ඔක්තෝබර් 25 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී එළිදැක්වෙන්නේ ඒ මහා ශක්තියේ තවත් පියවරකි. ඉදින් මෙදින සිය දිවියේ, යුග දිවියේ මෙන්ම වෘත්තීය කලා දිවියේ සුවිශේෂ කඩඉමක් පසු කරන ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවාට තරුණී අප ද ශූභාශිංසන එක් කරන්නේ තවත් දශක ගණනාවකට සිය රංග ප්‍රතිභාවෙන් රසික සිත් සතන් සුවපත් කරන්නට රසවත් කරන්නට හැකි වේවායි යන සුබ ප්‍රාර්ථනාව ද එක් කරමිනි.
වේදිකාව, රිදී තිරය, පුංචි තිරය මෙන්ම ගුවන් විදුලියේද දශක 5ක කාලයක් සුවහසක් රසිකයන් රංග ප්‍රතිභාවෙන් වශීකෘත කළ ශ්‍රියන්ත මෙන්ඩිස් නම් අසහාය රංගධරයා ඔක්තෝබර් 25 වැනිදා සිය දිවියේ, යුග දිවියේ මෙන්ම රංගන ජීවිතයේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් ශ්‍රියන්ත පනස් වසරක රංග යාත්‍රිකයා නමින් ප්‍රණාම ප්‍රසංගයක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී එදින පැවැත්වීමට නියමිතය.
ශ්‍රියන්තගේ දයාබර බිරිය කුසුම් රේණු ප්‍රමුඛ මාලි ජයවීරගේ, රසාදරී මුණසිංහ පිරීස් සහ නිහාරි වික්‍රමආරච්චි මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන තිබේ. මාලි, කුසුම්, රසාදරී, නිහාරි ඇතුළු මේ කලා මිතුරු කණ්ඩායම එක්ව සංවිධාන කරන පළමු ඇගැයුම් ප්‍රසංගය මෙය නොවේ. ඔවුන් එක්ව කලාකරුවන් වෙනුවෙන් සිදු කළ මෙහෙවරයන්හි ඉතිහාසය දශක 5කට අධික කාලයකට දිව යයි. මේ ‘ශ්‍රියන්ත පනස් වසරක රංග යාත්‍රිකයා’ උලෙළ සහ ඔවුන්ගේ එම සංවිධානය පිළිබඳව ලියැවෙන සටහනකි. තරුණී අපි ඒ සඳහා පසුගිය දිනෙක ඔවුන්ව මුණගැසුණෙමු.
මේ සංවිධානය ගැන මුලින්ම අදහස් පළ කළේ ප්‍රවීණ රංගන ශිල්පිනී කුසුම් රේණුයි. ඇය මෙම හවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවයි.
“තනි පුද්ගලයෙකුගේ අහිංසක බලාපොරොත්තුවක් මල් පල ගැන්වීම අපේ අරමුණ වුණා. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ මෙහිදී ගෞරවයට පාත්‍ර වන්නේ මගේ ස්වාමිපුරුෂයා වීමයි. මීට පෙර අපි හතර දෙනා එකතු වෙලා කලාකරුවන් වෙනුවෙන් ප්‍රණාම උත්සව, ඔවුන් රෝගී වූ අවස්ථාවන්හි බෝධි පූජා පැවැත්වීම්, ආධාර උපකාර සිදු කිරීම් වගේම මරණ අවස්ථාවන්හී ආධාර උපකාර කිරීම් ගණනාවක් මේ වන විට සිදු කර තිබෙනවා. ලෝකයේ සෑම කෙනෙක්ම පාහේ පසුම්බියට මුදල් එකතු වුණාම සතුටු වුණත් අපි හතර දෙනා සතුටු වන්නේ පසුම්බිය හිස් වුණාම කීවොත් නිවැරදියි. ඒ තරමටම මෙවන් කාර්යයක් සිදු කිරීමෙන් අනතුරුව අපේ පසුම්බිය හිස් වෙනවා. ඒත් මේ සත්කාර්යයන් නිසා අපමණ සතුටක් ලබනවා. මං, මාලි, රසාදරී, නිහාරි අපි හතරදෙනාම එකම කාලයකදී දැන හඳුනා ගත් අය. එකම කාලයකදී වේදිකාව මත හමු වූ අපි එදා පටන්ම කලාකරුවන් වෙනුවෙන් මෙවන් වැඩසටහන් සංවිධාන කළා. ඒත් අපේ සංවිධානයට නමක් නෑ. මේ අතර සංවිධානයේ සාමාජිකාවන් අතර පැවැති ආදරණීය බැඳීම් ගැන අදහස් බෙදා ගැනීමට එහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන මාලි ජයවීරගේ ප්‍රවීණ රංගන ශිල්පිනිය අමතක නොකළාය.
