පවුලේ අයට කෑම හදනකොට වෙනස් රසයක් දෙන්නයි අපි හැමදාම උත්සාහ කරන්නේ. ඉතින් එහෙම රසයක් හොයන අයට රෙස්ටූරන්ට් එකක හැදුවා වගේ රසට තියෙන මේ මාංස ආහාර වට්ටෝරු හදලා බලන්න පුළුවන්. එය ඔබේ කෑම මේසයට ලොකු වෙනසක් එකතු කරාවි. මාංසමය ආහාරවලට කැමැත්තක් දක්වන ඔබටයි මේ රසවත් ආහාර වට්ටෝරු.
ඌරු මස් අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
ඌරු මස් ග්‍රෑම් 500 ක්
(අඟලේ පමණ කුඩා කැබලිවලට කපා ගන්න)
සිහින්ව අඹරාගත්
සුදුලූනූ තේ හැඳි 01ක්
සිහින්ව අඹරාගත්
ඉඟුරු තේ හැඳි 01ක්
කහ කුඩු ස්වල්පයක්
සීනි තේ හැඳි 2ක්
පොල් විනාකිරි කෝප්ප භාගයක්
ලුණු රස අනුව
එළවළු තෙල් මේස හැඳි 01ක්
පහේ මසාලය
පහේ මසාලය සඳහා…
කැබලි කඩාගත්
රතු මිරිස් කරල් 6-7ක්
කොත්තමල්ලි ඇට
මේස හැඳි එකක්
සූදුරු තේ හැඳි එකක්
මාදුරු තේ හැඳි එකක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
අබ ඇට තේ හැඳි එකක්
උළුහාල් තේ හැඳි එකක්
මේ සියල්ල තෙත හිඳෙන තුරු විනාඩි දෙකක් පමණ කබලේ බැද පසුව යන්තමට කෑලි හිටින සේ කොටාගන්න.
සාදන ක්‍රමය
මැටි භාජනයක් ළිපේ තබා එයට තෙල් දමා රත් කරගන්න. තෙල් රත් වෙද්දී ඉඟුරු, සුදුලූනු දමා විනාඩියක් පමණ සුවඳ එනතුරු බැදගන්න.
දැන් මෙයට සෝදා වතුර ඉවත් කර ගත් ඌරුමස් කැබලි ටික දමන්න. මෙයටම ලුණු ටිකක් ඉස වැඩි ගින්දරේ විනාඩි 5ක් පමණ බැදගන්න.
මස්වලින් ඉනූ වතුර සම්පූර්ණයෙන්ම සිඳී ගොස් මස් හොඳින් පිසුණු පසුව එයට කොටා ගත් පහේ මසාලය සහ කහ කුඩු ටික හොඳින් මිශ්‍ර කර මඳ ගින්දරේ විනාඩි 2-3ක් පිසින්න.
දැන් සීනි සහ විනාකිරි දමා හොඳින් මිශ්‍ර කරන්න. පියන වසා ළිපේ ගින්දර අඩු කර විනාඩි 5-6ක් මඳගින්නේ හැඳිගාමින් පිසින්න.
වතුර ගතිය සම්පූර්ණයෙන්ම නැතිවී තෙල් පෑදෙන තුරු මඳ ගින්නේ පිසින්න. ලුණු බලා මදිනම් දමන්න. හොඳින් පිසුණු පසුව ළිපෙන් බාගන්න.
මේ සඳහා ඌරු මස් ගන්නා විට තෙල් කැබලි ඉතා අඩුවෙන් ගන්න.
————–
බීෆ් මිශ්‍ර අල බොරේට

අවශ්‍ය ද්‍රව්‍ය
බීෆ් ග්‍රෑම් 250ක්
අල ගෙඩි 02ක්
මිරිස් කුඩු තේ හැඳි 02ක්
තුනපහ ස්වල්පයක්
කහ ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
බැදපු තුනපහ තේ හැන්දක්
රස අනුව ලුණු
සූදුරු තේ හැඳි 1 1 /2ක්
එනසාල් 3ක්
කරාබු නැටි 3ක්
කුරුඳු පොතු කෑල්ලක්
සුදුලූනු බික් 4ක්
ඉඟුරු කෑල්ලක්
තක්කාලි ගෙඩියක්
රම්පෙ කරපිංචා
ලූනු ගෙඩි 1/2ක්
අමුමිරිස් කරල් දෙකක්
උකු පොල්කිරි මේස හැඳි 5ක්
කළුකුඩු තේ ස්වල්පයක්
සාදන ක්‍රමය
මුලින්ම වංගෙඩියට සුදුලූනූ, ඉඟුරු, සූදුරු, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු මේ සියල්ලම දමා හොඳට පොඩියටම කොටා ගන්න. පසුව භාජනයක් ළිප තබා එයට පොල්තෙල් ටිකක් දමා එයට රම්පෙ කරපිංචා, ලූනූ, අමුමිරිස් දමා එයටම අර කොටා ගත්ත ටිකත් දමා විනාඩියක් විතර කලවම් කර ගන්න. පසුව සියලුම තුනපහ වර්ග ටික දමා, තක්කාලි ගෙඩියද දමා හොඳින් පිස ගන්න.
