින් ගැටලුව නවත්වන්නේ නැත. තාවකාලිකව රෝග ලක්ෂණවලින් ආරක්ෂා කරයි. උදාහරණ: සැල්බියුටමෝල් (Salbutamol / Ventolin).
ඉක්මන් සහනය දෙන ඉන්හේලර් සහ පාලක ඉන්හේලර් ආකාර දෙකකින් භාවිත කළ හැකිය.
1. ඉන්හේලර් යන්ත්‍රය/උපාංග මඟින් ගෑස් එකක් ලෙස – Metered dose Inhalers (1 රූපය)
2. ඉන්හේලර් කාඩ්පත් ලෙස – Dry powder inhalers (2 රූපය)
3. ස්පේසර් උපාංගය (3 රූපය)
ඉන්හේලරයට සම්බන්ධ වන ප්ලාස්ටික් නළයක් හෝ කුටියකි. ස්පේසරය මඟින් එන කුඩ මුඛ කුහරය හරහා සෙමින් හා ගැඹුරින් ආශ්වාස කරන්න. එය එකවර එබීම සහ ආශ්වාස කිරීම සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාව ඉවත් කරයි. වැඩි ඖෂධ ප්‍රමාණයක් පෙණහලුවලට ළඟා වන බව සහතික කරන අතර අතුරු ආබාධ අඩු කරයි. ස්පේසරයක් භාවිත කිරීමට පහසුය. (විශේෂයෙන් ළමුන්, වැඩිහිටියන් හෝ හුස්ම ගැනීමට අපහසු රෝගීන් සඳහා). පෙණහලුවලට වැඩි ඖෂධ ප්‍රමාණයක් ලබා දෙයි. මුඛයේ/උගුරේ ඖෂධ තැන්පත් වීම අඩු කරයි.
වියළි කුඩු ඉන්හේලර් (DPI)
ඉසිනයක් ලෙස නොව වියළි කුඩු ලෙස ඇදුම/COPD සඳහා ඖෂධ ලබා දෙන උපකරණයකි. ඔබ එකවර තද කර හුස්ම ගන්නේ නැත. ඒ වෙනුවට, ඔබ ඖෂධය ඔබේ පෙණහලුවලට ඇදගැනීමට තදින් හා ගැඹුරින් හුස්ම ගනී. භාවිත කිරීමට පහසුය. (එබීම සහ හුස්ම ගැනීම සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය නොවේ). ඖෂධය ක්‍රියාත්මක වීමට ගැඹුරින් ආශ්වාස කළ යුතුය. උපාංගය වියළිව තබා ගන්න.
රෝගියකුට ඉන්හේලර් සමඟ සුවයක් නොලැබෙන්නේ නම්,
ප්‍රධානතම හේතුව ඉන්හේලර් අල්ලන ක්‍රමයේ වරදයි. රෝගියා ඉන්හේලරය නිවැරදිව භාවිත කරන්නේදැයි පරීක්ෂා කරන්න. (හුස්ම සම්බන්ධීකරණය, තොල් මුද්‍රා තැබීම, ස්පේසර් භාවිතය)
රෝගියා නිතිපතා නියම කර ඇති පරිදි ඉන්හේලර් භාවිත කරන්නේ ද නැතහොත් අසනීප වූ විට පමණක් ද යන්න සොයා බලන්න. සමහරවිට රෝගීන් දින කිහිපයකට පසු පාලක ආශ්වාස ඉන්හේලර් නතර කරන්නේ ඔවුන්ට “සුවයක් දැනුණු” නිසා හෝ “ස්ටෙරොයිඩ්වලට බිය වූ” නිසාය.
නිවැරදි ලෙස මාත්‍රාව නොගැනීම ද හේතුවකි. සමහරවිට වත්මන් ඉන්හේලර් ඉතා අඩු මාත්‍රාවක් විය හැකිය. නැතහොත් රෝගියාට ඒකාබද්ධ ඉන්හේලර් (ස්ටෙරොයිඩ් + දිගු ක්‍රියාකාරී බ්‍රොන්කොඩයිලේටර්) අවශ්‍ය විය හැකිය.
ඉන්හේලර් පිළිබඳ වැරදි විශ්වාසයන්
ඉන්හේලර් ඇබ්බැහි කරවනසුලුයි කියන මතය අසත්‍යයකි. ඉන්හේලර් ඇබ්බැහි කරවනසුලු නොවේ. ඒවා පෙණහලුවලට කෙළින්ම ඖෂධ සපයයි. “මට සහනයක් දැනෙනවා නම්, මට ඉන්හේලර් භාවිත කිරීමට අවශ්‍ය නැත.” යනුවෙන් සිතීම ද වැරදිය. රෝග ලක්ෂණ නොමැති විට පවා, රෝගය වැළැක්වීම සඳහා වැළැක්වීමේ (පාලක) ඉන්හේලර් නිතිපතා ගත යුතුය.
“ ඉන්හේලර් පෙණහලු හෝ හදවතට හානි කරයි. යන්න ද වැරදි මතයකි. නිවැරදිව භාවිත කළ විට, ඉන්හේලර් පෙණහලු ආරක්ෂා කරන අතර සංකූලතා අඩු කරයි. අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉතා අඩුය.
විදුමිණි දිසාකරුණා