දෙස් – විදෙස් මනෝ උපදේශකවරියක් සහ ලේඛිකාවක් වන අනීශා ජයකොඩි තරුණී කියවන ආදරණීය ඔබට කරන සෙනෙහෙබර මඟපෙන්වීම ‘ආදරණීය ජීවිතයකට මඟ’ අලුත් වූ තරුණී සමඟ…
අපේ රටේ බහුතරයක් විවාහ ජීවිත හරියට අමු අඹ වගේ.
ඒ ඇයි දන්නවාද ? අමු අඹ කනකොට බලන් ඉන්න කෙනාගේ කටට කෙළ උනනවා. හැබැයි කන කෙනාගේ කට ඇඹුල් වෙනවා.
අපේ රටේ බොහොමයක් පවුල් ජීවිතවල කතාවත් අන්න එහෙම තමයි. ලෝකෙට පේන්න ලස්සනට එළියට බැහැලා ආදරෙන් හිටියට බොහොමයක් පවුල් ජීවිත ඇතුළෙන් අවුල්. ඕකට ප්‍රධාන හේතුවක් තමයි ,”ලිංගික ජීවිතය ”
කසාද බඳින එකේ එකම අරමුණ ඕක කරන එකද කියලා කතාවට කිවුවට විවාහයක පදනම තියෙන්නේ ලිංගික ජීවිතය මත කියලා බොහෝ දෙනෙක් පිළිගන්න කැමති නැහැ. ලිංගික ජීවිතය කියන්නේ ලිංගික අවයව දෙකක් එකට තෙරපන එක කියලා මිනිස්සු හිතන් හිටියට ඇත්තටම ලිංගික ජීවිතය කියලා කියන්නේ ඊට එහා ගිය ගැඹුරු සම්බන්ධයක් .
ශාරීරික තෘප්තිය වගේම, දෙදෙනා අතර විශ්වාසය වර්ධනය වීම, එකිනෙකා ගැන පුළුල් අවබෝධයක් ඇති වීම, එකඟතාව, දෙදෙනා එකිනෙකා කෙරෙහි ඇබ්බැහි වීම, මානසික තෘප්තිය වැඩිවීම, අන්‍යෝන්‍ය පැහැදිලිභාවය ඇති වීම සහ තවත් බොහෝ දේ යහපත් ලිංගික ජීවිතයක් තුළින් ලැබෙනවා.
ලිංගික තෘප්තිය කියන්නේ සොබාදහම මිනිස්සුන්ට නොමිලේ ලබාදීපු අනූන තෘප්තියක්.
අවාසනාවකට බොහොමයක් මිනිස්සු ජීවිතේ හොඳම හරියේදී මේ තෘප්තිය තමන් විසින්ම නැති කරගන්නවා.
විවාහ වෙලා පළමු අවුරුදු පහෙන් පස්සේ බොහොමයක් විවාහතුළ ලිංගික ජීවිතය වෙනුවෙන් දෙන කාලය සහ අවධානය අවම කරගන්නවා. ඕක අවුරුදු දහයක් විතර යනකොට නැත්තටම නැති වෙලා යන තත්ත්වයටම පත් වෙනවා.
දරුවෝ දෙතුන් දෙනෙක් හම්බවෙලා, ගෙවල් හදන්න, වාහන ගන්න ලෝන් දාලා, දරුවන්ගේ ප්‍රශ්න, රස්සාවේ ප්‍රශ්න එක්ක මිනිස්සුන්ගෙ ජීවිත මහන්සියට පත්්වෙනවා. කාර්යබහුල වෙනකොට ඒ කාර්යබහුලභාවයේ අනිසි ප්‍රතිඵලයක් විදිහට ලිංගික ජීවිතය අවම කරගැනීම තුළින් ඔවුන්ට ජීවිතයේ ඉතිරි වෙලා තිබුණු ප්‍රීතිමත්භාවය සහ සමගියටත් තර්ජනයක් එල්ල වන බව හුඟක් මිනිස්සු දන්නේ නැහැ.
සාපේක්ෂව ගත්තොත් ලිංගික ජීවිතය ඉක්මනින්ම නීරස කරගන්නේ කාන්තාවන්.
දරුවෝ ටිකක් ලොකු වෙනකොට අවුරුදු හතළිස් පහට විතර ළං වෙනකොට. අනේ දැන් අපි වයසයි. ඕවා කළා ඇති. දැන් ළමයි ලොකුයි කියාගෙන ජීවිතේ හොඳම හරියේදී රහම කොටස් ටික අතෑරගෙන වයසට කලින් වයසට යන්න හුඟක් ගැහැනු දක්ෂයි. හැබැයි ඒකෙන් තමන්ගේ සැමියාට ලොකු අසාධාරණයක් සිදුවෙන බව කාන්තාවන් අමතක කරන්න හොඳ නැහැ.
කාන්තාවන්ට මහන්සි නිවිලා තියනකොට සෙක්ස් හෙවුවට, පිරිමින්ට මහන්සි නිවාගන්න තමයි සෙක්ස් ඕෙන වෙන්නේ. ඉතින් කාන්තාවන් මහන්සියි කියලා කැමැත්තෙන් ලිංගිකත්වයෙන් ඈතට යනකොට පිරිමින්ට අකැමැත්තෙන් තමන්ගේ ශාරීරික අවශ්‍යතාව පාලනය කරගෙන ඉන්න සිදු වෙනවා කියන්නේ තවත් ප්‍රශ්න ගොඩක අාරම්භය වෙන්න පුළුවන්.
