මේ දවස්වල හැමතැනම දකින පයිප් ක්ලීනර් (Pipe Cleaner) මල් ඉත්තක් නිර්මාණය කර ගැනීමට ඔයත් ආසාවෙන් ඇති. ඔන්න තරුණී නුගසෙවණ ආදරණීය සුසංයෝගයෙන් අපි එය නිර්මාණය කර ගන්නා පහසුම ක්‍රමය කියා දෙන්නෙමු.
මේ නිර්මාණය මඟින් දියණියගේ පොත් මේසය හැඩ කරන්න, ආලින්දයේ රටා මවන්න හරි අපූරුයි. ඔබේ නිර්මාණශීලිත්වය අනුව පයිප් ක්ලීනර් මල් විතරක්ම නොවෙයි වෙනත් නිර්මාණත් කළ හැකියි.
ඉතින් අත්කම් නිර්මාණ ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රිය කලාවක් තමයි පයිප් ක්ලීනර්. ඔබට ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට වඩා
උචිත හොඳ ඉල්ලුමක් සහිත කලාවක්. අපි අද පයිප් ක්ලීනර් (pipe cleaner) යොදාගෙන ඩේසි මල් බඳුනක් සකස් කරන ආකාරය බලමු.
අවශ්‍ය අමුද්‍රව්‍ය
සුදු, කහ සහ කොළ වර්ණවලින් පයිප් ක්ලීනර්
ග්ලූගන් කූරු
ග්ලූගන් මැෂින් එකක්
කුඩා මල් බඳුනක්
සෙන්ටිමීටර් 02ක් පමණ පළල ඇති පෑනක්/හයිලයිටරයක් (මල් පෙති සකසා ගැනීම සඳහා)
නිර්මාණය කිරීම
1. මුලින්ම ඩේසි මල සකසා ගනිමු.
ඒ සඳහා සුදු පැහැති පයිප් ක්ලීනර් (pipe cleaner) එකක් ගෙන එය සෙන්ටිමීටර් 02ක් පමණ පළල ඇති පෑන හෝ හයිලයිටරය වටා වට 06ක් ඔතා ගන්න.
2. සුදු පැහැති පයිප් ක්ලීනර් (pipe cleaner) එකෙහි කෙළවරයන් දෙක ළං කොට තද වන සේ වට දෙකක් පමණ කරකවා ගන්න.
3. මල් පෙති 06 ඇඟිලි තුඩින් ළං කරගන්න. (පෑන/හයිලයිටරය තුළ තිබියදීම)
4. දැන්, පෑන/හයිලයිටරය ඉවත් කරගන්න.
5. පෙති එකින් එක මලක් සෑදෙන ආකාරයට විහිදුවා ගන්න.
6. විහිදුවාගත් පෙති එකින් එක ඇඟිලි තුඩින් හැඩ කරමින් මලෙහි පෙති සකස් කරමින් මල සාදාගන්න.
7. කහ පැහැති පයිප් ක්ලීනර් (pipe cleaner) භාගයක් ගෙන දඹරැඟිල්ලෙහි ඉහළ වටා රවුමට ඔතා කුඩා බෝලයක් ආකාරයට සකසාගන්න. මෙය මලෙහි මැද රේණු කොටස සඳහා භාවිත කරයි.
8. කොළ පැහැති පයිප් ක්ලීනර් (pipe cleaner) භාගයක් ගෙන මල මැදින් පහළට දාන්න. (මලේ නටුවයි)
9. ඉන්පසු, කහ පාටින් සකසාගත් කුඩා බෝල කොටස මල මැදින් නවා කොළ පැහැති නටුව කොටස ද සවි වන ලෙස ග්ලූගන් යොදා අලවා ගන්න.
10. දැන් මේ සඳහා කොළ සකසා ගනිමු. කොළ පැහැති පයිප් ක්ලීනර් (pipe cleaner) එකක් ගන්න.
11. සමාන වන පරිදි කොටස් දෙකකට නමා ගන්න.
12. මැද සිට අඟල් 02ක් මැන පයිප් ක්ලීනර් (pipe cleaner) එක වට 02ක් කරකවා තද කොට ගන්න. දෙපසින් ඉතිරි පයිප් ක්ලීනර් (pipe cleaner) කොන් දෙක පහට නවා නැවතත් වට කිහිපයක් කරකවා තදකොට ගන්න.
13. දැන් ඇඟිලි තුඩු භාවිත කරමින් කොළයේ හැඩය සකසා ගන්න.
14. අවසාන වශයෙන් මල් බඳුන ගෙන මෙම ඉහත ආකාරයට සකසා ගත් මල් 10ක් සහ කොළ 4ක් බඳුන තුළ රඳවා ගන්න.
ශාන් රඹුක්වැල්ල