Monday, October 20, 2025
Epaper
Home Highlightsඋදෑසන කලබලයට ටක්…ටික්..ටුක් කෑම ලෑස්තියි

උදෑසන කලබලයට ටක්…ටික්..ටුක් කෑම ලෑස්තියි

by Thanushika

උදේ ආහාරය රජෙක් වගේ ගන්න කිව්වත් හරියට උයා පිහා ගන්න වෙලාවක් කෝ…? මේ ප්‍රශ්නය සමහර විට ඔබටත් ඇති. නමුත් ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. උදේට බත්ම කන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. අද ගෙන එන්නේ උදේ ආහාරයට ගැළපෙන පෝෂණය උපයා ගත හැකි සහ පහසුවෙන් පිළියෙල කර ගත හැකි මේ ආහාර වර්ග කිහිපයක්. වැඩිහිටියන් විතරක් නෙවෙයි පොඩ්ඩන් වුණත් මේ ආහාරවල රස බලන්න ආස වේවි.

ක්ලැසික් ෆ්‍රෙන්ච් ටෝස්ට්

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු වේවි.

මේ සඳහා පාන්පෙති කිහිපයක්, බිත්තර 5ක්, නැවුම් කිරි කෝප්ප 2ක්, සීනි මේස හැඳි 4ක්, වැනිලා ටිකක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි. මුලින්ම පාන්පෙති ටික කුඩා කැබලිවලට කපාගන්න. බිත්තර, කිරි, වැනිලා හා සීනි භාජනයකට දමා හොඳින් බීට් කරගන්න.

එම මිශ්‍රණයට පාන් කැබලි එක් කර පොඩි නොවන ලෙස හොඳින් කලවම් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් එක් කර ගන්න. පසුව මෆින් ට්‍රේ එකකට බටර් ටිකක් ගාලා මේ මිශ්‍රණය සෙල්සියස් අංශක 180ට විනාඩි දමා 15ක් බේක් කරගන්න.

කෙසෙල් මිශ්‍ර ඕට්ස්

ඕට්ස් කියන්නේ එතරම් රසවත් ආහාරයක් නෙවෙයිනේ. හැබැයි ගුණෙන් හරි ඉහළයි. හැමදාම කිරි ටිකක් එකතුකරලා හදන ඕට්ස් එකට මේ විදිහට වෙනසක් එකතු කරගෙන බලමු.

මේ සඳහා ආමන්ඩ් කිරි කෝප්ප 1ක්, ඕට්ස් කෝප්ප 1ක්, පොඩි කරගත් කෙසෙල් ගෙඩියක්, පීනට් බටර් මේස හැඳි 2ක්, මී පැණි මේස හැඳි 2ක්, වියළි මිදි ස්වල්පයක්, කිවි පලතුරෙන් පෙති දෙකක් සහ කෙසෙල් පෙති කිහිපයක් අවශ්‍යයි. මුලින්ම පීනට් බටර් හා පැණි එකට කලවම් කරගන්න. ෙමය අඩු ගින්දරේ ළිපේ තියලා හැඳිගාන්න.

වෙනම බෝල් එකකට ඕට්ස්, ආමන්ඩ් කිරි සහ කෙසෙල් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. මේකට රත් කර ගත් පැණි මිශ්‍රණය දාගන්න. හොඳට කලවම් කරලා අඩු ගින්දරේ විනාඩි 10ක් පිසගන්න. ඉන්පසු ළිපෙන් බා වියළි මිදි, කිවි පෙති සහ කෙසෙල් පෙති එකතු කොට සරසා ගන්න.

ස්ට්‍රෝබෙරි පෑන් කේක්

පෑන් කේක් කියන්නෙ තේ බොන වෙලාවට එහෙමත් නැත්නම් අමුත්තෙක් ආව වෙලාවට අපේ මුළුතැන්ගෙයි පිළියෙල වෙන අපිට බොහොම හුරුපුරුදු කෙටි ආහාරයක්නෙ.