අපි හමුවුණේ අසූව දශකයේදීයි. වේදිකාව මතදී නිතර හමුවුණු අපි කණ්ඩායමක් හදමු යැයි අරමුණකින් කටයුතු කළේ නෑ. එහෙත් අපි නිතරම එකට වැඩ කළා. කාගේත් දුකට සතුටට ඕනෑම කාරණයකදී අපි පෙනී සිටියා. ඇත්තටම මම වේදිකාවට පිවිසුණු මුල් කාලයේ සිටම මගේ ආදර්ශය වුණේ කුසුම් අක්කා. වරක් ඇය අපේ අම්මාට කතා කරලා මා ගැන අගය කළා. ඒ කාලයේ අපේ අම්මා සිටියේ අසනීප තත්ත්වයෙන්. එය මට වගේම මගේ අම්මාගේත් හදවතට දැනුණ අවස්ථාවක්. අපි අතර එදා සිට අද දක්වාම තිබුණේ එවන් ආදරණීය බැඳීමක්. ඒ හිතවත්කමත් සමඟ අපි කණ්ඩායමක් ලෙස එදා සිට අද දක්වාම කටයුතු කරනවා. එච්. ඒ. පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල, වසන්ත විට්ටච්චි, ඩග්ලස් සිරිවර්ධන, ඇතුළු කලාකරුවන් රැසක් වෙනුවෙන් අපි ප්‍රණාම උත්සව මේ වන විට පවත්වා තිබෙනවා.” උත්සව සංවිධාන කිරීමේදී හතර දෙනා කටයුතු කරන ආකාරය ගැන මාලි ජයවීරගේ අදහස් පළ කළේ මෙයාකාරයෙනි.” සාමාන්‍යයෙන් කුමන වැඩක් කරන්නට හෝ මට සිතක් පහළ වූ විගස මා ඒ ගැන කියන්නේ රසාදරිටයි. ඇය කවදාවත් කිසිම යෝජනාවකට නෑ බෑ නොකියා ඊට මුල පුරන්නට සහාය දෙනවා. ඒ වගේම අමිත්ත වීරසිංහගේ සහයෝගය ඇතුව අපි හතර දෙනාගේ ශක්තියෙන් කරන වැඩේ ලස්සනට, පිළිවෙළට සිදු කරනවා. එහිදී එකම ආකාරයට තේමාවක් අනුව ඇඳුම් විලාසිතාවක් සැකසීම ආදී කටයුතු සංවිධාන කරන්නේ කුසුම් අක්කා විසින්. ‘ශ්‍රියන්ත පනස් වසරක රංග යාත්‍රිකයා’ වැඩසටහනට මුල පිරූ ආකාරය ගැන කුසුම් රේණු දැක්වූයේ මෙවන් අදහසකි.
මේ වැඩේට මුල පිරුණේ මා සහ ශ්‍රියන්ත අතර වූ අහඹු කතාබහකින් පසුවයි. මේ ඔක්තෝබර් 25 වැනිදා කිසිදු රාජකාරියකින් තොරව නිදහස්ව තබා ගන්නැයි ශ්‍රියන්ත මට පැවසුවා. වසරක් ආරම්භ වන විටම දිනපොතේ ඔක්තෝබර් 25 වැනිදාට රාජකාරි නොයොදා ගන්නා බවට සටහනක් තැබීම මාගේ සිරිතක්. ශ්‍රියන්තගේ උපන්දිනය වගේම අපේ විවාහ සංවත්සරයද එදිනට යෙදී තිබීම ඊට හේතුව වෙනවා. ඉතින් ඒ බවට මම ශ්‍රියන්තට කීවා. නෑ නෑ එදා සුවිශේෂී වන්නට තවත් හේතුවක් තියෙනවා යැයි පැවසූ ශ්‍රියන්ත එදිනට රාස්ස පරාස්ස නාට්‍යයේ විශේෂ දර්ශනයක් මගේ හිත මිතුරන්ට පෙන්විය යුතු යැයි පැවසුවා. මා ඒ ගැන තවදුරටත් විමසද්දී ශ්‍රියන්ත කලා ක්ෂේත්‍රයට පිවිස වසර 50ක් පිරෙන්නේත් එදිනට යැයි මා හා කියා සිටියා.
