Monday, October 27, 2025
Epaper
Home Highlightsසිහින දකින නිර්භීත කාන්තාවන්ට සාර්ථක ව්‍යවසායකත්වයේ රහස්

සිහින දකින නිර්භීත කාන්තාවන්ට සාර්ථක ව්‍යවසායකත්වයේ රහස්

-ආචාර්ය නිශාන් බමුණුආරච්චි ව්‍යවසායකත්ව පුහුණු උපදේශක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

by Sachintha Lakehouse

සාර්ථක ව්‍යවසායකයා යනු සමාජයේ වර්ධනය උත්පාදනය කරන ශක්තිමත්ම සාධකයයි. ඔහු හුදෙක්ම මුදල් ලබන්නකු නොව රැකියා උත්පාදනය කරන්නකු, ආර්ථික වර්ධනයට දායක වන්නකු සහ සමස්ත ජීවන තත්ත්වය නඟා සිටුවන්නකු බව මෙම පුළුල් අර්ථකථනයෙන් පැහැදිලි වේ. ඔවුන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔවුන්ගේ දැක්ම, නොසැලෙන අධිෂ්ඨානය, අවදානම් කළමනාකරණය සහ අඛණ්ඩව නවෝත්පාදන තුළින් අභියෝග ජය ගැනීමේ හැකියාව මතය.

​අද වන විට මෙම අර්ථකථනය තුළ “ඔහු” යන්න වෙනුවට “ඇය” යනුවෙන් ආදේශ කළ යුතු කාලය පැමිණ ඇත. නූතන ලෝකය තුළ ව්‍යවසායකත්වය යනු ස්වාධීනත්වය, ආර්ථික ශක්තිය සහ ස්වයං සවිබල ගැන්වීම සොයන කාන්තාවන්ට විවෘත වූ විශාල දොරටුවකි. සාම්ප්‍රදායික රැකියාවකට සීමා නොවී තමන්ගේම සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීමටත්, පවුල සහ ව්‍යාපාරය යන දෙකම සමබරව පවත්වාගෙන යාමටත් අවශ්‍ය ශක්තිය, උත්සාහය සහ නිර්භීතකම කාන්තාව සතුය. සාර්ථක ව්‍යවසායිකාවක් යනු කවුද? ඇය සතු ගුණාංග මොනවාද? අපි මේ පිළිබඳ ගැඹුරින් විමසා බලමු.

​දූරදර්ශී අරමුණු සහිත සිහින දකින්නිය

​ව්‍යවසායකයකුගේ ප්‍රධානම ලක්ෂණයක් වන්නේ පැහැදිලි දූරදර්ශී දැක්මක් (Vision) සහ දැඩි ආශාව (Passion) යි. කාන්තා ව්‍යවසායිකාවකගේ සාර්ථකත්වයේ පදනම ද එයයි. ඇය යමක් ආරම්භ කරන විට එහි අවසාන ඉලක්කය කුමක් ද යන්න පැහැදිලිව දනී. මෙය හුදු ලාභයක් ඉපැයීම නොව, යම් සමාජ ගැටලුවකට විසඳුමක් දීම හෝ තම නිෂ්පාදනයෙන් පාරිභෝගිකයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කිරීම විය හැකිය. ඇය අවදානම්වලට බිය නොවන්නීය. ඇය ගණනය කළ අවදානම් (Calculated Risk-Taking) ගනී. මෙහිදී ඇය ප්‍රතිලාභ සහ අවිනිශ්චිත තත්ත්වයන් හොඳින් තක්සේරු කරයි. ව්‍යාපාර ලෝකයේ ගැටලු සහ බලාපොරොත්තු කඩවීම් හමුවේ ඇය අධෛර්යවත් නොවී එය අත්දැකීමක් ලෙස ගනිමින් නැවත නැඟී සිටීමට ඇති නම්‍යශීලී බව සහ ඔරොත්තු දීමේ හැකියාව (Resilience) ඇය තුළ සාර්ථකත්වය සඳහා ඇති මාවත විවර කරයි. ඇය අසමත්වීම්වලින් ඉගෙන ගනිමින් තවත් ශක්තිමත්ව ඉදිරියට යන්නීය.

සාම්ප්‍රදායික ව්‍යාපාරිකයාට වඩා ව්‍යවසායකයා වෙනස් වන්නේ ඇයි?

​සාර්ථක ව්‍යවසායකයකු සාම්ප්‍රදායික ව්‍යාපාරිකයකුගෙන් සැලකිය යුතු ලෙස වෙනස් වේ. සාම්ප්‍රදායික ව්‍යාපාරිකයා ස්ථාපිත ක්‍රමවේද අනුගමනය කරමින් තරගකාරී වෙ‍ෙළඳපොළේ ස්ථායිව කටයුතු කිරීමට උත්සාහ කරන අතර අවදානම අවමකර සාමාන්‍ය ලාභයක් අපේක්ෂා කරයි. එහෙත් ව්‍යවසායකයාගේ ක්‍රියාකාරිත්වය ඊට වඩා වෙනස්ය. ව්‍යවසායකයාගේ ප්‍රධාන අභිප්‍රේරණය වන්නේ නව අදහස්, නිෂ්පාදන, සේවා හඳුන්වා දෙමින් නව වෙ‍ෙළඳපොළවල් නිර්මාණය කිරීම හෝ පවතින වෙ‍ෙළඳපොළට විරාමයක් (Disrupt) ඇති කිරීමයි. ඔහුට හෝ ඇයට අවිනිශ්චිතතාවට සහ අවදානමට මුහුණ දීමේ හැකියාව ඇති අතර, ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අවදානම් කළමනාකරණය කරයි. තවද ව්‍යවසායකයා සෑමවිටම කාලයට පෙර සිතයි (Future-oriented). ඔවුන්ගේ ඉලක්කය හුදෙක් ලාභය නොව නවෝත්පාදනය සහ අභියෝග ජය ගැනීමේ උනන්දුව තුළින් සමාජයට වටිනාකමක් එක් කිරීමයි. කාන්තා ව්‍යවසායිකාව මෙම සුවිශේෂී ලක්ෂණ මඟින් සන්නද්ධව තමන්ගේ ව්‍යාපාරය හුදෙක් ලාභ ලබන ආයතනයකට වඩා, පද්ධති වෙනස් කරන්නියක් සහ නව්‍ය විසඳුම් සපයන්නියක් බවට පත් කර ගනී.

