Monday, October 27, 2025
Epaper
Home Highlightsමතට ඇබ්බැහිවූවන්ට ගැලවෙන්න අපි උදවු කරන්නම්

මතට ඇබ්බැහිවූවන්ට ගැලවෙන්න අපි උදවු කරන්නම්

 සභාපති පුනරුත්ථාපන කාර්යාංශය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුබසිංහ

by Thanushika

තාරුණ්‍යය යනු මඟ අතරමං නොවිය යුතු ජීවිතය. ඔවුන් සිහින හඹා යන්නන් විය යුතු අතර සිහින සොයා යන්නන් ද විය යුතුය. නමුත් වර්තමානය තුළ යෞවනයන්ගේ සිහින විස මත්ද්‍රව්‍යයන්ගේ සිහි විකල් වීමකට පමණක් ලඝුව ඇත. එය සමස්ත සමාජයටම පිළිලයක් මෙන්ම කැළලකි. මන්ද, තරුණයෙකුගේ හෙට දවසක පියවර, ලෝකයක අනාගතය තීරණය කරන බැවිනි.

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින විවිධ මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රවෘත්ති මැවෙමින් තිබේ. මේ සියල්ල අතරම රජය මඟින් සහ වගකිවයුතු ආයතන මඟින් විස මත්ද්‍රව්‍යවලින් දරුවන්, තරුණයින් ආරක්ෂා කර ගැනීමට සහ ඔවුන් වෙනුවෙන් හෙට දවස සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටියි. එලෙස මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් සඳහා පුනරුත්ථාපන කාර්යාංශය, රජය සමඟ එක්ව ගෙනයන නවතම වැඩපිළිවෙළ පිළිබඳව මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි, මේ.

අපේ රටේ විස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම දැන් නිරන්තර දකින්න අහන්න තියෙන දෙයක්. මේක අහන්න දකින්න විතරක් නෙමෙයි දැන් අත්විඳින්නත් ලැබෙන දෙයක්. අන්න ඒ නිසා, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය මඟින් විස මත්ද්‍රව්‍ය පිළිබඳව සොයා බැලීම් සිදු කරනවා. මේ විස ගංජා, අයිස්, හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය 2022 සිට 2025 දක්වා බලනවිට අතිශය වැඩි වීමක් දකින්න තියෙනවා. ඕනම කෙනෙක් මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න පුළුවන්.

ඇබ්බැහි වීම කියන්නේ රෝගයක් ද?

මෙහෙමයි, ඇබ්බැහිය කියන්නේ එක අතකින් රෝගයක්. අපි අපේ පවුලේ කෙනෙකුට උණ හැදුණට එයාලව එළවන්නේ නෑනේ. එයාලට ප්‍රතිකාර කරලා සනීප වෙන්න කාලයක් දෙනවා. ඒ වගේම මේ ඇබ්බැහිය අපරාධයක් විදිහට ක්‍රියාත්මක වන අවස්ථාත් තියෙනවා. ඒ තමයි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා නිරන්තර මත්ද්‍රව්‍ය මිලදී ගන්න මුදල් අවශ්‍ය වෙනවා. එතැනදි මුදල් අතේ නැති වෙන්න වෙන්න, ගෙදර දේවල් හොරකම් කරන්න, වෙන ගෙවල්වලින් හොරකම් කරන්න ඒත් බැරි නම්, කුඩු වෙළෙඳාම දක්වා යනවා. මේ නිසාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම අපරාධයක් විදිහටත් අපි ගන්නවා.

තරුණයෙක්, දරුවෙක්, වැඩිහිටියෙක් විස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න බලපාන විශේෂ හේතු මොනවද?

මේ ප්‍රශ්න ඇති වෙන්න විවිධ හේතු බලපානවා. අංක එක ඉගෙනීම මඟදි නතර වීම. අපි අධ්‍යයනයන්ගෙන් හොයාගෙන තියෙනවා මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න අයගෙන් 70% ක්ම අධ්‍යාපනය අතරමඟ නතර වුණු, හය හත ශ්‍රේණි දක්වා පමණක් ඉගෙන ගත්ත අඩු ආදායම් ලාභී දුප්පත් අය. ඉගෙනගත්ත ඉහළ තලවල මිනිස්සුත් ඉන්නවා. හැබැයි සීමිතයි.

