සිනමාව සිය එකසිය තිස් වසක නිල ඉතිහාසය පුරාම හැදී වැඩී ලොව වටා සැරිසරන්නට වූයේ පැවැත්ම හා ප්‍රගතිය පිළිබඳ නා නා විධ අර්බුද කාලානුරූපව ද, සැලසුම්සහගතව ද, නොවැළැක්විය හැකි අයුරින් ද පැන නැඟුණු පසුබිමකය.
අන් ඇසි දිසි මං වෙතින් සේම වසංගත, ආදී ගැටුම් වෙතින් ද, වෙනස්වන ජන ආකල්ප ආදිය වෙතින් ද මෙබඳු අර්බුද බොහෝමයක නිමවුම්කරුවන් හඳුනා ගැනීම අපහසු නොවේ. කෙසේ නමුදු සිනමාව තවදුරටත් ලොව වඩාත් බලසම්පන්න මාධ්‍ය හෝ මාධ්‍යයක් සේ නිරුපද්‍රිතව පවතින වග කිසිවිටෙකත් සැඟවිය නොහැක්කකි. මෙයින් උද්ධරණය කෙරෙන්නේ සිනමාව යනු රසික ජනයාගේ දිවි සැරිය පොහොසත් කරන හා රසවත් කරලන සුවිශේෂ මඟක්ය යන්නය.
සිරිලක සිනමාව හා සිරිලක සිනමා කලාපය ද සිය පැවැත්ම හා ප්‍රගතිය මුල් කර ගත් අර්බුද හමුවේ ආතුර වූ අවස්ථා ගණනාවකි. මෙහිලා ඉදිරිපත් වූ විසඳුම් වරෙක ලිඛිත සටහන් නොඉක්මවූ වග කිව යුතුය. ඇතැම් සාධනීය විසඳුම් දිගුකාලීනව රැගෙන ආවේ යහපත් ප්‍රතිඵලයි. පසුගාමී විසඳුම් විසින් ජනිත කළ අභිනව අර්බුද අලළා කෙරුණු විමසුම් මෙතැනදී සිහිපත් වන්නේ නිරායාසයෙනි.
මෙහිලා සැලකිලිමත් වනුයේ වත්මන් සිරිලක සිනමාව වෙතින් දත හැකි නව්‍ය පිවිසුම් සමහරක් කෙරෙහිය. මේවා නොඅනුමානවම වත්මන් සිරිලක සිනමාවේ පැවැත්ම හා ප්‍රගතිය සුරකිනු හා වඩවනු පිණිස වරෙක තීරණාත්මක අයුරින් ද, තවත් වරෙක අවස්ථාවෝචිතව ද මැදහත් වන අන්දම නිරවුල්ව පෙනී යයි. වසර කිහිපයක් තිස්සේ පටන්ම උත්සන්න වූ පැවැත්ම හා ප්‍රගතිය පිළිබඳ අර්බුද පරදවාලන්නටත්, මඟ හරවාගන්නටත් මෙයින් ලැබෙන පිටිවහල අපමණ බව පැහැදිලිය.
මෙතැනදී නොපමාවම ආසක්ත කර ගත යුතු කරුණක් වනුයේ සිනමාපට නිපැයුම හා තිරගත කිරීම අතර පවත්නා ඒකාකාර නොවන ලකුණයි. ලොව වඩා දියුණු හා වැඩුණු සිනමා කලාප වෙතින් පවා මෙම ඒකාකාර නොවන ලකුණ සක්‍රිය වන අන්දම දැක ගත හැකියි. එනමුදු මේ සිරිලක සිනමාවේ උපන්ගෙයි දොසක් තරමටම බලවත් වන්නක් වන වග වෙසෙසින් කිව යුතු නොවේ.
මේ අනුව පෙනී යන්නේ වත්මන් සිරිලක සිනමා ප්‍රබෝධය පසුපස මෙකරුණ ද පවතින බවය. අවැසි නම් අගතිගාමී මනසකින් මෙදෙස බැලීමේ ඉඩක් ද පවතී. එනම්; සිනමාපට නිපැයුම හා තිරගත වීම සිදුවන ආකාරය විසින්ම මෙම උත්කර්ෂවත් පෙළ ගැසීම නිර්මාණය කරනු ලැබ තිබෙන්නේය යන්නය.සිනමාපට නිපැයුමේදී කවර පසුබිමක තිරගත කළ යුතුද යන්න සම්බන්ධයෙන් පුරෝකථනයකට ඇති අවකාශය අතිශයින්ම සීමිතය. ඇතැම් සිනමා නිපැයුම්කරුවන් අනුක්‍රමයෙන් ලැබෙන තිරගත කිරීමේ අවස්ථා බැහැර කරන වග ද නොරහසකි. වෙසෙසින්ම මේ අපේක්ෂිත ආදායම් කෙරෙහි සැලකිලිමත් වෙමිනි. ඇතැම් නවතම සිනමාපට අතරට වසර කිහිපයකට පෙරාතුව නිපැයුණු සිනමාපට පැමිණෙන්නේ මෙබඳු හේතු නිසාය.