ඒ මොහොෙත් මගේ හිතට දැනුණේ අනුකම්පාසහගත වේදනාවක්. අපේ රටේ රංගන ශිල්පියෙක් යැයි කිවහැකි ප්‍රවීණයකුගේ 50 වැනි වෘත්තිය සංවත්සරය හිතමිතුරන්ට නාට්‍යයක් පෙන්වීමට ලඝු කිරීම විශාල අඩුවක් යැයි මට හැඟී ගියා. ඇත්තටම ඔහු මගේ සැමියා ලෙස සලකා නොව, කලාකරුවෙක්, ගුරුවරයෙක්, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, වේදිකාව ජයගත් රංගන ශිල්පියෙක් ලෙස ඔහු වෙනුවෙන් මීට වඩා දෙයක් කළ යුතු යැයි මට සිතුණා.
කෙසේ නමුත් ශ්‍රියන්ත වසර 46ක් එක දිගට රාස්ස පරාස්ස නාට්‍යයේ යකාගේ චරිතය රඟ දක්වා තිබෙනවා. ඉතින් එදිනට ඒ නාට්‍යය පෙන්වීමට තීරණය කළ ප්‍රධාන හේතුව එය බවද ශ්‍රියන්ත මට කියා සිටියා. ඉතින් මම මේ ගැන අපි මාලි, රසා, නිහාරි සමඟ සාකච්ඡා කරමින් මෙම වැඩසටහන සංවිධාන කළා. අනතුරුව මේ සඳහා අමිත්ත වීරසිංහ, ආචාර්ය ධම්මික දිසානායක, ශර්මිලා ගෝනවෙල සහ මෙවන් ලියනගේ ඇතුළු පිරිසක්ද අපි සම්බන්ධ කර ගත්තා.”
ශ්‍රියන්ත මෙන්ඩිස් පිළිබඳ මාලි ජයවීරගේ කීවේ මෙවැනි කතාවකි.
“ශ්‍රියන්ත අයියාව මට මුණගැසෙන්නේ කුසුම් අක්කාව මුණගැහුණු කාල සමයේදීමයි. ඔහු අපට සහෝදරියකට මෙන් රැකවරණය දුන්නා. නාට්‍ය පුහුණුවීම් කරද්දී අපිව නිෙවසටම ඇරලවන්නට ඔහු කටයුතු කළ ආකාරය අමතක වන්නේ නෑ. ඉතින් අපි අතර බැඳීම අදටත් නොවෙනස්ව පවතින්නේ ඒ නිසාමයි. ඉතින් ශ්‍රියන්ත අයියා වෙනුවෙන් උපහාර පුදන්නට මේ අවස්ථාව හැර වෙනත් අවස්ථාවක් නැවත එන්නේ නෑ. ඒ නිසා අපි මේ කටයුත්ත ඉතා ඉහළින්ම සිදු කරනවා.”
දශක ගණනාවක් කලාකරුවන් ලෙස කණ්ඩායම් හැඟීමෙන් පැමිණි ගමන් මඟ ගැන රසාදරී අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
ඉස්සර නාට්‍ය පුහුණුවීම් කරන කාලයේ අපි හතර දෙනා සුදර්ශියේ ඉඳන් බොරැල්ලට එන්නේ පා ගමනින්. ඒ අතර අපි බොහෝ දේ කතා බහ කරනවා. අනාගතය සැලසුම් කරනවා. ඒ විදිහට ඒ කාලයේ අපේ බැඳීම ටිකෙන් ටික ශක්තිමත් වුණා.
අපි කවුරුත් අබිබවා යන්නේ නෑ. අනෙකාට ඇහුම්කන් දෙමින්, අනෙකාගේ අදහසට ගරු කරමින් අවසන් තීරණයට එළැඹෙනවා. ඉතින් ඒ නිසාම අවසානයේ සොඳුරු නිර්මාණීය වැඩසටහනක් අපි අතින් නිර්මාණය වෙනවා. අපි එදා සිට මේ දක්වා මෙවන් ගමනක් පැමිණීමේ ප්‍රධානම රහස එය යැයි” කුසුම් රේණු අදහස් පළ කළාය. මේ කතාවට අදහසක් එක් කරමින් මාලි ජයවීරගේ කියා සිටියේ “අපි හතර දෙනා එදා සිට අද දක්වා කාගෙත් දුක සැප බෙදා ගනිමින් හදවතින් බැඳී ඉන්නවා. එයාකාරයෙන් හදවතින් බැඳීම අපේ සංවිධානය අද දක්වාම නොනැසී පැවැතීමට හේතුවක්” වූ බව ඇය කියන්නීය.
