තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී,ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න. නැතිනම් champasw56gmail.com වෙත එවන්න.
අද හිමිදිරියට කවි තෝරන ඔහු ජයන්ත කහටපිටිය
දීර්ඝ කාලයක් පුරාවට පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙසින් මෙන්ම සාහිත්‍ය හා සිනමා විචාරකයකු වශයෙන් ද කටයුතු කරන හෙතෙම දක්ෂ කවියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය”යි.
දෙවැන්න ‘ශේෂ වන සේ සිනහව මකා දැමිය හැකිද රේඛාව”. ඊට අමතරව යොවුන් සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ද රචනා කර ඇති ජයන්ත මහතාගේ නවතම යොවුන් නවකතාව
“සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්” කෘතියයි.
හොඳම කවිය
හදවත
අණ්ඩ දෙක තුනක්
දමා තිබුණාට
පාවිච්චියට ගත හැකි
හදවතකි…..
තව වරක් මසන්නට
සිදු වුවත්
ප්‍රේමයේ රිදවුම්
ඉවසිය හැකිය
ෂර්මිලා බංදුනී දංවත්ත
ෂර්මිලාගේ මෙම කෙටි කවියේ තිබෙන ප්‍රකාශනයේ ප්‍රබලත්වය නිසා මෙය සතියේ හොඳම නිර්මාණය ලෙස තෝරාගන්නට යෙදුණි. හදවත මිනිස් සිරුරේ වැදගත්ම ඉන්ද්‍රියක්. එය සාහිත්‍ය කතිකාව තුළ ප්‍රේමය සංකේතවත් කරන රෑපකය. මානව ශරීරය හදවත නැතිව ජීවත් කරන්න බෑ වාගෙම මානව සන්තානය ප්‍රේමය නැතිව පවත්වාගෙන යන්නත් අසීරුයි. එහෙත් හදවතක ප්‍රේමය හටගන්නෙම හදවත් බිඳීමත් උරුම කරගෙන. මේ සදාතනික සත්‍ය ඇය සිය නිර්මාණය තුළ අපූරුවට දනවන්න සමත් වෙනවා.
මාකේස්ට වැරදුණා ද ?
‘තුනටියෙන් ඉහළ අාධ්‍යාත්මික ආලය
එතැනින් පහළ ලෞකික ආලය’
(ගර්සියා මාර්කේස්
කොලරා කාලේ ආලේ)
අධ්‍යාත්මික ප්‍රේම සීමාවකද
නිවන් සැප ලැබිය හැකි
ලෞකික මර්මස්ථාන හමුවේ
විටෙක වෙහෙරක්ව පෙනෙන
ඈගේ පීන පයෝධරවලට
දොහොත් මුඳුන් දෙන්නට සිතෙයි
යළිත් ඒ උස් මුඳුන් මත
දෙතොල් තබනට සිතෙයි
ගෙල දෙපස මුදු දෙතොල
වරු ගණන් සිප ගන්නට සිතෙයි
උඩමළුව සේ දිසෙන
නළල් තලය මත
උණුහුම් තිලකයක්
තබනට සිතෙයි
බැතියෙන් නිවෙමි
නිවෙමින් දැවෙමි
ප්‍රත්‍යක්ෂය
මාර්කේස්ට වැරදුණ බව
රුවිනි මේනකා
අහිමි පෙම් පුවත
සකි සඳ බලනු අමරයුරු පෙම් නද
ප්‍රමිලා දස්කොන් මතින් දිග හැරෙනා………
කළ මත ඇති සලකුණ දුටු සඳ
මරණයටත් අත වැනිය එදා……..
නරනිඳු පෙම්බර දේවිය උන්මද
සිතුවිලි පෙළ එකිනෙක මැවෙනා…….
