Monday, October 27, 2025
Epaper
Home HighlightsOnline Shopping පුංචි දෝෂයකින් පවා වරදින්න පුළුවන්

Online Shopping පුංචි දෝෂයකින් පවා වරදින්න පුළුවන්

by Thanushika

Online Shopping නැත්නම් මාර්ගගත ව්‍යාපාරික කටයුතු මෑත කාලයේ සමාජයේ කා අතරත් ඉතාම ජනප්‍රිය අංගයක් වී හමාරයි. විශේෂයෙන් කාර්යබහුල ජීවන රටාවක් තුළ සිර වී සිටින ගෘහිණිය සෑම දෙයක්ම සමබරව පවත්වා ගැනීමට අත්උදවුකාරයෙක් ලෙස අන්තර්ජාලය යොදාගනී. බොහෝ දෙනා සුන්දර ඇඳුම් ආයිත්තම් දුටුවිට හෝ වෙ‍ෙළඳ දැන්වීම් ඔස්සේ දකිනා වැඩ පහසුවෙන් කරන අයිතමයන් දුටුවිට නිරන්තරයෙන් මේ සඳහා පෙල‍ඹේ. නමුත් අප කවුරුත් විමසිලිමත් වියයුතු කාරණය නම් මෙලෙස භාණ්ඩ මිලදී ගන්නා අනෙක් පාර්ශ්වය නොපෙනෙනා හා 100% විශ්වාසවන්ත දැයි නොදැන සිටීමයි. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී මුළාවන්ට හසුනොවී සුරක්ෂිතව එම කටයුතු සිදු කිරීමට දැනුම්වත් විය යුතුය.

Online Shopping කිරීමේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්ව මොනවාද?

ඔබ යම්කිසි වෙබ් අඩවියකට ඇතුළු වී ගනුදෙනුව අවසන් වන තෙක් විවිධාකාර ගැටලුකාරී තත්ත්වයන්ට හසුවිය හැකියි. මූලිකවම දත්ත සොරකම් කිරීම්, ව්‍යාජ වෙබ් අඩවිවලට හසුවීම්, උපාංග, වයිරස් ආසාදනවලට හසුවීම්, මුදල් ගනුදෙනු වංචාවලට ලක්වීම් මෙන්ම භාණ්ඩ බෙදාහැරීමේ දී පවා ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීම් හඳුන්වන්න පුළුවන්.

දත්ත සොරකම් කිරීම්

මූලිකවම පාරිභෝගිකයාගේ වෙබ් බ්‍රවුසරය සහ වෙබ් සේවාදායකයාගේ ආරක්ෂාව පිළිබඳ වූ ශිල්ප ක්‍රමයන් සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතුයි. SSL කියන්නේ එවැනි ක්‍රමයක්. මෙය වෙබ් අඩවිවල ප්‍රමිති සහතිකයක්. මේ හරහා වයිරස් වැනි දෑ ඇතුළු වීම වළක්වනවා. ඔන්ලයින් ෂොපින් වෙබ් අඩවි හරහා ගනුදෙනු කිරීමේ දී පාරිභෝගිකයාගේ පෞද්ගලික තොරතුරු එනම් නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු කාඩ් අංකය යනාදී දත්ත ලබා දීමට සිදුවේ. මෙම දත්ත SSL (Secure Socket Layer) ඔස්සේ ආවරණය වී නොමැති නම් හැකර්වරුන්ට එම දත්ත සොරකම් කළ හැකියි. හේතුව අදාළ වෙබ් අඩවිය ප්‍රමිතියෙන් තොරවීම නිසා හැකර්වරුන්ට ඇතුළු විය හැකිවීමයි.

ව්‍යාජ වෙබ් අඩවි

හැකර්වරු සත්‍ය වෙබ් අඩවිවලට සමාන වූ ව්‍යාජ වෙබ් අඩවි සාදයි. පාරිභෝගිකයන් එවැනි වෙබ් අඩවිවලට දත්ත ඇතුළත් කළහොත් ඒ තොරතුරු ඍජුවම සොරකම් කළ හැකියි. උදාහරණයක් ලෙස Amazon.shop.com වැනි නමක් Amazon.com ලෙස පෙනී සිටිමින් පාරිභෝගිකයාව මුළා කිරීම.

මැල්වෙයා සහ ස්පයිවෙයා/ Malware, Spyware (වයිරස) ආසාදන

අනාරක්ෂිත වෙබ් අඩවිවලින් “discount coupon” (වට්ටම් කූපන) වැනි දෑ බාගත කිරීමට විධාන දෙන විට එය ඔබ විසින් අනුමත කළ පසු ඔත්තු බැලීම් සිදුකරන විනාශකාරී මෘදුකාංග උපාංගයට ඇතුළු කළ හැකියි. මෙම මෘදුකාංග ඔස්සේ මොවුන් පාරිභෝගිකයාගේ මුරපද ආදිය පටිගත කර යොදා ගනී. උදාහරණයක් ලෙස “free delivery tracking app” ලෙස පෙන්වන මෘදුකාංග බාගත කිරීමට පාරිභෝගිකයාට විධාන කිරීමෙන් එය තහවුරු කළ පසු පාරිභෝගිකයාගේ උපාංගවලට ඔත්තුසහගත වයිරස ඇතුළුකරවීම සිදු කරයි.