පසුව මස් ටික දමා හොඳින් කලවම් කර පියනකින් වසා විනාඩි 5ක් පමණ පිස ගන්න. නැවත පියනෙන් වසා මස් එකට උනන වතුරෙන්, මඳ ගින්දරේ විනාඩි 10ක් පමණ පිස ගන්න. ඉන්පසු එයට වතුර කෝප්ප 1 1/2ක් පමණ දමා කපාගත් අල ටික එකතු කර පැය භාගයක් පමණ උයා ගන්න. ඉන්පසු කළුකුඩු දමා කලවම් කර, පොල්කිරි ටිකද දමා හොඳින් කලවම් කර විනාඩි 10කට පමණ පසු ළිප නිවන්න.
——————
බීෆ් බිස්ටේක්

අවශ්‍ය අමුද්‍රව්‍ය
හරක් මස් ග්‍රෑම් 300යි
ලොකු ලුනූ ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
මාළු මිරිස් කරල් කිහිපයක්
තළා ගත් ඉඟුරු, සුදුලූනූ මේස හැඳි එකක්
එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු
අමු මිරිස්
කරපිංචා ඉත්තක්
විනාකිරි මේස හැඳි 01ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 02ක් (රස අනුව ගන්න)
කහ කුඩු ස්වල්පයක්
පොල්තෙල්
රස අනුව ලුණු
සාදන ක්‍රමය
මුලින්ම මස් ටික හීනි පෙති විදිහට කපාගන්න. භාජනය ළිප තබා රත් වූ පසු එයට තළා ගත්ත ඉඟුරු, සුදුලුනූ සහ එනසාල්, කරාබුනැටි, කුරුඳු පොතු, අමු මිරිස්, කරපිංචා ටික දාගෙන හොඳට තෙම්පරාදු කරගන්න.
මේවා සුවඳ එන ගානට තෙම්පරාදු වුණාට පස්සේ මස් ටික එකතු කරලා එයට රස අනුව ගම්මිරිස්, ලුණු, කහ සහ විනාකිරි ටික එකතු කරගන්න. එයත් ටික වෙලාවක් තෙම්පරාදු කරගන්න. එයින් උනන වතුරවලින්ම තැම්බෙන්න දෙන්න. කැමැතිනම් තව වතුර ස්වල්පයක් විතර එකතු කරගෙන පියනෙන් වහලා මඳ ගින්දරේ විනාඩි තිහක් හතළිහක් මේ මස් ටික තම්බාගන්න.
පියන අැර ඉස්ම ගතිය අඩු නම් තව වතුර ස්වල්පයක් එකතු කර නැවත ටික වෙලාවක් කලවම් කරගන්න. අවසානයට රවුම් හැඩයට කපා ගත් ලොකු ලූනු, මාළු මිරිස් සහ තක්කාලි මේයට එකතු කරගෙන රස අනුව ලුණුත් එකතු කර ටික වෙලාවක් හොඳට කලවම් කරගන්න. දැන් ළිප නිවා භාජනයේ තියෙන රස්නෙන්ම ටිකක් තැම්බෙන්න හරින්න.
——————-
කේරළ ස්ටයිල් එකට මට්න්
අවශ්‍ය අමුද්‍රව්‍ය
එළු මස් ග්‍රෑම් 500ක්
කහකුඩු ස්වල්පයක්
කාශ්මීර් චිලී පවුඩර් තේ හැඳි 01ක්
ගරම් මසාලා තේ හැඳි 01ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 01ක්
සුදුලූනු, ඉඟුරු පේස්ට්
තේ හැඳි 01ක්
විනාකිරි තේ හැඳි 01ක්
රස අනුව ලුණු
සියල්ල දමා අනා පැයක් මැරිනේට් වෙන්න තියන්න.