ෙඊළඟ කරුණ අනාරක්ෂිත දරුවන්. බොහෝ පවුල්වල දැන් කාන්තා ගෘහමූලිකත්වය සමඟ මව දරුවො සමඟ ජීවිතේ ගැටගහගන්න නොසෑහෙන අරගලයක් කරනවා. ඔවුන් රැකියාවට යනවිට දරුවො බලාගන්න කෙනෙක් නැහැ වගේම ඔවුන් රැකගන්න හරියට බැරි වෙලා තියෙනවා. මේක සමාජ අර්බුධයේ කෑල්ලක්.

තුන්වැනි කාරණාව ගමක තිබ්බ එකමුතුකම, ආදරය, කරුණාව ගිලිහිලා ගිහින් තියෙනවා. එකිනෙකා කෙරෙහි තියෙන ආදරය, ආරක්ෂාව නැති වෙලා. ළමයි ක්‍රීඩා පිටියට, පුස්තකාලයට යන එන එක නතර වුණා. දරුවො එකම කණ්ඩායමක් විතරක් ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඒ නිසාම විවිධ දේවල් අත්හදා බැලුවා. ඔවුන් එතැනින් එහාට හිතන්න, දේවල් හොයාගත්තේ නැහැ. මේ වගේ හේතු එක්ක සීග්‍රයෙන් මේ විස මත්ද්‍රව්‍ය සමාජගත වෙලා තියෙනවා.

විස මත්ද්‍රව්‍යවලට තියෙන අබ්බැහිය පුනරුත්ථාපනය මඟින් නැවැත්විය හැකි ද?

ඔව්. අනිවාර්යයෙන්ම. මේ විස මත්ද්‍රව්‍යවලින් වන හානිය වළක්වන්න නම්, සැපයුම නැවැත්විය යුතුයි වගේම ඉල්ලුම නැවැත්විය යුතුයි. සැපයුම නැවැත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, පොලිසිය,රජය මැදිහත් වෙලා වැඩකටයුතු කරගෙන යනවා. මහ සමාජය වශයෙන් අපි ඉල්ලුම අඩු කිරීම සඳහා කටයුතු කළ යුතුයි. දැන් පුනරුත්ථාපන කාර්යාංශය හැටියට, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (NDDCB)ට මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ පුනරුත්ථාපනය සඳහා පනතින්ම සම්පූර්ණ අනුමැතිය හිමි වෙලා තියෙනවා. ඒ හරහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය පොලීසිය මඟින් උසාවියට භාර දීලා උසාවිය මඟින් මාස හයකට කන්දකාඩු යවනවා. කන්දකාඩුවල ක්‍රියාත්මක වන ක්‍රම දෙකක් තියෙනවා. එකක් කන්දකාඩු ආයතනයට අපි යවන්නේ 25-60 අතර අය. වවුනියාව මධ්‍යස්ථානයට අවුරුදු 18-25 ත් අතර අය යවනවා. මාස තුනක පුහුණුවක් හරහා ඔවුන් සාමාන්‍ය තත්ත්වයට ගත් පසු සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා වෘත්තීය පුහුණුවක් ලබා දෙනවා. මෑතකදී, වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් මඟින් සේනපුරින් පිටවන අයට තෝරගත්ත සුවිශේෂී පාඨමාලා දහයකට NVQ LEVEL 3 සහතිකය ලබා දෙන්න කටයුතු කරනවා.

රජය සමඟ පුනරුත්ථාපන කාර්යාංශය එක්ව ගෙනයන මේ අලුත් වැඩපිළිවෙළ ගැන තවදුරටත් විස්තර කළහොත්?

මෙතෙක් කාලයක් අපේ සමාජය තුළ විස මත්ද්‍රව්‍ය භාවිතය නිසා නීතියේ රැහැනට අසු වුණු අය පොලිසිය මඟින් උසාවි ඉදිරිපත් කරලා පුනරුත්ථාපනය කළේ. නමුත් සමාජය තුළ මේ විස මත්ද්‍රව්‍ය ගන්න අය වර්ග කිහියක්ම ඉන්නවා. තරුණ දරුවන්, රැකියාවක් කරන අය, නොකරන අය, ගෘහ මූලිකයන්. මේ වගේ කොටස් ගණනාවක් විවිධ ක්‍රම හරහා මේ විස මත්ද්‍රව්‍ය භාවිතය සිදු කරනවා. අන්න ඒ නිසා අපි මත්ද්‍රව්‍ය භාවිතය වළක්වන්නත් විවිධ ක්‍රම භාවිතා කළ යුතුයි. රහස්‍යභාවය ආරක්ෂා වන විදිහට පොලීසිය, උසාවි ගානේ ඉන්නැතුව අපිට අැවිත් පෞද්ගලිකවම කතා කරලා ඔවුන්ට භාරවෙන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් සේනපුර දැනටම මධ්‍යස්ථානයක් තියෙනවා.

