Monday, November 10, 2025
Epaper
Home සදහම් සෙවණපින්දහම් කරන අපිට ඇයි මෙච්චර කරදර

පින්දහම් කරන අපිට ඇයි මෙච්චර කරදර

by Sachintha Lakehouse

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී උඩුමලගල ආදිච්චවංස මූලික පිරි‍‍ෙවනේ පරිවේණාචාර්ය රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති, දර්ශනපති කොට්ටවගම ධම්මජෝති හිමි

 

“පින් දහම් කරන අපිට සිද්ධ වෙන්නේ කරදරමයි. නමුත් පව් කරන මිනිස්සු ඔය යස අගේට සැප විඳින්නේ” මෙම වැකිය ඔබට ඕනෑ තරම් ඇසී ඇත. ඊට හේතුව වන්නේ, මෙම අදහස දරන මිනිස්සු පින්කමක් කළ මොහොතේම එහි කුසල විපාකය තමාට ලැබිය යුතු බව සිතනවා.

නමුත් එය එසේ වෙන්නේ නැහැ. දිට්ඨධම්මවේදනීය වශයෙන් එකී පින්කම් තමාට විපාක නොදුන්නත් අනවරාග්‍ර වූ මෙම සසර ගමනේ උසස් ආත්මයන්හි උපත ලැබීමට හා සැප සම්පත් ලැබීමට පින උපකාර වෙනවා. පින්කම් සිදු කරනවා සේ ම ධර්මයෙහි හැසිරීමත් ඉතා වටිනවා. ඒ මන් ද?

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී – ධම්මො සුචිණ්ණො සුඛමාවඛාති

එසානිසංසො ධම්මේ සුචිණ්ණො — න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි”

(ධම්මපාල ජාතකය)

ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරනවා. මැනවින් පිළිපදින ලද ධර්මය ඒ පුද්ගලයාට සැප ගෙන දෙනවා . ධර්මයෙහි හැසිරෙන තැනැත්තා දුගතියට යන්නේ නැහැ.

ධර්මයෙහි ස්වභාවය ධර්මය අනුව ජීවත් වන්නා රැකගැනීම යි. එසේ රකිනු ලබන්නේ තමා තුළ පවත්නා ගුණධර්ම විසිනි. කුමන ආකාරයේ මාරක උපද්‍රව පැමිණිය ද ඒවා වළක්වාලීමේ ශක්තියක් ධර්මයට ඇත. ඒ බව පන්සිය පනස් ජාතක පොතේ සඳහන් මහා ධර්මපාල ජාතක කතාව තුළින් පැහැදිලි වේ.

පෙර දඹදිව බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන කල්හි කසී රට ධර්මපාල නම් බමුණු ගමක් විය. එහි ගම් ප්‍රධානියා ද “ධර්මපාල” නමින් ම හැඳින්විය. මෙකී ධර්මපාල පෙළපත පංච ශීල ප්‍රතිපදාවට මුල් තැනක් දී ක්‍රියා කළ අතර පරම්පරා කිහිපයක සිට ම මෙම ප්‍රතිපදාව නි‍ෙවසේ සේවක කාරකාදීහු පවා පිළිපදිනු ලැබූහ. මෙම කාලයේ දී බෝසතාණන් වහන්සේ එම ගම් ප්‍රධානියාට දාව උපන් බැවින් ඔහු ද ධර්මපාල නමින් ම හැඳින්වූවා.

නිසි වියට පත් වූ ධර්මපාල කුමරුට ශිල්ප ශාස්ත්‍ර ලබා දීම සඳහා තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමන් වෙත යොමු කළේ ය. ධර්මපාල කුමරු ද හොඳින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවේ ය. එකල පැවති වසංගත රෝගයක් නිසා දිසාපාමොක් ආචාර්යවරයාගේ වැඩිමහල් පුතණුවන් හදිසියේ මරණයට පත්විය.

මින් බලවත් සේ දුකට පත් වූ මවුපියෝ, ඥාතීහු හා ශිෂ්‍යයෝත් හඬා වැළපුණහ. නමුත් ධර්මපාල කුමරු පමණක් නිහඬව සිටියේ ය. ධර්මපාල කුමරුගේ මෙකී හැසිරීම දුටු අනිත් ශිෂ්‍යයෝ ඔහුගෙන් මේ පිළිබඳ විමසූහ. එවිට ධර්මපාල කුමරු පැවසුවේ අපගේ කුලයෙහි කිසිවෙකු අඩු වයසින් නොමැරෙන නිසා මෙය තමාට නුහුරු බවයි.

