අපේ ගෘහිණියන් මැහුමට ගෙතුමට වගේම අත්කමටත් හරි දක්ෂයි. ගෘහිණියගේ අත්කමින් හැඩවන නිවෙසක් සිරියාවන්ත නිවෙසක් කියන්නෙත් ඒ නිසයි. අද අපි කියන්න යන්නේ ගෙදරම ලස්සන කරන වෝල් ආර්ට් එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි. විසිත්ත කාමරයට කදිමෙට ගැළපෙන මේ වෝල් ආර්ට් එක ඔබත් නිර්මාණය කර බලන්න.
මේ නිර්මාණය කරද්දී මුලින්ම MDF බෝඩ් එකකින් රවුම හදාගන්න අවශ්‍යයි. මේ MDF බෝඩ් විවිධ ඝනකමින් තියෙන නිසා නිර්මාණයට ගැළපෙන පරිදි බෝඩ් එක තෝරා ගන්න.
ඉන්පසු බේස් එකට අවශ්‍ය රවුම අඩි එකහමාරක පමණ ප්‍රමාණයට කපා ගන්න. රූපයේ පරිදි මෙයට රිංග් එකක් සම්බන්ධ කළ යුතුයි. ඒ සඳහා මුලින් කපාගත් රවුමේ ප්‍රමාණයට ගැළපෙන ලෙස රිංග් එක කපාගෙන සෙන්ටිමීටර් එකහාමාරක ගැඹුරක් සිටින සේ අලවාගන්න. ලී අලවන ගම් වර්ගයකින් මේ ෆ්‍රේම් එක අලවා ගැනීම කළ යුතුයි.
එහිදී යට බේස් එක, එක ඝනකමකටත්, රිංග් එක තවත් ඝනකමකටත් තියාගන්න. ලයිට් ස්ට්‍රිප් එක අලවා ගන්න පහසු විදිහට ගැට්ටක් හිටින්නයි මේ රිංග් එක ඇලවීම කළ යුතු වන්නේ. ගැට්ටේ පොඩි කැපුමක් දමා තියාගන්න කානුවක් වගේ. වයර් එක අපිට එළියට ගන්න ඕනේ නිසයි මේ විදිහට කැපුමක් දාගෙන තියාගන්නේ.
ඊට පස්සේ ෆයර්වුඩ් ලීයක ලේසර් වර්ක් එකකින් ඔබට කැමැති ඩිසයින් එකකින් කපා ගන්න එහි ඇතුළු පැත්තට තරමක් පළල වැඩි කරලයි කපා ගන්න ඕනේ. ඒ විදිහට සෙන්ටිමීටර් කාලක් වගේ වැඩියෙන් තබා මේ ඩිසයින් එක සහිත රිංග් එක හදාගන්න.
ඉන්පසු ඇතුළු පැත්තේ රවුමට අවශ්‍ය දිග බලා LED light stripes ස්ටිකරය ගලවා වටේටම අලවාගෙන යන්න ඒ රිංග් එකේ. තියාගත්ත කට් එකෙන් ඒ වයර් එක එලියට ගන්න මේ ස්ට්‍රිකරය ගැලවෙන්න පුළුවන් නිසා සිලිකන් ගන් එකෙන් ලයිට් ලයින් එක අලවාගෙන තමයි වටේට රවුමට ගෙනි යන්නේ.
දැන් හඳ නිර්මාණය කර ගනිමු. මේ සඳහා සුදු සිමෙන්ති එහෙම නැත්නම් ප්ලාස්ටර් පැරිස් එහෙමත් නැත්නම් වෝල් පොටි යන වර්ග තුනෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඔබ යොදාගන්න අමුද්‍රව්‍ය අනුව වතුර මිශ්‍රකරලා ඝනකමට මේ මිශ්‍රණය සකසා ගන්න. එහිදී වතුර එකතු කරන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.