“ඇත්තටම අපි හතර දෙනාම කලාකරුවන් වුණත් අපි අතර තරගයක් නෑ. ඒ නිසාම අපි හතර දෙනා සහයෝගයෙන් එකමුතුව වැඩ කරනවා. අපි සිවුදෙනාගේ එකමුතු බව සහ ආදරණීයත්වය පෙන්වන සිදුවීමක් සම්මාන උලෙළකදී සිදු වුණා. එදා මගේ කකුල ඔපරේෂන් කරලා අපහසුවෙන් හිටියේ. මා සම්මානය ලබා ගැනීමට ඇවිදගෙන යන්නට අපහසු වුණු වෙලාවේ කිසිදු ආරාධනයකින් තොරව මාලි අක්කා, කුසුම් අක්කා සහ නිහාරි අක්කා මා අල්ලා ගන්නට සැණෙකින් පැමිණියා. ඉතින් අපේ ආදරණීය බැඳීම එවැන්නක්.” එසේ පැවසුවේ රසාදරි පීරිස්ය.
“ඇත්තටම අපි එය කතා වෙලා කළ දෙයක් නොවේ. රසාදරි අපහසුවෙන් යන විට අපි තුන්දෙනා ඉබේම වාගේ නැඟිට ඇවිත් ඇයට උදවු කළා. ඒ වෙලාවේ රසාදරිගේ නංගි පවා කඳුළු සැලුවේ මට එවැන්නක් නොදැනුණේ ඇයි දැයි පවසමින්. “මාලි එදා අත්දැකීම තවදුරටත් විස්තර කළාය.
අපේ අදහස් පවා එකිනෙකට ගැළපෙනවා. එකිනෙකාට ඊර්ෂ්‍යාවක් නෑ. එකිනෙකාගේ අඩුපාඩු තැන්තැන්වල කතා කරන්නේ නෑ. ඒ නිසා අපි එදා සිට අදත් හෙටත් කණ්ඩායමක් ලෙස වැඩ කරනවා ස්ථිරයි.” නිහාරි වික්‍රමආරච්චි අදහස් පළ කළේ එයාකාරයෙනි.
සිය සැමියා වෙනුවෙන් තම එකමුතුව හරහා උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කාගෙන් හෝ විවේචනයන් එල්ල විය නොහැකි ද?
කවුරුන් හෝ එවන් කතාවක් කියනවා නම් මං කැමැතියි. ඇත්තටම වෙන කාගේ හෝ වයිෆ් කෙනෙක් කරනවාට වඩා හස්බන්ඩ්ගේ වැඩේ වයිෆ් කරන එකට මං කැමැතියි. ඉතින් ශ්‍රියන්තගේ උත්සවය සංවිධාන කර ගැනීමට දායක වෙන්න ලැබීමට තරම් මමත් වාසනාවන්ත වුණා. එය මා ලැබූ විශාල භාග්‍යයක්. ලෝකයා දකින විදිහට වඩා එය මං දකින විදිහට සිදු කිරීම වැදගත් යැයි මා විශ්වාස කරනවා.”
ඕනෑම කටයුත්තක් සංවිධාන කිරීමේ පිළිවෙළ පිළිබඳව රසාදරි පීරිස් පළ කළේ මෙවන් අදහසකි.
“මේ සඳහා මූලිකත්වය ගන්නේ කාන්තාවන් හතර දෙනෙක් වුණත් අපට හැම කටයුත්තකදීම පුරුෂ පාර්ශ්වයේ සහාය ලැබෙනවා. අපි හතර දෙනා සාකච්ඡා කරනවා. සරල දෙයක් වුණත් එය ලස්සනට පිළිවෙළට කරන්නට අපේ සාකච්ඡාව ඉතා වැදගත්. ඒ සාකච්ඡාවේදී අපි අතර විවිධ යෝජනා හුවමාරු වෙනවා. ඒවායින් සංවිධාන වන කාර්යය ඉතාම ලස්සනයි. මේ කාර්යයේදී ශ්‍රියන්ත අයියාගේ ජීවන චරිතාපදානය සහිත ග්‍රන්ථයක් දොරට වඩිනවා. ඒ වගේම ශ්‍රියන්ත අයියාගේ ජීවන චරිතාපදානය පිළිබඳ ලස්සන වීඩියෝ එකකුත් අපි නිර්මාණය කරන්නට යෝජනා කළා. පොතක් සහ වීඩියෝවක් නිර්මාණය කරන අතරතුර ප්‍රසංගය සඳහා යෝජනාව ඉදිරිපත් වුණා. ඉතින් සරල දෙයක් වුණත් ලස්සනට පිළිවෙළට කිරීමට අපේ සාකච්ඡාව ඉතා වැදගත් යැයි අපි විශ්වාස කරනවා.
