හෙට දින ලෝකය දිනන්නට පෙරමඟ බලනා පුංචි මල් කැකුළු දැයට අහිමි වන්නේ හිටි හැටියේමයි. වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නා වූ විවිධාකාරයේ හදිසි අනතුරුවලින් සේම පිළිකාව වැනි බෝ නොවන රෝගවලින් දැයට අහිමි වන මල් කැකුළු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යයි. මෙලෙස දැයට අහිමි වන්නේ මේ රටේ අනාගත පරම්පරාවයි.
විශේෂයෙන්ම ළමා පිළිකාව පිළිබඳ වැඩි කතාබහට ලක්වන සහ එහි වේදනාත්මක ප්‍රතිඵලයන් අත්විඳින මේ කාලවකවානුවේ ළදරුවන්ට කිරිදෙන ප්ලාස්ටික් බෝතල්වල ප්‍රමිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන් හරි අපූරු තීරණයක් ගෙන තිබුණා. ඒ ඔක්තෝබර් පළමුවැනිදාට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙනි. මේ තීරණයේ ඵලදායීතාව පිළිබඳ
වීමසීමට අපි කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්‌ය ගයනි රාජපක්ෂ මහත්මිය මෙන්ම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාත් සම්බන්ධ කර ගතිමු.
ඒ අනුව අපේ කතාබහට පළමුව යොමු වුණේ මහාචාර්ය ගයනි රාජපක්ෂ මහත්මියයි.
මහාචාර්යතුමියනි, ළදරුවන්ට කිරි ලබාදෙන ප්ලාස්ටික් බෝතල් භාවිතය අහිතකර වන ආකාරය අපට පැහැදිලි කරන්න?
ප්ලාස්ටික් බෝතල්වල විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. මෙම විෂ රසායන ද්‍රව්‍ය කිරි හෝ දියර සමඟ මුසුවීමෙන් දරුවන්ගේ ශරීරයට ඇතුළු වෙනවා. මේ ප්ලාස්ටික් බෝතල් තැම්බීම. උණුවතුර යොදා කිරි සැදීම, ඝන ද්‍රව්‍යවලින් තදින් ඇතිල්ලීම, ආම්ලික ද්‍රාවණ (ඒ කියන්නෙ දෙහි, නාරං වැනි යුෂ වර්ග ආදිය) දැමීම, මයික්‍රෝවේව් (microwave) කිරීම වැනි ක්‍රියා නිසා මෙම රසායන ශරීරයට ඇතුළු වීම වැඩියෙන් සිදුවෙනවා.
මේ අයුරින් ශරීරගත විය හැකි රසායන ද්‍රව්‍යයක් තමයි ” බිස්ෆිනෝල් -A (BPA) කිරිබොන වයසේ දරුවකුගේ ජීවිතයේ ඉතා සංවේදී අවදියක්. මේ අවදියේ දී BPAවලට නිරාවරණය වීමෙන් කුඩා කාලයේ මෙන්ම පසුකාලීනවත් බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මඟ පාදනවා.
ප්ලාස්ටික් ආහාර ඇසුරුම් භාවිතයෙන් සිදුවිය හැකි හානි පිළිබඳ තවදුරටත් විස්තර කළොත්?
BPA රසායනයට පුළුවන් මිනිස් හෝමෝන පද්ධතියේ විෂ සංඝටකයක් ලෙස ක්‍රියා කරන්න. හෝමෝන ක්‍රියාවලිය අසමතුලිත කරන්න. ඊස්ට්‍රජන්, ඉන්සියුලින්, තයිරොයිඩ්, පුරුෂ ප්‍රජනන පද්ධතියේ හෝමෝන ක්‍රියාවලිය මේ විදිහට බිඳවැටීම මඟින් ළදරු, තරුණ සියලු දෙනා තුළම අහිතකර බලපෑම් ඇති වෙනවා. කුඩා දරුවන්ගේ ශාරීරික මෙන්ම බුද්ධි වර්ධනයට හානි වෙනවා. අධික්‍රියාකාරී දරුවන්, ඔටිසම් දරුවන්, චර්යාමය ගැටලු, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීමෙන් නිතර ලෙඩ වීම, අධික ස්ථුල බව BPA මඟින් ඇති කරනවා. එමෙන්ම ගැහැනු දරුවන් වේලාසන මල්වර වීම, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සරුබව අඩු වීම, ගර්භිණී සමයේ සංකූලතා ඇතිවීම, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ ප්‍රජනන පද්ධතියේ පිළිකා ආදී රෝග රාශියකට BPA රසායනය හේතු වී ඇති බව විද්‍යානුකූලව සොයාගෙන තියෙනවා.
ගැහැනු දරුවන් ඉපදීමේ අනුපාතය වැඩිවීමත්, පුද්ගල ලිංග විපර්යාස තත්ත්ව ඇති වීමටත් මේ රසායනය බලපානවද?
BPA, ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ඊස්ට්‍රජන් හෝමෝනයට සමානකම් දක්වන රසායනිකයක්. මෙයින් පුරුෂ හෝමෝන අඩපණ වීම සිදුවෙනවා. එමඟින් feminization බලපෑම් සිදුවෙනවා. මේ පිළිබඳ මිනිසුන් ආශ්‍රිත පර්යේෂණ නැතත් මිනිසාට ජානමය වශයෙන් යම් සමානකම් දක්වන විද්‍යාගාර සතුන් ( මීයන්, මාළු) ඇසුරින් කරපු පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා කලල අවධියේදී BPAවලට නිරාවරණය වීම ගැහැනු සත්ත්වයින් බහුල වීමට හේතුවන බව.