ඒ හදාගත්ත මිශ්‍රණය බෝඩ් එකට දමා රූපයේ පරිදි හඳ සකසා ගන්න. හඳේ ආවාට, වළවල් ස්වභාවිකව පෙනෙන ආකාරයට නිර්මාණය කරගන්න. ඒ සඳහා පින්සල්, මූර්ති සෑදීමට ගන්නා පුංචි මේසන් හැඳි සහ ස්පොන්ච් වගේ උපකරණ භාවිත කරමින් හඳේ රළු බව සහ ත්‍රිමාණ හැඩය මතු කරමින් ලස්සනට හඳ නිර්මාණය කර ගන්න.
මේ විදිහේ නිර්මාණ කරද්දී ගොඩක් අය කරන්නේ හඳ නිර්මාණය කිරීම පමණයි. ඒ අය ෆයර්වුඩ් එක ෆ්‍රේම් එකක් විදිහට කපලා හඳ නිර්මාණය කරනවා. හඳ හදලා ෆයර්වුඩ් එක මතින් තියලා සම්බන්ධ කරනවා. නමුත් මේ නිර්මාණයට ෆයර්වුඩ් ලේසර් ඩිසයින් එකකුත් එකතු කරගෙන තියෙනවා. පෙම්වතුන් යුවලක්, පිණි මුවෙක්, ඩයිනෝසර් කෙනෙක් වගේ දේවල් එකතු කරගන්න පුළුවන්.
හැබැයි එහෙම නිර්මාණයකදී ඊට පිටුපසින් තියෙන හඳේ ආවාට ගොඩක් තිබුණොත් රූපයේ ඉස්මතු වීම අඩු වෙනවා. ඒ නිසා අපි කරන නිර්මාණය අනුවයි හඳේ යට පැත්ත අනූව ඇඳ නිර්මාණය කරගන්න ඕනේ. ඒ නිසා චිත්‍රයට හානියක් නොවෙන්නයි එය නිර්මාණය කරන්න ඕනේ. අපි මෙතැනදී නිර්මාණයයි ඉස්මතු කරතියෙන්නේ.
හඳ නිර්මාණය කර ගැනීමෙන් පසු වේළෙන්න තියන්න. ඉන්පසු ඇක්‍රලික් පේන්ට්වලින් හඳ වර්ණ ගන්වන්න. කළු, සුදු සහ අළු පාට වගේ වර්ණ යොදාගෙන හඳ ලස්සනට වර්ණ ගන්වන්න පුළුවන්. නැත්නම් හඳ සම්පූර්ණයෙන්ම කළු පාටින් ඇඳගෙන සුදු පාටින් ශේඩ් කරගන්න. මේ විදිහට වර්ණ ගැන්වූ හඳ වේළෙන්න තියෙන්න. වර්ණ ගන්වද්දී ලයිට් වයර් එකේ තීන්ත ගෑවුනොත් පිසදා ගන්න. සමහර අය හදලා ඉවර වෙලා පටිය අලවාගන්න අයත් ඉන්නවා. මේ දෙවිදිහටම අපිට මේක කරන්න පුළුවන්.
තීන්ත වේළුණාට පසු ෆ්‍රේම් එකේ ගැට්ට ට බයින්ඩර් ගම් දමා ලේසර් වර්ක් එක තියාගන්න. ෆයර්වුඩ් ලේසර් වර්ක් එක තදින් ඇලීම අවශ්‍ය නිසා මුනින් අතට හරවලා හොඳ බරක් තියන්න. ඉන්පසු ෆ්‍රේම් එක වටේම කළු පාටින් පාට කර ගන්න. දැන් පවර් පැක් එකකින් LED බල්බ් එක සම්බන්ධ කරගන්න. මෙය බිත්තියේ එල්ලීමට පිටුපසින් හුක් එකක් සම්බන්ධ කරගන්න.
චිත්‍රයට ගැළපෙන විදිහට ලයිට් එකේ පාට වෙනස් කරගන්නත් පුළුවන්.
උපදෙස් –
රෙසින් නිර්මාණ ශිල්පිනී
සුදර්ශි ලංකා Artikura Craft Studio
විදුමිණි දිසාකරුණා