සිරිලක සිනමාවේ වත්මන් සමය පවසන මේ නව්‍ය ප්‍රබෝධය හුදෙක් මේ වසරට පමණක් ලඝු කරලීම සුදුසු නොවේ. සැබැවින්ම ගෙවුණු වසර දක්වාම මෙය රැගෙන යාම වැදගත්ය. ගෙවුණු වසරේදී මුල් වරට තිරගත සිනමාපට දෙක තුනක්ම නිහඬවම හා යම් සන් කිරීම් සහිතව ඉඟි කළේ ඉදිරි කාල වකවානුවේදී ඉහළ රසික සහභාගීත්වයකින් යුතු සිනමාපට කිහිපයක් හෝ තිරගත වන්නට ඉඩ ඇති බවයි. නිදසුන් කිහිපයක් වනුයේ ‘මන්දාරා’, ‘විසල් ආදරේ’, ‘සිංහබාහු’ යන සිනමාපටයි. මේ එකිනෙකට වෙනස් සිනමාපට වන්නේය යන්න නොසලකා හැරිය යුතු නොවන්නකි. එසේම රසිකයා වෙත ඉහළ ප්‍රමිතියකින් යුතු ආස්වාදයක් සැපයීම පිණිස මේවායේ නිර්මාපක පාර්ශ්ව වෙහෙස වූ අන්දම ද පෙනේ.මෙතන සිනමාව කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක අයුරින් භාවිතයට එළඹුණු සිනමාපට එපමණ දත නොහැකි වීම සම්බන්ධයෙන් විද්වත් රසික සුළුතරය කනස්සල්ල පළ කරන්නේ පූර්ව දැනුම් දීම් ආදියෙන් තොරවය. නිදසුන් අතරට ‘දූස්රා’ , ‘මින්නු’ යන සිනමාපට එක් කරලීමට පුළුවන.
මෙහිලා සලකා බැලෙන වත්මන් සිරිලක සිනමා ප්‍රබෝධය අතරතුර ද මෙවැනි තතු පවතින බව සඳහන් කළ යුතුය. මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ හා ප්‍රදීප් ධර්මදාසගේ ‘අයිස් ක්‍රීම්’ නිදසුන් ද්විත්වයකි. මෙතැනට ඉක්මනින් පැමිණෙන තවත් සිනමාපටයක් වනුයේ චත්‍ර වීරමන්ගේ ’ආයු’ ය. ‘ආයු’බඳු සිනමාපටයකට ඉහළ රසික සහභාගීත්වයක් නොලැබීම මේ ප්‍රබෝධයේ ගුණගරුක බව තරමක් දුරට හෝ පහත හෙළීමකි. මන්ද ‘ආයු’ කෙසේවත් පහළ ප්‍රමිතියක් හා එකඟ නොවන සිනමාපටයක් සේ නම් කළ හැකි නිසාවෙනි.
මේ වසරේ ගෙවුණු සමය තුළ අනපේක්ෂිත අන්දමින් ඉහළ රසික සහභාගීත්වයක් සපුරා ගත් සිනමාපට එකිනෙකට වෙනස් ලකුණු ආදියෙන් සමන්විත වීම වෙසෙසින් කිව යුත්තක් වේ.