ජාති දෙකේ පෙම් බස් දෙදෙනාගේ
එකිනෙක ගැළපුණේ කෙලෙසදැයි
විමසන දනන් අද ලෝ තුළ සිටිනා…
දස්කොන්ට පමණක් ද හිමි දඬුවම
මෙදා සැමගේ සිත් පෑරෙනා……
රජු හට අංචි අදින්නට සිටි ඒ කල්ලියේ
කහවත ඇඳි අයෙකුත් මතු වී තිබුණා
මදුරාපුර නිල් මැණිකක් මැදැයි ඈ
සුවහසක් දන ඒ දවස විමසනා
චපල රජ තෙමට අහිමි චපල පෙම
සිහල බිරියගේ අඳෝනාවට නතු වුවා…
අනුරාධි
කොළඹ
දෙපස හිඳ දඟ පාන
තරු කැකුළු මඟහැර
බලෙන් මෙන්
හඳ ඇහැරවාගෙන
බිඳෙන් බිඳ ඉසියුම්ව
මොළොක් පෙති පිරිමැද
මල් මුවරද තවරන
දෙනෙත් අඳ හිමි සඳ …
යුහුසුලුව හමා යන
මඳනලෙන් නැඟෙන්නේ
ඉකිබිඳින හදවතක
ශෝක ගී රාවය
නිබඳ සර සර හඬින්
සැලෙන අතු ඉති පවා
හුන් තැනම නොසෙල් වී
මවයි සංවේගය
අබැටක් තරම් දිවියට ලංසු තබමින්
දවා හළු කළෝ උන් මා සිරුර පණ පිටින්
වෙහෙස වී මියඇදුණු රාගයට
රහසින් කෙලෙස පණ දෙමිද යළි ප්‍රේමයේ පහසින්…
කල්‍යාණි රූපසිංහ
මාතලේ
පෙනී නොපෙනී යනවා
සුන්දරම හිනාවක
පාට නොවූ සිත්තමක්
හීන්දෑරි හඳ එළියෙන්
පෙනී නොපෙනී යනවා
රතුම රතු මැයි මලක්
පල්ලමේ වංගුවෙදි
ඔබෙ අත ළඟ දැවටෙන්න
පාවෙලා එනවා
සීතලම සුළං හමන
බෝපත් සිලි සිලියෙ
ඔබෙ කඳුළු බිංදුවක්
මගෙ අතට වැටෙන්න යනවා
සුන්දරම හිනාවක
බොඳ නොවන සිත්තමක්
හීන්දෑරි හඳ එළියෙන්
අදත් පෙනී නොපෙනී යනවා
අංගප්පුලිගෙ කැලුම් විරාජ් චතුරංග
සිනාසුණ රළ පෙළ
නිලඹර සමඟ පාවුණ සුදු වලා පෙළයි
රළ පෙළ සමඟ මිතුරුව හිනැහුණේ ළමයි
දළ රළ කැරලි වෙරළේ කෙළි පපා නටයි
වැලි මත පා ලකුණු සැණෙකින් මැකී තිබෙයි
සෙල්ලම් කරන ලද පොඩි දරු පැටවූ සැම
කිරි සුදු පෙණ බුබුළු නංවා සයුරු තෙම
වෙරළේ කෙළි දෙලෙන් සෙල්ලම් කරන සැම
සිහිනෙක දවටමින් පා පොඩි සිඹිනු කිම
පරතෙර නොපෙනෙනා සයුරේ රැවල් ඔරූ
පෙරළෙන රළ සමඟ සෙල්ලම් කෙරුව
බොරූ
සුදු වැලි තලාවේ ළා හිරු බසින තුරූ
ඉඳහිට සිනාසුණි අඹරේ කනක තරූ
හිස් වූ ඔරු කඳේ ඉඳගෙන විවේකිව
බැලුවෙමි ඈත සයුරේ ඇති උජාරුව
පාවෙන මුදු මල් වෙරළේ රැඳෙනවා
මේකයි සොබා දහමේ ඇති අපූරුව
ඩී. අයි. පි. නිශ්ශංක
කිරිඳිවැල