ඒ වගේම ශ්‍රියන්ත අයියා සහ කුසුම් අක්කා කියන්නේ අපේ කලා ජීවිතයට ලොකු ශක්තියක් වුණු දෙන්නෙක්. මම කලා ක්ෂේ්‍ත්‍රයට පිවිසෙද්දී පොඩි ළමයෙක්. ඒ වන විට මං සාමාන්‍ය පෙළ විභාගයවත් කරලා නෑ. ඉතින් නිහාරි අක්කා අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ශ්‍රියන්ත අයියා, කුසුම් අක්කා, මාලි අක්කලාගෙන් අපි කලාව වගේම ජීවිතයත් ඉගෙන ගත්තා. මා පමණක් නොවේ, බොහෝ කලාකරුවන් ඔවුන්ගෙන් ඉගෙන ගත් දේ පාඩම් බොහෝමයි. අපේ කලා ජීවිත සහ පෞද්ගලික ජීවිත සාර්ථක වෙලා තියෙන්නේ ඔවුන්ගේ ගුරුහරුකම් නිසායි. අපි ඒවාට ගෞරවයක් සහ වටිනාකමක් දිය යුතුයි.”
කණ්ඩායමේ සාමාජිකාවක් වන නිහාරි වික්‍රමආරච්චිද මෙසේ අදහස් දැක්වුවාය.
“මං විද්‍යා ගුරුවරියක්. ශ්‍රියන්ත අයියා ගණිත ගුරුවරයෙක්. ගුරු ජීවිතය සහ කලාව සමබරව ගෙන යන්නේ කෙසේද යන්නට හොඳම උදාහරණයක් ලෙස ශ්‍රියන්ත අයියාව පෙන්වා දිය හැකියි. සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවිය චරිතයේ තිස්වැනි සංවත්සරය වෙනුවෙන් පවා මා පුදුම කරවන්නට කටයුතු කළ ආකාරය මට අමතක වන්නේ නෑ. යනුවෙන් නිහාරි වික්‍රමආරච්චි සිය වචන පෙළ අවසන් කරද්දි අපට හැඟී ගියේ කලාකරුවන් අමතක කර ඇති යුගයක සොඳුරු කලාකාරිනියන් සිවු දෙනෙකු කලාකරුවන්ව මතකයෙන් ගිලිහෙන්නට යා නොදෙන්නට දරන අපමණ වෙහෙස පිළිබඳවය.
දෙයක් වේ නම් සුදුස්සාටමයි යන කියමන සාක්ෂාත් කරමින් ඔවුහු ශ්‍රියන්ත මෙන්ඩිස් නම් අසහාය රංගධරයාගේ වටිනාකම ලොවට පසක් කිරීමට කටයුතු කරති. මීට පෙර එච්.ඒ. පෙරේරා, නෙතලි නානායක්කාර, ඩග්ලස් රණසිංහ ඇතුළු කලාකරුවෝ රැසක් ඔවුන්ගේ සංවිධානයෙන් බුහුමන් ලැබූහ. වගකිවයුතු පාර්ශ්ව රැසක් සිය වගකීම් මගහරිද්දී ඔවුහු දශක පහකට අධික කාලයක් ඔවුන්ට හැකි උපරිමයෙන් කලාකරුවන් වෙනුවෙන් වගකීම් ඉටු කරති.” ආදරය නිසා මේ සේරම යන තේමාව මුවග රඳවා ගත් මාලි ජයවීරගේ මූලිකත්වය කුසුම් රේණු නම් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියගේ උපදේශනය රසාදරී පීරිස් සහ නිහාරි වික්‍රමාආරච්චි ඇතුළු කණ්ඩායමේ සාමාජිකයන්ගේ මනා සංවිධානය මේ ගමනේ මහඟු ශක්තියයි.
PIX BY – ශාන් රූපස්සර