යුවතියකගේ සැබෑ සුන්දරත්වය යනු කිසිසේත්ම බාහිර පෙනුමට හෝ මුහුණේ පැහැයට පමණක් සීමා වූවක් නොවේ. පිරිසුදුකම, නීරෝගිකම සහ ශරීරයේ සෑම අංගයක් කෙරෙහිම දක්වන සැලකිල්ල තුළින් ඇගේ ස්වාභාවික ආකර්ෂණය වඩාත් දීප්තිමත් වේ. පැහැපත් සමක්, සිනිඳු හිසකෙස් සහ මනාව සමතුලිත ශරීරයක් මෙන්ම, බොහෝ දෙනා අවධානය යොමු නොකරන තවත් වැදගත් අංගයක් තිබේ. ඒ ඔබගේ පාද සහ විළුඹයි.
බොහෝ යුවතියන් මුහුණට සහ දෑත්වලට විශාල කාලයක් හා මුදලක් වැය කළත් පාද යුගල ගැන සැලකිලිමත් වීම මඟහරී. නමුත් පාද දෙකේ පිරිසුදුකමේ ඇති අඩුවක් හෝ විළුඹේ ඇති පැළුම් නිසා මුළු සුන්දරත්වයම නැතිවී යා හැකි බව අමතක නොකළ යුතුය. ඇවිදින සෑම පියවරකදීම ඔබේ අලංකාරය රැගෙන යන පාද ඔබගේ සමස්ත සෞඛ්‍යයේ කැඩපතක් සේ ක්‍රියා කරයි.
කෙසේ වෙතත් ඕනෑම යුවතියකට පැළුම් නැති ඉතාම පිරිසුදු හා අලංකාර පැහැපත් පාද දෙකක් හිමි කර ගැනීමට අවස්ථාව තිබේ. මේ සඳහා අපට විශාල මුදලක් වැය කරමින් විවිධ ආලේපන හෝ සංකීර්ණ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ. වැදගත්ම දේ වන්නේ තමුන්ගේ දෛනික ජීවිතයේදී මේ සඳහා හොඳින් පිරිසුදුකම පවත්වා ගැනීම සහ ස්වාභාවික සත්කාරවලට යොමුවීමයි.
වෛද්‍ය විද්‍යාවේදී විළුඹ පැළීම පාදදාරී (Padadari) ලෙසත් බටහිර වෛද්‍ය විද්‍යාවේදී Heel Fissures ලෙසත් හඳුන්වන අතර, එය බොහෝ විට ශරීරයේ වාත (Vata) දෝෂය ඉහළ යෑම නිසා සමේ ඇතිවන අධික වියළි බව විජලනය හෝ විටමින් ඌනතා නිසා ඇති වේ.
පහත දැක්වෙන්නේ පැළුම් නැති නීරෝගි පාද යුගලක් පවත්වා ගැනීම සඳහා ආයුර්වේද සහ සරල බටහිර ක්‍රමවේද ඇසුරින් සකස් කළ සත්කාර මාලාවකි.
සොබා දහමේ සත්කාර
ආයුර්වේදයේ විළුඹ පැළීම බොහෝවිට වාත ප්‍රකෝපය නිසා ඇතිවන තත්ත්වයක් ලෙස සලකන අතර මේ සඳහා වියළි බව නැති කරන, තුවාල සුව කරන සහ සමේ ස්නිග්ධ (තෙල් සහිත) ගුණය පවත්වාගෙන යන ප්‍රතිකාර නිර්දේශ කර ඇත.
ඖෂධීය පාද සත්කාර (පාද ස්වේද සහ ලේපන) පාද ස්නානය (Foot Soak)
දිනපතා සවස හෝ නින්දට පෙර මඳ රස්නය ඇති වතුර භාජනයකට ලුණු ස්වල්පයක් (සෛන්ධව ලවණ) සහ කහ කුඩු (Haridra) තේ හැන්දක් එක් කරන්න.
පාද විනාඩි 15-20ක් පමණ එහි ගිල්වා තබන්න. මෙය සම මෘදු කර පැළුම්වල ඇති විෂබීජ ඉවත් කිරීමට උපකාරී වේ.