අශෝක හඳගමගේ ‘රාණි’ දේශපාලනික අන්තර්ගතයකින් හා දේශපාලනික කියැවීමකින් යුතු සිනමාපටයකි. ප්‍රබල හා මතකයෙන් ගිලිහී නොයන චරිත නිරූපණයට ආ ප්‍රවීණ හා නවක පිරිස් සිනමාපටයේ ඒකමිතිය සුරකිනු වස් කළ සත්කාරයද අගනේය. වසර විසි ගණනකට පෙර සැබැවින්ම සිදුවූ දෑ සමුච්චයක් විෂය කර ගැනීමේදී මතුවන අභියෝග මැනවින් ජය ගන්නට සිනමාකරු සමත්වීමද රසික විශ්වසනීයත්වය තහවුරු කිරීමකි. මේ අරබයා වූ විවිධ කියැවීම් සිරිලක සමාජයේ තවමත් පවතින බව වටහා ගන්නා නිසාම උපකල්පන හා විකල්ප ව්‍යවච්ඡේදන සහිතව සිනමාපටය නිම කිරීමට සිනමාකරු වෙර දරා තිබේ. සිරිලක දේශපාලනය කෙරෙහි උනන්දු වන හැම තරාතිරමකම අයවලුනට සිනමාපටය ගෝචර වීම දෙස සිනමාකරු විවෘතව බැලීම වැදගත්ය. මෙනිසා සිදුවනුයේ සිනමාව නොතකන, බැහැර කරන විද්වත් වෘත්තිකයන් පවා සිනමා රසිකාගාරය වෙත සපැමිණීමයි. නිසැකවම සිදුවූයේ සුපුරුදු සිනමා රසිකයන් පරයා මෙම නව සිනමා රසික පිරිස් සිය බලය සහතික කර ගැනුමට උත්සුක වීමය.
අනතුරුව තිරගත ‘නෙළුම් කුළුණ’ හා ‘වාලම්පුරි’ යන සිනමාපට ලද අසීමිත රසික සහභාගීත්වය පසුපසද ‘රාණි’ අත්දැකීම් පවතින අයුරු පෙනේ. කෙසේ නමුදු ඉලන්ගෝ රාම්ගේ ‘නෙළුම් කුළුණ’ දේශපාලනික සිනමාපටයක් සේ හඳුන්වා නොදීමට පරිස්සම් විය යුතුය. මෙහි අපූර්වත්වය වනුයේ අනපේක්ෂිත මොහොතකදී ප්‍රකට වන සුලබ මිනිස් සබඳතා සතු සංකීර්ණ පෙළ ගැසීම් සිනමානුරූපීව සනිටුහන් කිරීමයි. අවැසි නම් සුලබ හාස්‍ය අපේක්ෂිත රසිකයනටද ‘නෙළුම් කුළුණ ‘ විඳ ගැනීමේ හැකියාව ලැබේ.
ලක්මාල් ධර්මරත්නගේ ‘වාලම්පුරි’ වාසනාව හා ඒ පසුපස පැමිණීමට ඉඩ ඇති අවාසනාව සිදුවීම් හා චරිත බහුල වෘත්තාන්තයක් ඔස්සේ පවසන, සුලබ ආකර්ෂණීය ලකුණු මනාව ගළපාගත් සිනමාපටයක් ලෙසිනුයි දත හැක්කේ. සිනමාකරු මෙතැනට ත්‍රාසය හා කුතුහලය මුසු කරලන්නේ අතිශයෝක්ති ආදියෙන් තොරවය. රසාලිප්ත සිනමා මෙහෙයුම් සවිබල ගන්වන මෙවැනි පිළිවෙත් ගැඹුරු කියැවීමකට රැගෙන ඒමේ අසීරුතාව ලක්මාල් ජය ගන්නේ සිරිලක සිනමා අනාගතය පිළිබඳ සුබවාදී හැඟීමක් සහිතවයි.
සුලබ රසාලිප්ත සිනමාවට චමත්කාරයක් රැගෙන ආ ‘රිදම් ඔෆ් ද ගිටාර් – ක්ලැරන්ස්’ වරකට වඩා නැරඹීමේ කැමැත්ත සැණෙකින් මෝදු කරවන සිනමාපටයක් දේ හඳුන්වා දීම යුක්තිසහගතය. 1960 හා 1970 දශකය කරා රසිකයා කැඳවා ගෙන යන සිනමාකරු තේජා ඉද්දමල්ගොඩ සිරිලක සුපතළ පොප් සංගීත කණ්ඩායම් පිළිබඳ රසබර මතකය අවදි කරන්නේ අද දවසේදීත් අන් අයුරින් ගැයෙන එසමයේ නිර්මිත ගී රැසක් සමඟිනි. අතීත සංගීත නිර්මාණ හා ගීත සතු මධුර මනෝහර බව හා වෙසෙන වැඩිහිටි පිරිස තුරුණු පිරිස් සමඟම සිනමාශාලා කරා පැමිණ මේ හා එක්වූයේ මහත්වූ ප්‍රමෝදයකිනි. මොවුහු සුපුරුදු සිනමා රසිකයෝම නොවෙති. සිනමාපටය මේ සියලු ආකාරයේ රසික කණ්ඩායම් සමඟ සාර්ථක සිනමා ශාලා ගමනක නිරත වූයේ එබඳු තවත් සිනමාපට නිර්මාණය වීමේ වුවමනාව සහතික කරලන අතරතුරය. මනෝ වීරසේකර මේ දිනවල මෙහෙයවන ලතා වල්පොල ගායනවේදිනියගේ දිවි සැරිය නිරූපිත සිනමාපටයද රසික ආදරය නොමඳව දිනා ගනු ඇතැයි සිතේ.