මුදල් ගනුදෙනු වංචා

Online ගෙවීම් ක්‍රියාවලිය අතරතුර විවිධ තාක්ෂණික ප්‍රහාර ක්‍රම ඔස්සේ හැකර්වරු ගනුදෙනු විකෘති කරනු ලබති. වංචාකරු email, SMS හෝ වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් යැවීමෙන් ඔබට බැංකු තොරතුරු login/credit card/OTP ඇතුළු තොරතුරු ඇතුළත් කරන්නැයි (හෝ link එකකින් “login” වීමට) පවසනු ඇත. ඉන්පසු link එක ව්‍යාජ වෙබ් පිටුවකට (spoofed site) හරවා ඇතුළත් කරයි. එමඟින් මුදල් වංචා කිරීම් සිදුකළ හැකියි. උදාහරණයක් ලෙස පොලීසිය සහ Sri Lanka CERT නිකුත් කළ ප්‍රකාශයකට අනුව 2025 ඔක්තෝබර් මුල් සතියේ Telegram/WhatsApp හරහා QR කේත හා ව්‍යාජ සබැඳි භාවිතයෙන් ගනුදෙනු වංචා ඉහළ යන බව තහවුරු කරගත්තේය.

ඔබට මෙවැනි පණිවිඩ පැමිණියහොත් පණිවිඩයේ ව්‍යාකරණ වැරදීම්/ නොදන්නා පණිවිඩකරුවෙක් වීම හෝ පණිවිඩය හදිසි ස්වභාවයක් ගනී නම් (උදාහරණයක් ලෙස “ඔබගේ Account block වීමට ඉඩ ඇත”) නම් සැක කරන්න.

නිෂ්පාදනයේදී හා බෙදා හැරීමේදී සිදුවිය හැකි ගැටලුකාරී තත්ත්ව

වෙබ් අඩවියකින් භාණ්ඩයක් මිලදී ගත් විට, භාණ්ඩය නොලැබීම හෝ ඒ වෙනුවට වෙනත් භාණ්ඩයක් ලැබීම මෙහිදී සිදුවන ප්‍රධානම දෙය වේ. මෙය සිදු වන්නේ සොෆ්ට්වෙයා ඔටෝමේෂන්/Software automation එසේත් නැත්නම් මෘදුකාංග ස්වයංක්‍රීයකරණය(එනම් මෘදුකාංග යොදා ගෙන ස්වයංක්‍රීයව පණිවිඩ යැවීම්/ නැවත නැවත එකම කාර්යය කරවීම) හෝ ව්‍යාජ අන්තර්ජාල පිටපත් භාවිතයෙන් විය හැකියි. එයට උදාහරණයක් ලෙස ෆේස්බුක් වෙ‍ෙළඳ දැන්වීමකින් ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් ෂූස් (Original Branded Shoes) ලෙස පෙනුණු භාණ්ඩය මිලදී ගත්විට ආකෘතියක් පමණක්(Duplicate) වීම.

තුන්වැනි පාර්ශ්වයක් සමඟ දත්ත හුවමාරුව

අනෙකුත් වෙබ් අඩවි හෝ වෙළෙඳ දැන්වීම් සමඟ පාරිභෝගිකයාගේ දත්ත බෙදා හැරීම අදාළ පෞද්ගලයාගේ පෞද්ගලිකත්වයට ඍජු අවදානමක්. කුකීස්(cookies) ලෙස අප වෙබ් අඩවියකට පිවිසීමේ දී අප ඉදිරියට එන කෙටි පණිවිඩය තහවුරු කිරීම වැනි ක්‍රියා මඟින් පරිශීලකයාගේ හැසිරීම් ඔවුන්ට විශ්ලේෂණය කර ගත හැකියි. ඒ පිළිබඳත් අවධානයෙන් සිටින්න.

පාරිභෝගිකයන්ව මනෝ විද්‍යාත්මකව හැසිරවීම

හැකර්වරු තාක්ෂණික ආකාරයකින් නොව මනෝ විද්‍යාත්මක අයුරින් පාරිභෝගිකයන්ට “Limited offer” (සීමිත දීමනා)/ “account suspended” (ගිණුම අත්හිටුවා ඇත) වැනි පණිවිඩ යවා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගනී. “Your order has a problem. Click here to verify your details” (ඔබේ ඇණවුමේ ගැටලුවක් ඇත. ඔබගේ විස්තර සත්‍යාපනය කිරීමට මෙය ක්ලික් කරන්න.) ආකාරයේ පණිවිඩ e-mail ඔස්සේ හෝ කෙටි පණිවිඩ හරහා පාරිභෝගිකයා වෙත එවීම.

අප විසින් භාණ්ඩ මිලදී ගන්නා වෙබ් අඩවිය සුරක්ෂිත දැයි තහවුරු කරගන්නේ කෙසේද?

Online shopping සිදු කරනවා නම් ඔබ අදාළ වෙබ් අඩවිය තුළ සුරක්ෂිත දැයි දැනගත හැකි පළමු ආකාරය නම් පාරිභෝගිකයා ලෙස ඔබ භාණ්ඩ මිලදී ගැනීමට පිවිසෙන වෙ‍ෙළඳසල මඟින් දෙපාර්ශ්වයේම පෞද්ගලිකත්වය, මුදල් ගනුදෙනු කරන ආකාරය වැනි අංග කෙරෙහි සිදුකරන සවිස්තරාත්මක තාක්ෂණික ක්‍රමවේද හා හැසිරීම් මාලාව තහවුරු කර ගැනීමයි. ඊට අමතරව විශේෂයෙන් පෙර ගනුදෙනු සිදු කළ පාරිභෝගිකයන් විසින් තැබූ සටහන්(Reviews) විමසීමෙන් ද අදාළ වෙ‍ෙළඳසැල පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිය. භාණ්ඩවල මිල ඉතා අඩුවීමත් වංචනික වෙළෙඳසලක ඇති ලක්ෂණයකි.

ආකාශා අමරසේකර

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පුලස්ති ගු ණවර්ධන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?