තෙල් ආලේපනය (ස්නේහන)
පාද හොඳින් පිසදමා තෙල් (Sesame Oil) හෝ පොල්තෙල් ස්වල්පයක් විළුඹේ හොඳින් අතුල්ලන්න. වාත දෝෂය සමනය කිරීමට තලතෙල් ඉතා ගුණදායකය.
හැකිනම් එළඟිතෙල් ආලේප කිරීමෙන් සමේ තෙතමනය රැකගෙන වියළි බව දුරු කරයි.
අඹ ඇට සහ කොහොඹ තෙල් ඇතුළු කොටස සහ කොහොඹ තෙල් (Neem oil) සම ප්‍රමාණයෙන් මිශ්‍ර කර සාදා ගන්නා ලේපනය ද විළුඹ පැළීම් සුව කිරීමට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය යටතේ භාවිත වේ.
දෛනික සත්කාර ක්‍රම
ආයුර්වේද ක්‍රමවේදයන්ට අමතරව දෛනික ජීවිතයේදී පහසුවෙන් අනුගමනය කළ හැකි සරල බටහිර සහ රූපලාවණ්‍ය සත්කාර ක්‍රම කිහිපයක් තිබේ.
මියගිය සම ඉවත් කිරීම
පාද උණු වතුරේ පොඟවා ගැනීම සහ දිනපතා සවස උණුසුම් සබන් යෙදූ ජලයේ පාද විනාඩි 10-15ක් පොඟවා තබන්න.
මෘදු වූ සම මත Pumice Stone හෝ විශේෂයෙන් සකස් කළ පාද ස්ක්‍රබ් එකක් යොදාගෙන විළුඹේ ඇති ඝන වූ හා මියගිය සම (Dead skin) ඉතාම මෘදුව ඉවත් කරන්න. අධික ලෙස තදින් ඇතිල්ලීමෙන් වළකින්න.
පාද හොඳින් පිරිසුදු කර පිස දැමීමෙන් පසු Glycerine හෝ Petroleum Jelly (වැස්ලින්) වැනි දැඩි තෙතමනය රඳවා ගන්නා ආලේපනයක් විළුඹේ ඝනව ආලේප කරන්න. මොයිස්චරයිසර් ආලේප කිරීමෙන් පසු ඝන කපු මේස් (Thick Cotton Socks) යුගලක් පලඳින්න. මෙය තෙතමනය සම තුළට අවශෝෂණය වීමට උපකාරි වන අතර, වියළි වාතයෙන් සම ආරක්ෂා කරයි.
බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්රමවලදී සමේ තෙතමනය රඳවා තබා ගැනීමට සහ මියගිය සම ඉවත් කිරීමට උපකාරී වන Urea (10% – 25% සාන්ද්‍රණයේ) අඩංගු පාද ක්‍රීම් වර්ග භාවිත කිරීම ඉතා සරල හා ඵලදායී ක්රමයකි.
නිවැරදි ජීවන රටාව
ශරීරය අභ්‍යන්තරයෙන් විජලනය වීම වැළැක්වීමට දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. විටමින් C, E සහ Omega-3 Fatty Acids වැනි සමේ සෞඛ්‍යයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර ගන්න. යුවතියකගේ සුන්දරත්වය යනු මුළු ශරීරයම ආවරණය වන සමස්ත සැලකිල්ලයි. විළුඹ පැළීම යනු කිසිසේත්ම සැඟවිය යුතු ගැටලුවක් නොවේ. දිනපතාම විනාඩි කිහිපයක් ඔබගේ පාද සත්කාරය සඳහා වෙන් කිරීමෙන් ඔබට පැළුම් නැති, නීරෝගි, ලස්සන පාද යුගලක් හිමිකර ගැනීමටත් එමඟින් ඔබගේ සමස්ත සුන්දරත්වය තවත් ඔප්නැංවීමටත් හැකි වනු ඇත.
උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය සහ කේශාලංකරණ
ශිල්පි මැණික් හේමචන්ද්‍ර