සිය පළමු සිනමාපට ද්විත්වයේදීම ඉහළ රසික සහභාගීත්වයක් සහතික කර ගත් වාසව බදුගේ මෙසමයේ රැගෙන ආ ‘නීරා’ ද තුරුණු සිනමා රසික ප්‍රතිචාර මනාව ලබා ගනිමින් තිරගත වන වග දත හැකිය.
මේ දිනවල තිරගත වන තිසර ඉඹුලානගේ ‘මෝඩ තරිඳු’ මෙන්ම අරුණ ජයවර්ධනගේ ‘මාරියා’ හා ධර්ම යුද්ධය 2’, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’, සමීර නාඔටුන්නගේ ‘වයිෆ්’ හා ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ ‘සූරිය සුළඟ’ යන සිනමාපටද ඉහළ රසික සහභාගීත්වයක් සපුරා ගන්නේ යැයි සිතේ.
උදයකාන්ත වර්ණසූරිය මේ දිනවල රූ ගත කරන ‘මේඝ වර්ෂා’ ද ඔහුගේ සෙසු සිනමාපට බොහොමයක් මෙන් සිනමා රසිකාගාරය පොහොසත් කරන්නට ඉඩ තිබේ.
මේ අතර සිරිලක කලාත්මක හා සම්භාවනීය සිනමා නැඹුරුව පොහොසත් කළ වඩා පළපුරුදු හා ප්‍රවීණ සිනමාකරුවන් ද සිය නවතම සිනමාපට සූදානම් කරන අයුරු පෙනෙන්නට තිබේ. මොවුන’තරින් ජයන්ත චන්ද්‍රසිරිගේ ‘රිටිගල ජයසේන නොහොත් සැඟවුණු නගරය’ සිනමාපටය තවත් අපූර්ව අත්දැකීමක් සපයනු ඇති බවට විශ්වාසය පළ කළ හැකිය. ප්‍රසන්න විතානගේ ද සිය නවතම සිනමාපටයේ වැඩකටයුතු අරඹන වග කියැවේ. සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය මේ දිනවල රූ ගත කෙරෙයි. සිනමා රසිකාගාරය පොහොසත් කරලීමේ අරමුණු මෙහිලා මුල් කර ගන්නා බව නොඅනුමානය.
මේ හැම සිනමාපටයක්ම ප්‍රමාණවත් රසික සහභාගීත්වයක් හෝ වාර්තා කරලීම සිරිලක සිනමාවේ උන්නතිය අපේක්ෂා කරන සියලු දෙනාගේම පැතුමයි. වසා දැමුණු ඇතැම් සිනමාශාලා නව තාක්ෂණික පහසුකම් සහිතව යළි විවෘත වන සමයක මේ පැතුම යථාවත් වීමට ඇත්තේ පුළුල් ඉඩකි. එසේම අලුතෙන්ම විවෘත වන සිනමාශාලා පිළිබඳ පුවත්ද අසන්නට ලැබේ. මේ බොහෝ සිනමාශාලා දිනකට දර්ශන වාර සතරක් හෝ පහක් පවත්වන්නේ විවිධත්වයක් සහිතවය. එනම් එක් සිනමාපටයක දර්ශන වාර එකක් හෝ දෙකක් සමඟිනි. ඉහළ ආදායම් ඉපයීමට සමත් වන නිසා මෙයින් සැලකිය යුතු සිනමාශාලා සංඛ්‍යාවක් පියවර ගන්නේ සිරිලක සිනමාපටම තිරගත කරන්නටය. වත්මන් සිරිලක සිනමා ප්‍රබෝධය මෙතැනින් ද විද්‍යමාන වේ.
