තරුණී එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා මැහුම්, ගෙතුම්, අත්කම් නිර්මාණ හා ළෙන්ගතු බැඳීමක් තිබෙන අයයි. මේ නෙත පිනවන සොඳුරු නිර්මාණවලින් නිවෙසට සැබෑම කලඑළියක් ලැබෙනවා. නමුත් අද අපි ඉදිරිපත් කරන්නේ අත්කම් නිර්මාණ කලාවට අලුත්, ඒ වගේම ස්වයං රැකියාවක් ලෙස ලාභ ලැබිය හැකි අත්කම් නිර්මාණයකි.
විසිතුරු රෙසින් නිර්මාණ කලාව කියන්නේ ඉතාම සුන්දර ක්ෂේත්‍රයක්. එබැවින් තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් මේ ගෙනෙන රෙසින් නිර්මාණ ඔබට කී ටැග්, මාල, සමරු ඵලක සඳහා යොදා ගත හැකියි. මෙවැනි ඉහළ වටිනාකමක් ඇති නිර්මාණයන් ඔබේ අත මිට ද සරු කර දේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
සිලිකන් මෝල්ඩ් එකක්
රෙසින් හා හාඩ්නර් (කෙමිකල් වර්ග 2ක්)
මනින කප් 2 (අංක සටහන් කර ඇති කප්)
පොප්සිකල් ස්ටිකස් (කලවම් කිරීමට)
මිශ්‍ර කිරීමට කප් දෙකක්
යොදා ගන්නා වියළි මල් හෝ වෙනත් ද්‍රව්‍ය (ගල් වර්ග, පබළු, සීකුවින්ස් වැනි ද්‍රව්‍ය)
නිර්මාණය කිරීම
පියවර 01
මනින කප් දෙකේ අංක සටහන් කර ඇත. එක් කප් එකක් රෙසින් සඳහාත් අනෙක හාඩ්නර් සඳහාත් තබාගන්න. මේ කෙමිකල් කප් දෙක 2:1 අනුපාතයට මැනගන්න. රෙසින් 2ට හාඩ්නර් 1 කොටසයි. (උදාහරණ රෙසින් 10ක් ගත්තොත් හාඩ්නර් 5ක් ගන්න.)
පියවර 02
මැනගත් කෙමිකල් දෙක, මිශ්‍ර කරන කප් එකට දමා විනාඩි 5ක් එකම අතකට මිශ්‍ර කරන්න. පසුව තව විනාඩි 5ක් පමණ පැත්තකින් තබන්න. (වායු බුබුළු ඉවත් වීමට)
පියවර 03
දැන් මේ මිශ්‍රණයට කැමැති පාටක් එක්කරන්න පුළුවන්. නැත්නම් සුදු පාටටම දාන්නත් පුළුවන්. කැමැති විදිහට මෝල්ඩ් එක භාගයක් පිරෙන්න දාගන්න ඕනේ. (උඩටම පුරවන්නේ නෑ.)
පියවර 04
පසුව ඔබ යොදා ගැනීමට කැමැති ද්‍රව්‍ය නිර්මාණාත්මක ලෙස එකතු කරන්න පුළුවන්. වියළි මල්, පබළු, සීකුවින්ස් වැනි ඕනෑම දෙයක්. මේ ද්‍රව්‍ය යොදා ගෙන පැය 4ක් පමණ තබන්න.
පියවර 05
පැය 4කට පසුව ඔබට පුළුවන් දෙවැනි ලේයර් එක යොදා ගන්න. මෝල්ඩ් එක පිරෙන ගානට දෙවැනි ලේයර් එක යොදා ගන්න.
පියවර 06
දෙවැනි ලේයර් එක යොදා ගෙන පැය අටකට විතර පසුව මෝල්ඩ් එකෙන් පරිස්සමට නිර්මාණය ඉවත් කරගන්න. මේ නිර්මාණය හොඳින් සවි වීමට පැය විසි හතරක් ගත වෙනවා.
එම නිසා ගලවා ගත් නිර්මාණය හොඳින් සවි වෙන්න තියන්න. දැන් ඔබට ලස්සන නිර්මාණයක් දැක ගන්න පුළුවන්.
ඔබට දැන් මේ නිර්මාණය මාලයකට හෝ කීටැග් එකකට සවි කරගන්න හැකියි. මෝල්ඩ් එකක් මිලදී ගන්න විට මේ දෙකටම යොදා ගන්න පුළුවන් විදිහට මිලදී ගන්න. මෝල්ඩ් විවිධ හැඩවලින් වෙෙළඳපොළේ තිබෙනවා. ඉතින් නිර්මාණශීලි කෙනෙක්ට මේ වගේ නිර්මාණයක් කරන්න ලොකු වෙලාවක් යන්නේ නෑ. ඔබත් උත්සාහ කර බලන්න. මනස සුවපත් කරන කලාවක්.
pix by- ශාන් රඹුක්වැල්ල