යහපත් කායික, මානසික තත්ත්වයකට ගන්න වැඩසටහන් සමඟ කෑම බීම්, ව්‍යායාම, චිකිත්සා වර්ග, භාවනාව, යෝග වගේ උපදේශන සේවය අපි මෙතැන ක්‍රියාත්මක කරනවා. මේ සියල්ල ආණ්ඩුව මඟින් නොමිලේ සිදු කිරීම විශේෂත්වයක්.

මේ මාස තුන ඇතුළත සමාජ මනෝ විද්‍යාත්මක ක්‍රම හරහා ඔවුන්ට සහනදායි මනසක් ඇති කරලා සංස්කෘතික වටපිටාවක් සකස් කරලා ඔවුන් ඒ තත්ත්වයෙන් මුදා ගන්න අපි කටයුතු කරනවා. දැන් ඒ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙන්නේ. ඔවුන් මධ්‍යස්ථානයෙන් පිටවුණාට අපි අවුරුදු දෙකක් ඔවුන් පිළිබඳව පසු විපරමක ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ ගෙවල්වල අයත් උපදේශනයට ලක් කරනවා. කොහොමද තමන්ගේ දරුවා බලාගන්නේ, කොහොමද ඔවුන්ට නැවත ප්‍රකෘතිමත්ව සමාජය සමඟ සම්බන්ධ වෙන්න උදවු කරන්නේ කියන එක උපදේශනය හරහා අපි ඔවුන්ට ලබා දෙනවා.

ඒ වගේම මේ ක්‍රියාවලියට පහසුවක් වීම සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් සියලු උපදේශකයන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ප්‍රජා විශෝධක, අධිකරණ, මේ හැමතැනම ඉන්න උපදේශකයෝ අපි රැස් කරනවා. දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් උපදේශකයන් තුන්සියයක පිරිසක් අපි රැස් කරලා තියෙනවා. මේ මධ්‍යස්ථාන තවදුරටත් පුනරුත්ථාපන නමින් හැඳින්වෙන්නේ නැහැ. ආකල්ප සහ කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය කියන නමින් අපි මේ වැඩසටහන කරගෙන යනවා. ඕනම දරුවෙක්ට, වැඩිහිටියෙක්ට තමන් භාවිත කරන විස මත්ද්‍රව්‍යවලින් වළකින්න වුවමනාවක් දැනෙනවනම් දෙපාරක් නොහිතා පහත අංකවලට ඇමතුමක් ලබා දීලා භාර වෙන්න.

මේක සමස්ත සමාජ වගකීමක්.තනියම කාටවත් කරන්න බෑ. මම අම්මලා තත්තලට පණිවිඩයක් දෙන්න කැමතියි, අම්මලා දරුවන්ට සමීප පරිසරයක් ගොඩනඟා ගන්න. දරුවන්ට ළං වෙන්න. ඔබේ දරුවාගේ තනිකම, පාළුව ප්‍රයෝජනයට අරන් ඔවුන් ඩැහැගන්න එළියේ පිරිසක් බලන් ඉන්නවා. ඉතින්, ඔබේ වටිනා ජීවිතය සුරක්ෂිතව තියා ගන්න. ආදරය සමස්ත සමාජයටම වපුරන්න.

ඔබේ පුතා, දුව, සහෝදරයා, සහෝදරිය , අම්මා, තාත්තා, යහළුවා යෙහෙළිය කවුරු වුණත් විස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක්නම්, ඔවුන්ගේ ජීවිතය නැවත සුවපත් කරන්න අපට මෙම වැඩපිළවෙළ හරහා පුළුවන්.

එයාලගේ ජීවිතේ අනාගතය සුන්දර කරන එක අපේ යුතුකමක් වගේම වගකීමක්.

මත්ද්‍රව්‍ය නිසා සිරගත වූ ජීවිතයට තිත තබන්න. ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්න. කතාකරන්න.

0769627761

0112883891

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?