Monday, October 27, 2025
Epaper
Home Beautyස්වාභාවික රෝස පැහැති තොල් සඟලක රහස

ස්වාභාවික රෝස පැහැති තොල් සඟලක රහස

-ලිප්ස්ටික් සමඟ නින්දට යෑම වැරැදි පුරුද්දක්

by Sachintha Lakehouse

ස්වාභාවිකව පෙනෙන රෝස පැහැති සහ මෘදු තොල් යුවතියකගේ පෙනුමට එකතු කරන්නේ අපූරු ආකර්ෂණයකි. සෞඛ්‍ය සම්පන්න සමක ලකුණක් වන මෙවන් තොල් සැබවින්ම ඔබේ රූපාලංකාරය ඉහළ නංවයි. කෙසේ වෙතත් අපේ කාර්යය බහුල දෛනික ජීවිතය, හිරු එළියට නිරාවරණය වීම, විජලනය සහ සමහර රළු රූපලාවණ්‍ය නිෂ්පාදන වැනි සාධක නිසා බොහෝ විට තොල් අවපැහැ වී වියළි හෝ වර්ණක සහිත පෙනුමක් ඇති විය හැකිය.

තොල්වල ස්වාභාවික දීප්තිය සහ මෘදු බව යළි ලබා ගැනීමට මිල අධික තොල් ආලේපන ප්‍රතිකාරවලට යොමු විය යුතු නැත. ඔබට නිවෙසේදීම අත්හදා බැලිය හැකි සරල ස්වාභාවික පිළියම් සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු තිබේ.

අඳුරු තොල් ඇතිවීමට හේතු

ඔබේ තොල්වල වර්ණය වෙනස් වීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයකි.

විජලනය, ශරීරයේ ජලය නොමැතිකම තොල් වියළි හා අඳුරු වීමට ප්‍රධාන හේතුවකි.

හිරු එළියට නිරාවරණය වීම හිරු එළියේ ඇති හානිකර පාරජම්බුල කිරණ තොල්වල වර්ණක ඇති කර අඳුරු කරයි.

දුම්පානය සහ මධ්‍යසාර තොල් පටක පැල්ලම් කිරීමට හා හානි කිරීමට හේතු වේ.

ලිප්ස්ටික් හා රසායනික නිෂ්පාදන අධික ලෙස භාවිත කිරීම, සමහර තොල් ආලේපනවල ඇති දැඩි රසායනික ද්‍රව්‍ය (Methylparben, Parben, Propylpareben)තොල්වල ස්වාභාවික වර්ණය දුර්වර්ණ කළ හැකිය.

දුර්වල ආහාර ද විටමින් සහ ඛනිජ ලවණ ඌනතා ද තොල්වල සෞඛ්‍යයට සෘජුවම බලපායි.

අඳුරු තොල්වලට ප්‍රතිකාර

රෝස සහ මෘදු තොල් ලබා ගැනීම සඳහා ඔබේ දින චර්යාවට එකතු කර ගත යුතු සරල පියවර කිහිපයක් අපි මෙවර ඔබට ඉදිරිපත් කරමු.

රෝස තොල් වියළි කළු පැහැ වන්නේ ප්‍රමාණවත් ලෙස තෙත සහිත නොවීමෙනි. එබැවින් දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8-10ක් පානය කිරීම අත්‍යවශ්‍ය වේ.

රාත්‍රී ප්‍රතිකාරය ලෙස නින්දට යාමට පෙර පොල්තෙල්, ආමන්ඩ් තෙල් හෝ ගිතෙල් වැනි ස්වාභාවික මොයිස්චරයිසර් තොල් මත ආලේප කරන්න. මෙය තෙතමනය රඳවාගෙන එක රැයකින් හානියට පත් තොල් පටක අලුත්වැඩියා කරයි.

ඔබේ තොල් නිතිපතා පිරිසුදු කරන්න (Exfoliate)

මැරුණු සම ගොඩගැසීම නිසා තොල් අඳුරු හා වියළි සහිත පෙනුමක් ගනී. සතියකට වරක් හෝ දෙවරක් මෘදු ලෙස තොල් ස්ක්‍රබ් කිරීමෙන් මෘදු බව යථා තත්ත්වයට පත් වී ස්වාභාවික වර්ණය වැඩි දියුණු වේ. එමෙන්ම, මෙය රුධිර සංසරණය වැඩි දියුණු කර තොල්වලට සෞඛ්‍ය සම්පන්න රෝස පැහැයක් ලබා දෙයි. පහත සඳහන් වනුයේ එවැනි ස්ක්‍රබ් කිහිපයකි.

සීනි ස්කබ්

තොල් ස්ක්‍රබ් (ඔබටම සකස් කරගත හැකි) සීනි ස්ක්‍රබ් මී පැණි හෝ ඔලිව් තෙල් බිංදු කිහිපයක් සමඟ සීනි තේ හැඳි 1ක් මිශ්‍ර කර විනාඩි 1-2ක් මෘදුව සම්භාහනය කරන්න.

කෝපි ස්ක්‍රබ්

කෝපි කුඩු පොල්තෙල් සමඟ මිශ්‍ර කර ස්වාභාවික තොල් ආලේපනයක් ලෙස භාවිත කරන්න.