​සාර්ථකත්වයේ මූලික කුලුනු​කාන්තා ව්‍යවසායිකාවකගේ සාර්ථකත්වයේ මූලික කුලුනු දෙක වන්නේ නවෝත්පාදනය සහ නායකත්වයයි. සාර්ථකත්වයට මඟ පාදන නවෝත්පාදන කුසලතාවලින් ඇය සන්නද්ධ වී සිටින්නීය. නව්‍ය අදහස් දැකීමේ හා ඒවා සාර්ථකව ක්‍රියාවට නැංවීමේ හැකියාව ඇයට තිබිය යුතුය. මෙම නවෝත්පාදනය හුදෙක් නව නිෂ්පාදන බිහි කිරීමට පමණක් සීමා නොවී, පවත්නා ක්‍රමවේද දියුණු කිරීමෙන් වැඩි කාර්යක්ෂමතාවකින් කටයුතු කිරීමට ද උපකාරී වේ. මෙම අඛණ්ඩ නවෝත්පාදන ක්‍රියාවලියට ඇය තුළ ඇති කුතුහලය මඟ පෙන්වයි. මේ සියල්ලටම අමතරව ව්‍යවසායිකාව තම කණ්ඩායම නිවැරැදි දිශාවට යොමු කරන ශක්තිමත් නායිකාවක් විය යුතුය. නායකත්වය තුළින් ඇය කණ්ඩායමේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන්ගේ උපරිම හැකියාවන් පිටතට ගැනීමට ඔවුන් දිරිමත් කරයි. ඒ සඳහා ව්‍යාපාර අවස්ථා සහ අර්බුද හමුවේ. අවශ්‍ය තොරතුරු මත පදනම්ව නිර්භීතව සහ ඉක්මනින් තීරණ ගැනීමේ හැකියාව (Decisiveness) ඇයට තිබිය යුතුය. මෙම ගුණාංග දෙකේ සමබරතාව ඇයගේ ව්‍යාපාරය උසස් තැනකට ගෙන යෑමේ ප්‍රධානතම රහසයි.

​කාන්තාව මුහුණ දෙන විශේෂ අභියෝග

​කාන්තා ව්‍යවසායිකාවන්ට සාම්ප්‍රදායිකව පිරිමින්ට වඩා වෙනස් සමාජ සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. පවුල් වගකීම් සහ ව්‍යාපාර කටයුතු අතර නිවැරැදි සමබරතාවක් ඇති කර ගැනීම බොහෝ කාන්තාවන්ට විශාල අභියෝගයකි. මෙහිදී ව්‍යවසායිකාව කාල කළමනාකරණය සහ කාර්යයන් නිසි පරිදි පැවරීමේ (Delegation) හැකියාව වර්ධනය කර ගත යුතුය. තවද ඇතැම් සමාජවල ව්‍යාපාරික කටයුතු පිළිබඳ කාන්තාවන් කෙරෙහි ඇති සාම්ප්‍රදායික ආකල්ප බාධාවක් විය හැකි අතර මෙම තත්ත්වය ජය ගැනීමට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය (Self-Confidence) සහ නොසැලෙන අධිෂ්ඨානයයි. එසේම කාන්තා ව්‍යවසායිකාවන්ට ණය ලබා ගැනීම සහ ආයෝජන අවස්ථා ලබා ගැනීම අසීරු විය හැකි බැවින් ඒ සඳහා මනා ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කිරීම, ශක්තිමත් ජාලයක් ගොඩනැඟීම සහ මූල්‍ය ආයතන සමඟ විශ්වාසය ගොඩනැඟීම අත්‍යවශ්‍ය වේ.

​සාර්ථක ව්‍යවසායිකාවක් යනු හුදෙක්ම ලාභ උපයන යන්ත්‍රයක් නොව දූරදර්ශී දැක්මකින්, නොසැලෙන කැපවීමකින් සහ අඛණ්ඩ නවෝත්පාදනයන්ගෙන් සන්නද්ධ වූ, තමන්ගේ සහ අන් අයගේ ජීවිතවලට සැබෑ වටිනාකමක් එක් කරන නායිකාවකි. ව්‍යවසායකත්ව ගමනක අභියෝග සහ අසාර්ථකත්වයන් තිබුණද, ඇය තුළ ඇති සහජ ශක්තිය, නම්‍යශීලී බව සහ අධිෂ්ඨානය තුළින් ඇයට ඕනෑම බාධකයක් ජය ගත හැකිය.

​ඔබත් ව්‍යවසායකත්වයේ සිහිනය දකින කාන්තාවක් නම් අදම ඔබගේ හැකියාවන් සහ සිහින විශ්වාස කරන්න. අවදානම ගණනය කර, නිර්භීතව ඉදිරියට යන්න. ඔබගේ සාර්ථකත්වය, ඔබට පමණක් නොව, මුළු සමාජයටම නව ආලෝකයක් ගෙන එන බැවිනි.

දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?