තෙල් මේස හැඳි 2ක්
ලූනු ගෙඩි 2 ක්
තක්කාලි ගෙඩි 1ක්
ඉඟුරු, සුදුලූනු පේස්ට් තේ හැඳි 2 ක්
කරපිංචා ඉති 3ක්
අමුමිරිස් කරලක්
කහ ස්වල්පයක්
කාශ්මීර් චිලි පවුඩර් තේ හැඳි 01ක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 1/2ක්
මාදුරු කුඩු ස්වල්පයක්
ගරම් මසාලා ස්වල්පයක්
සාදන ක්‍රමය
වතුර කෝප්ප කාලක් දමා මැරිනේට් කළ මස් ටික මඳ ගින්දරේ තැම්බෙන්න තියන්න. විනාඩි 10 කින් විතර පියන ඇරල මස් ටික බාගෙට වගේ තැම්බිලා නම් ගින්දර වැඩි කර වතුර ඔක්කොම හිඳෙන්න දෙන්න.
දැන් මස් ටික අයින් කර ඒකටම තෙල් දාලා රත් වෙනකොට කපපු ලූනු දාලා හොඳින් රන්වන් පාට වනතුරු බැදගන්න.
කරපිංචා, අමුමිරිස් සහ ඉඟුරු සුදුලූනු පේස්ට් එක දැන් එකතු කරන්න. බැදී සුවඳ හමන විට කහ ටික දමා කවලම් කරන්න. ඊට පස්සෙ සියලුම පහේ වර්ග එකතු කර කවලම් කරමින් රන්වන් පාට වනතුරු අඩු ගින්දරේ විනාඩි 2ක් විතර බැදගන්න.
තක්කාලි කුඩාවට කපා එයත් එකතු කර හොඳින් කළු පාටට බැදෙන්න තියන්න. විනාඩි 3-4 ක්.
දැන් මස් ටික එකතු කරලා කවලම් කරමින් විනාඩි 30-40 ක් උයාගන්න හොඳින් කළු පාටට වෙනකම් සැරින් සැරේ කවලම් කරන්න. මස් එක හොඳ කළු පාටට එද්දි ගින්දර අඩු කරන්න. ඉන්පසු ළිප නිවා, මස් එකට උඩින් තෙල් හැන්දක් වගේ දමා කවලම් කරන්න. එවිට වියළි ගතිය ඉවත් වී ලස්සන පාටක් එනවා.
—————–
පෝක් ස්ටූ
අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි කොටු කපා ගත් ඌරු මස්
ඉඟුරු – සුදුලූනු පේස්ට් එක
විනාකිරි ස්වල්පයක්
රවුමට කපාගත් ලූනු
කහ
ගම්මිරිස් කුඩු
අමු තුනපහ
අමුමිරිස්
කරපිංචා
එනසාල් සහ කරාබුනැටි
කුරුඳු කෑල්ලක්
ලුණු
සාදා ගන්නා ආකාරය
මස්වලට ලුණු සහ විනාකිරි ටිකක් එක්කර විනාඩි 10 විතර තියන්න.
මැටි භාජනයකට තෙල් ටිකක් රත් වෙන්න තියා, එයට මස් එක්කරන්න.
හොඳින් මිශ්‍ර කරමින් රන්වන් පාට වනතුරු උයා ගන්න.
ඉන්පසු ඉඟුරු සුදුලූනු පේස්ට්, අමුමිරිස්, ලූනු, කරපිංචා, එනසාල්, කරාබුනැටි, කුරුඳු එක්කරන්න.
ලූනු බැදෙන විට එයට ගම්මිරිස්, තුනපහ සහ ලුණු රස අනුව එක් කරන්න.
—————–
හරක් පීකුදු වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
පීකුදු ග්‍රෑම් 500ක්
ලූනූ ග්‍රෑම් 100ක්
සුදුලූනු බික් 2ක්
අමු තුනපහ කුඩු මේසහැඳි 1ක්
අමු ඉඟුරු පෙති 2ක්
සියඹලා මේසහැඳි 1ක්
බැදපු තුනපහ කුඩු මේසහැඳි 1ක්
බැදපු මිරිස් මේසහැඳි 1ක්
ලියාගත් අමු මිරිස් කරල් 2ක්
පොල් කිරි කෝප්ප 1ක්
කහ කුඩු තේහැඳි 1/4ක්
රම්පේ
කරපිංචා
ලුණු
සාදන ක්‍රමය
පීකුදු තුනීයට පෙති කපා භාජනයකට දමන්න. එයට ලූනූ, සුදුලූනු, අමු තුනපහ කුඩු, අමු ඉඟුරු, සියඹලා, බැදපු තුනපහ කුඩු, බැදපු මිරිස් කුඩු, ලියාගත් අමු මිරිස්, කහ කුඩු, රම්පෙ සහ කරපිංචා එකතු කරන්න. එයටම වතුර කෝප්පයක් වත්කර ළිප තබන්න. මඳ ගින්නේ තම්බා ඉස්ම සිඳීගිය විට පොල් කිරි එකතු කරගන්න. තැම්බෙන්නට තබා රස අනූව ලුණු එකතු කර ළිප නිවන්න.