ලංකාවේ අපි සාමාන්‍යයෙන් පෑන් කේක් කන්න පුරුදු වෙලා ඉන්නෙ පැණි පොල් පිරවුමක් මැදි කර ගෙන රෝලක් හැඩයට හදාගෙනනෙ. හැබැයි සාමාන්‍යයෙන් යුරෝපා රටවල්වල පෑන් කේක් හදන විදිහ වගේම පෑන් කේක් පිළිගන්වන විදිහත් ටිකක් වෙනස්. මේ පෑන් කේක් එක විනාඩි 10ක් වගේ කෙටි වෙලාවකින් හදාගන්නත් පුළුවන්.

මේ සඳහා පාන් පිටි ග්‍රෑම් 200ක්, බේකිං පවුඩර් ග්‍රෑම් 10ක්, සීනි මේස හැඳි 01ක්, ලුණු කුඩු තේ හැඳි 01ක්, කිරි මිලිලීටර් 300ක්, කාමර උෂ්ණත්වයේ ඇති බටර් ග්‍රෑම් 40ක්, බිත්තර 01ක් පිළිගැන්වීමට පැණි සමඟ බටර්, මාගරින්, ස්ට්‍රෝබෙරි, ඇපල්, කෙසෙල් හෝ බ්ලූබෙරි වැනි ඔබ කැමති පලතුරක් අවශ්‍යයි. මුලින්ම පිටිවලට බේකිං පවුඩර්, සීනි සහ ලුණු කුඩු එකතු කර තරමක් විශාල වෙනත් භාජනයකට පෙරනයක් ආධාරයෙන් හලා ගන්න. හලාගත් පිටි මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් එයට බටර්, බිත්තර සහ කිරි එකතු කර කැට නොසිටින උකු මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් පැතලි සාස්පානක් ළිප තබා එය රත්වන විට එහි බටර්, මාගරින් හෝ තෙල් ස්වල්පයක් ආලේප කරගන්න. තරමක් විශාල හැන්දක් ආධාරයෙන් සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය සාස්පානට වත් කරගන්න. වත් කර ගත් මිශ්‍රණය ඝනවී කුඩා බුබුළු ඒමට පටන් ගත්විට සෙමින්, පරිස්සමෙන් අනෙක් පැත්ත හරවා ගන්න. තත්පර 3‍0ක් පමණ තබා ළිපෙන් ඉවත් කරගන්න. මඳ උණුසුම තිබියදීම ඊට උඩින් පැණි, බටර්, ජෑම් හෝ ඔබ කැමති පලතුරක් සමඟ උණුසුම්වම රස විඳින්න.

 

පැස්ටා සමඟ සැන්ඩ්විච්

පැස්ටා සැකසීමට තම්බාගත් පැස්ටා කෝප්පයක්, බටර්, ගම්මිරිස් අවශ්‍යයි. සැන්ඩ්විචය සඳහා ත්‍රිකෝණ හැඩයට කපා ගත් පාන් පෙති දෙකක්, බටර්, ගම්මිරිස්, ලුණු සහ තම්බාගත් බිත්තරයක් අවශ්‍යයි. සරසා ගැනීමට ලූනු කොළ කිහිපයක්, බ්ලූ බෙරි සහ කෙසෙල් පෙති එකතු කර ගත හැකිය.

පෑන් එකක් ළිප තබා එයට බටර් ස්වල්පයක් එකතු කර ගන්න. ඉන්පසු තම්බාගත් පැස්ටා එකතු කර ගම්මිරිස් ස්වල්පයක් එකතු කර ගන්න. සැන්ඩ්විච් සඳහා පිරවුම සැකසීමට කුඩා බෝල් එකක් ගෙන බටර්, තම්බාගත් බිත්තරය, ලුණු සහ ගම්මිරිස් එකතුකොට ගෑරුප්පුවකින් හොඳින් පොඩි කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය පාන් පෙත්තක් මත තබා අනෙක් පාන් පෙත්තෙන් වසන්න. ඒ සමඟම තම්බා ගත් පැස්ටා ස්වල්පයකට චීස් එකතු කර රස බලන්න.

පාඨක ඔබටත් තරුණී ප්‍රණීත පිටුවට ඔබේ කෑම වට්ටොරු එක් කිරීමට අවස්ථාව ඇත. ඒ සඳහා ඔබේ ආහාර වට්ටෝරු සමඟ ඡායාරූප අපේ ලිපිනය ප්‍රණීත, ලේක්හවුස්, කොළඹ 10 ට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

උපදෙස් – සූපවේදී

සුජිත් ආරියරත්න

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?