අනිත් පැත්තෙන් බැලුවොත් සමහර පිරිමිත් ලිංගික කාර්යයේදී කාන්තාවගේ තෘප්තිය සම්පූර්ණයෙන් අමතක කරලා. තමන්ගේ තෘප්තිය ගැන විතරක් හිතලා කටයුතු කරනවා. ඔන්න ඔතැනදීත් කාන්තා පාර්ශ්වය ලිංගිකත්වයෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා.
කොහොම වුණත් අවසානයේ බොහොමයක් විවාහ ජීවිතවල මැදක් හරියේදී ගැහැනු සහ පිරිමි දෙගොල්ලොම ලිංගික ජීවිතය මඟෑරගන්නවා.
කාලයත් සමඟ, හැමදාම එක ගෙදර ඉන්නකොට එකම කෙනා දකිනකොට ඒ මුලින් තිබ්බ ආකර්ෂණය, මුලින් තිබ්බ ආසාව යම්තාක් දුරට අඩු වෙලා. ඒ හැඟීම සාමාන්‍යකරණය වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ සාමාන්‍යකරණය වීම නිසා ඒ දේවල් මඟහැර ගන්නවා නම් එක විවාහ ජීවිතයකට ඔබ හිතනවට වඩා ලොකු තර්ජනයක්.
මොකද, ඒ මඟහැර ගැනීම තවත් කෙනකුට තෙවැන්නෙක් වෙලා ඔබ අතරට එන්න ඔබ විසින්ම නිර්මාණය කර දෙන මාර්ගයක් වෙන්න පුළුවන්.
මොකද මනෝ උපදේශනය කරන කෙනෙක් විදිහට බොහොමයක් අනියම් සම්බන්ධවල අභ්‍යන්තරයට ගිහින් බැලුවම ඒ ඇතිවීමට හේතුව විදිහට නීත්‍යනුකූල සහකාරියගේ හෝ සහකරුගේ ලිංගික ප්‍රතික්ෂේප කිරීම පෙනෙන්න තියෙනවා. ඒ වගේම ආතතිය, තරහ සහ මානසික පීඩනය වැනි මානසික රෝගයන් සහ ඍණාත්මක තත්ත්වයන් වගේම ශාරීරික රෝග ගණනාවකටම හේතුව විදිහටත් ක්‍රියාකාරී ලිංගික ජීවිතයක් නොමැති වීම හේතු සපයනවා.
දැනටමත් ඔබේ ලිංගික ජීවිතය ඔහේ ඈලි මෑලි වෙලා ගිහින් නම්, ඒ සඳහා කිසිම කැමැත්තක් රුචියක් හෝ වුවමනාවක් දැනෙන්නේ නැත්නම් හෝ ඒ ගැන තවදුරටත් කිසිම හැඟීමක් නොදැනෙයි නම් කාර්යබහුල ජීවිතයෙන් මඳකට මිදෙන්න, කෙටි විවේකයක් හෝ අරගෙන තමන්ගේ සහකාරයා හෝ සහකාරිය එක්ක කතාබහ කරන්න. ඔහුගේ හෝ ඇයගේ ශාරීරික සහ මානසික අවශ්‍යතා නිසියාකාරව හඳුනාගන්න. සාර්ථක ලිංගික ජීවිතයක් අලුතෙන් පටන්ගන්න උත්සාහ කරන්න. ඒ තුළින් ඔබ හිතනවට වඩා බොහෝ ප්‍රතිඵල ඔබට ලැබෙන බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.
ඉන් ඔබ්බට ගොස්, ලිංගික බෙලහීනතාව, ලිංගික අප්‍රාණිකත්වය හෝ වැජිනිස්මස් වැනි ලිංගික රෝගාබාධයක් නිසා ඔබේ ලිංගික ජීවිතයට තර්ජනයක් වෙලා තියනවනම් ඔබ තව දුරටත් ඒ ගැන හිත හිත දුක් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. sex theraphy මඟින් ලෙහෙසියෙන්ම මෙවැනි තත්ත්වයන් දැන් මඟහරවා ගන්න ඔබට පුළුවන්.
හැකියාව හෝ අවශ්‍යතාව තියෙනවානම් ඔබ නීරෝගි නම් ලිංගික තෘප්තිය විඳගැනීමට වයසක් කාලයක් අදාළ නැහැ. තමන්ගේ නීත්‍යනුකූල සහායකයා හෝ සහායිකාව සමඟ පවත්වන ශාරීරික සම්බන්ධතාව තුළින් ඔබට ලැබෙන්නේ ශාරීරික ප්‍රතිලාභ විතරක් නෙමෙයි. ඒ තුළින් බොහෝ මානසික ප්‍රතිලාභත් ලැබෙනවා.
ජීවිතය කියන්නේ විඳින්න තියෙන දෙයක් මිසක් නිතරම විඳවන දෙයක් නෙමෙයි. ලිංගික තෘප්තිය කියන්නේ ඒ ජීවිතය රසවත් කරන ප්‍රධාන අංගයක්. ඉතින් විවාහය කියන බන්ධනය තුළට රසවත් ලිංගික ජීවිතයක් ලැබිය යුතුයි. ඒකෙන් ඔබ දෙදෙනා අතර ඇතිවෙන ප්‍රීතිය සහ අන්‍යෝන්‍ය සමගිය සහ පැහැදීම නිසා ඔබගේ දුවා දරුවන්ටත් සැනසිලිදායක පවුල් පරිසරයකට අඩිතාලම වැටෙනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් විවාහය කියන බැඳීම තුළදී ලිංගික ජීවිතයට නීරස වෙන්න ඉඩ තියන්න එපා.
අචිනි ලක්මාලි