මේ බව දැනගත් දිසාපාමොක් ඇදුරුතුමා තම පුතණුවන්ගේ ආදාහන කටයුතු නිමවා මේ ගැන විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ තම පරපුරේ කිසිවෙකුත් අකාලයේ මිය නොයන බව යි. මේ පිළිබඳ ව පරීක්ෂාකොට බැලීම පිණිස දිසාපාමොක් ඇදුරුතුමා මැරුණු එළුවෙකුගේ ඇටකටු ටිකක් උරයක බහා යොදුන් සිය ගණනාවක් දුර ගෙවාගෙන ධර්මපාල කුමරුගේ මවුපියන් හමුවීමට ගියේ ය. ධර්මපාල කුමරුගේ මවුපියන් හමු වූ දිසාපාමොක් ඇදුරුතුමා ඇටකටු බහා ලූ උරය දී ඔවුන්ගේ පුත් ධර්මපාල මියගිය බව දැනුම් දුන්නේ ය. ඒ බව ඇසූ ධර්මපාල කුමරුගේ මවුපියෝ සිනා සී කිසි කලෙකත් තම පරපුරේ කිසිවෙකුත් නොකල්හි මරණයට පත්වීමක් අසා නැති බව පැවසූහ.

මින් තවත් පුදුමයට පත් දිසාපාමොක් ඇදුරුතුමා ඊට හේතුව විමසුවේ ය. එවිට ධර්මපාල කුමරුගේ පියා, දිසාපාමොක් ඇදුරුතුමාට අකල් මරණ සිදු නොවීමට හේතු මෙසේ දැක්වූවේ ය.

01 දස කුසල ධර්මයන්හි හැසිරීම

02 බොරු නොකීම.

03 පාපකර්මයන් සිදු නොකිරීම.

04 අනාර්ය වූ කර්ම දුරු කිරීම.

05 කාගෙත් හොඳ හිත දිනා ගැනීම පිණිස සත්පුරුෂයන්ගෙත් අසත්පුරුෂයන්ගෙත් ධර්මය අසා අසත්පුරුෂයන්ගේ ධර්මය පිළිනොපැදීම.

06 දන් දීමට පෙර, දන් දෙන අවස්ථාවේදී හා දන් දී අවසන් වූ පසු පසුතැවිලි නොවීම

07 ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගී, මගී, යාචකාදීන් ආහාර පානවලින් සතුටු කරවීම

08 පරපුරුෂ හා පරස්ත්‍රී සේවනය නොකිරීම

09 බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම

10 ප්‍රාණඝාතයෙන් වෙන්වීම

11 සොරකමින් වෙන්වීම

12 සුරාවෙන් වෙන්වීම

13 මුසාවාදයෙන් වෙන්වීම

14 පරම්පරාවේ සියල්ලෝ ම පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට කුසල කර්මයන් සිදු කිරීම.

15 දැසි දස් කම්කරු සියල්ලෝම පරලොව  ජීවිතය සාර්ථක කරගැනීමට කුසල කර්මයන් සිදු කිරීම.

මෙම හේතු පැවසූ ධර්මපාල කුමරුගේ පියා මෙසේ ද පැවසුවේ ය.

අපගේ පරපුරේ පුද්ගලයන් මෙකී ප්‍රතිපදාව අනුගමනය කරන හෙයින් අපගේ දරුවෝ ද උපතේ සිට ම මනා පැහැයෙන් යුතුව නීරෝගි ව කායික ශක්තියක් ඇති ව තියුණූ බුද්ධියක් සහිත ව උපත ලබති. වර්ෂා කාලයේ දී තමා අත ඇති කුඩය තමාට නොතෙමී සිටීමට උපකාර වන්නාක් මෙන් දැහැමි පුද්ගලයා ද ධර්මය විසින් ම ආරක්ෂා කරනු ලබයි. මෙම ඇටකටු මගේ පුතාගේ නොව මගේ පුතා සුවසේ වාසය කරනු නිසැකය යනුවෙනි.

තම පරපුරේ වැඩිහිටියන්ගේ ධාර්මික පැවැත්ම සෘජුවම දරුවන්ගේ පැවැත්මට බලපාන බව මෙම ජාතක කතාවෙන් පැහැදිලි වේ. එම නිසා ඔබත් දෙලොව ජීවිතය සාර්ථක කරගැනීමට හා දීර්ඝායු සම්පත් ඇති ව උත්පත්තිය ලබන්නට හේතු වන පංචශීලය මුල්කර ගත් මෙහි දැක්වෙන ප්‍රතිපත්ති මාලාව අනුගමනය කරන්න.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?