මේ පිළිබඳ සමාජයේ දැනුම්වත් බව කෙබඳුද?
සමාජයේ දැනුම්වත්භාවය සතුටුදායක තත්ත්වයක නැහැ. ප්ලාස්ටික් භාවිත කරන පිළිවෙළ පවා නොදැනුවත් තත්ත්වයක තමයි තිබෙන්නෙ. විෙශ්ෂයෙන් ප්ලාස්ටික් භාජන තැම්බීම, පළුදු භාජන භාවිතය, උණුසුම් ද්‍රව්‍ය දැමීම වැනි දේ සිදු කරන ආකාරයෙන්ම දැනුම්වත් බවේ අඩු බව පේනවා. සමහර ප්ලාස්ටික්වල BPA බහුලයි.
(උදා: අංක 3,7 සහ අංක රහිත) මේ පිළිබඳ දැනුම ඉතා අඩුයි. එබැවින් මේ පිළිබඳ දැනුම සමාජගත කිරීම අත්‍යවශ්‍යයි.
ඔබ මහාචාර්යවරියක් වගේම මවක් විදිහට මේ සම්බන්ධයෙන් අපේ මවුවරුන්ට දෙන අවවාදය කුමක්ද?
ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කරන්න කියන එක තමයි දෙන්න තියෙන පළමු අවවාදය. ඒ සඳහා විකල්පවලට යොමු වෙන්න ඕනේ. වීදුරු භාජන හොඳම විකල්පයක්. ප්ලාස්ටික් භාවිත කිරීමට සිදුවන අවස්ථාවලදී ප්‍රමිතියක් තිබෙන, වර්ණ අඩු, පිටුපස අංක 5 සහිත භාජන තෝරා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම මේ පණිවිඩය නිවැරැදිව තවත් අයට දැනුම්වත් කිරීමෙන් අපේ දරු පැටවනුත්, අනාගත පරපුරත් නීරෝගි කිරීමට දැනුම්වත් වෙමු කැපවෙමු කියන දේ තමයි මට කියන්න තියෙන්නේ.
මේ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීම පිළිබඳ වැදගත් තීරණයක් ගත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟත් කතා කරන්නට අප අමතක කළේ නැහැ.
අමාත්‍යතුමනි, ලෝක ළමා දිනය දවසේ දරුවන්ට වටිනා තෑග්ගක් දුන්නා කියල දැනගන්නට ලැබුණා. ප්ලාස්ටික් කිරිදෙන බෝතලයේ ප්‍රමිතිය තහවුරු කිරීම ගැන තවදුරටත් දැනගන්නට කැමතියි.
රටකට තිබෙන වටිනාම සම්පත දරු සම්පත. රටේ අනාගතය තීරණය වෙන්නේ දරුවන්ගේ නීරෝගි බව සහ බුද්ධි මට්ටම මත. ඒ නිසා රජයක් විදිහට අපි ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. ඒක අපේ වගකීමක්. වර්තමානයේ බොහෝ දරුවන් විවිධ රෝගාබාධවලින් පෙළෙනවා. පිළිකා රෝහලේ සිටින දරුවන් දැකීම මහත් වේදනාවක්. රෝග වැලඳෙන්න කලින් එය වළක්වා ගැනීම අප කළ යුතුයි. ඒ සඳහා අපේ අමාත්‍යාංශය වන වෙළෙඳ අමාත්‍යාංශයට කළ හැකි දේ පිළිබඳ අපි සාකච්ඡා කළා. අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා කුඩා දරුවන් සහ පාසල් ළමුන් බහුලව භාවිත කරන ප්ලාස්ටික් වතුර බෝතල් සහ ළදරුවන්ට කිරි පොවන බෝතල් (Feeding Bottles) වල
බිස්ෆිනෝල් – A (BPA) සහ තැලේට් (phthalates) ආදී ශරීරයට අහිතකර රසායනික අනාරක්ෂිත මට්ටමින් පවතින බව විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවා ඒ අනුව තමයි මේ තීරණයට එළඹුණේ.
ඒ කියන්නේ මේ තීරණය විධිමත් සැලසුමක් ඇතිව කරපු එකක්.
ඔව්. මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශය, කැලණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, බියුරෝ වෙරිටාස් ආයතනය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර සංවිධාන, වෙළෙඳ අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ
වෙනත් විද්වත් පාර්ශ්ව සමඟ සාකච්ඡා කළා. විශේෂයෙන් යුරෝපයේ රටවල් සහ කැනඩාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල් මේ ගැටලුවට මුහුණ දී තිබෙන ආකාරය පිළිබඳ විධිමත් අධ්‍යයනයකින් තමයි මේ තීරණයට පැමිණියේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය
වසන්ත සමරසිංහ
කැලණිය විශ්වවිද්‍යාලයේ
විද්‍යා පීඨයේ මහාචාර්‌ය
ගයනි රාජපක්ෂ