තොල් සඳහා ස්වාභාවික පිළියම්

වර්ණක අඩු කර තොල් සැහැල්ලු කිරීමට සහ පුනර්ජීවනය කිරීමට උපකාරී වන ප්‍රබල ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරන්න.

බීට්රූට් (Beetroot)

බීට්රූට් යුෂ විනාඩි 15ක් තොල් මත ආලේප කර සෝදා හරින්න. එහි ස්වාභාවික රතු වර්ණකය මෘදු පැහැයක් ලබා දෙයි.

රෝස පෙති සහ කිරි

රෝස පෙති පොඩි කර කිරි සමඟ මිශ්‍ර කර සාදාගත් පේස්ට් එකක් ආලේප කිරීමෙන් තොල් පෝෂණය වී රෝස පැහැයක් එක් කරයි.

ලෙමන් සහ මී පැණි

ලෙමන් යුෂවල ඇති ස්වාභාවික විරංජක ගුණ තොල් සැහැල්ලු කරන අතර, මී පැණි තෙතමනය සපයයි.

කෝමාරිකා ජෙල්

වර්ණක අඩු කිරීමට සහ තොල් ගැඹුරින් සජලනය කිරීමට උපකාරී වේ.

දෙළුම් බීජ

දෙළුම් බීජ අඹරා, කිරි ක්‍රීම් සමඟ මිශ්‍ර කර ආලේප කිරීම ස්වාභාවික තොල් වර්ණය යථා තත්ත්වයට පත් කරයි.

පිපිඤ්ඤා මාස්ක්

පිපිඤ්ඤා පෙති අතුල්ලමින් තොල් මත තැබීමෙන් ඒවා සජලනය වී වර්ණය සැහැල්ලු වේ.

ස්ට්‍රෝබෙරි මාස්ක්

මී පැණි සමඟ ස්ට්‍රෝබෙරි මිශ්‍ර කර ආලේප කරන්න. මෙමඟින් තොල් ස්වාභාවිකව සැහැල්ලු වී නැවුම් පැහැයක් ලබා දෙයි.

කහ පේස්ට්

කිරි සමඟ කහ මිශ්‍ර කර සාදාගත් පේස්ට් එකක් ආලේප කිරීමෙන් වර්ණක අඩු කිරීමට උදවු වේ.

ඔබේ තොල් හිරු එළියෙන් ආරක්ෂා කරන්න.

සම මෙන්ම තොල් ද හිරු එළියට හානි වීමට ඉතා සංවේදීය. එළිමහනට යන විට සෑමවිටම SPF 50 සහිත තොල් බාම් (Lip Balm) එකක් භාවිත කරන්න. මෙය හිරු එළිය නිසා ඇතිවන සම පදම් වීම, වර්ණක වීම සහ වයසට යාම වළක්වයි.

සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කරන්න.

ස්වාභාවිකව රෝස පැහැති තොල් පවත්වා ගැනීම සඳහා මෙම සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත්ය.

සිගරට් නිකොටින් තොල්වල පැල්ලම් ඇති කරයි. දුම්පානය නැවැත්වීමෙන් කාලයත් සමඟ ස්වාභාවික වර්ණය යථා තත්ත්වයට පත් වේ.

තොල් ලෙවකෑමෙන් වළකින්න. කෙල තොල් වේගයෙන් වියළා ඒවා අඳුරු පැහැයක් ගනී.

කැෆේන් සහ මධ්‍යසාර සීමා කරන්න. මේවා අධික ලෙස ගැනීමෙන් විජලනය හා තොල් දුර්වර්ණ වීම සිදු වේ.

තොල්වලට හිතකර ආහාර වේලක් අනුභව කරන්න. විටමින් C, විටමින් E, යකඩ සහ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර (දොඩම්, බෙරි, කොළ පැහැති එළවළු, ඇට වර්ග) ඔබේ ආහාර වේලට නිතර ඇතුළත් කරන්න.

තොල් පිරිසුදුව තබා ගන්න. වේශ නිරූපණ අවශේෂ වර්ණක ඇති කළ හැකි බැවින් කිසි විටෙකත් ලිප්ස්ටික් සමඟ නින්දට නොයන්න. සෑම රාත්‍රියකම මෘදු සම්බාහනයක් හෝ ඔලිව් තෙල් භාවිතයෙන් ඔබේ තොල් පිරිසුදු කරන්න.

පෝෂණය සඳහා තොල් ආවරණ

සතියකට වරක් මෙම ස්වාභාවික ආවරණ භාවිතයෙන් ඔබේ තොල්වලට අමතර පෝෂණයක් ලබා දෙන්න.

තොල් ආලේපන භාවිතය නව යෞවනයේ පසුවන තරුණියන් සිදුකිරීම නොකළ යුතුය. මෘදු වූ ඔවුන්ගේ තොල් ඉතා සියුම් ලෙස පිහිටන බැවින් කුඩා කාලයේ පටන්ම මෙවැනි ආලේපන සඳහා යොමුවීම එතරම් සුදුසු නොවනු ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?