හෙළ ගී රැජින ලතා වල්පොලගේ 91 වැනි ජන්ම දිනයට සුබ පතන්න ඔබත් එන්න නොවැම්බර් 7 වැනිදාට මියුසියස් ශ්රවණාගාරයට
රතු ගුරු පාරේ සැන්ඳෑවේ
අක්ක නගෝ වාගේ
අතිනත පටලා
යමු අපි දෙදෙනා
පුංචි දුවේ මාගේ
මහලු වියේ
මා තනිවන දවසේ
වාරු නොමැති පා ඔසවන්නේ
තනි නොතනිය මැද
දුවේ උඹයි මට
එදාට මවු වන්නේ
ගීතයෙන් පැවසෙන ඒ උත්තරීතර මවු සෙනෙහස අද යථාර්ථයක් බවට පත් වී ඇත. එදා ධම්මිකාට මව වූ ලතා වල්පොලට අද ධම්මිකා මව වී ඇත
ලතා වල්පොල – ධම්මිකා වල්පොල. මවු සෙනෙහස වෙනුවෙන් ගැයුණු රතු ගුරු පාරේ ගීතයෙහි හිමිකාරියන් දෙදෙනායි.
දිනක් කොළඹ බිෂොප් ශබ්දාගාරයට ලතා වල්පොලගේ සුළැඟිල්ලේ දැවටී එන ධම්මිකා දෙස ඕනෑකමින් බලා සිටි ප්‍රවීණ ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් කොළයක් සහ පෑනක් ගෙන යමක් සටහන් කරනු පෙනුණි.
“මෙන්න මම අම්මටයි දුවටයි ලස්සන සින්දුවක් ලිව්වා.“
“මම සින්දුවට ලස්සන මෙලඩි එකක් දැම්මා. දැන් දෙන්නත් එක්ක කියන්නකො.“
ප්‍රේමකිර්තිගේ පදවැලට අපුරු සංගීතයක් එක් කළ ඒ හඬ ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි පීරිස් පීරිස් ගෙනි.
දරු සෙනෙහස, මවු සෙනෙහස උතුරා ගිය මේ ගීතය බිහි වුණේ එලෙසිනි.
එදා ලතාගේ සුළැඟිල්ලේ එල්ලී ගිය ධම්මි. අද ධම්මිගේ වාරුවෙන් එහෙ මෙහෙ යන ලතා. එදා දුවට මවක වූ ලතාට අද මවට දුවක මිස වෙන කවරෙක්ද යන්න ධම්මි ඔප්පු කළාය. කවුද මේ ධම්මි…. ඇය ජනප්‍රිය ගායිකා ධම්මිකා බණ්ඩාරය. එනම් අප ගීත කේකිලාව වූ ලතා වල්පොලගේ එකම දියණියය.
ලතා වල්පොල පසුගියදා රෝහල්ගත වී නිවෙසට පැමිණි මොහොතේ සතුටු
කඳුළු පිරි දෙනෙතින් එහි සිටි හෙදියන්ට කියා ඇත්තේ රතු ගුරු පාරේ ගීතය අද සැබෑවක් වී ඇති බවයි.
ධම්මිකා වල්පොලගේ ගායන ජීවිතයේ ඇරඹුම ද මවුපිය උපහාර ගීතයකි. ඇය
හා පුරා කියා සසර පුරා ලොව්තුරා මගේ ඉටු දෙවියන් ලෙස ගුවන්විදුලියට මෙම
ගීතය ගයන විට ඇයගේ වයස අවුරුදු පහකි. ඇය මෙම ගීතය ගැයුවේ ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල සමඟය. පසුව දම්මි සිල්වර් ලයින් රෙකෝඩ් බාර් සඳහා ලතා වල්පොල සමඟ බඹර කුමරියන් ගීතය ගයන විට ඇයට වයස අවුරුදු හයකි.
කලා ශූරී ලතා වල්පොල මේ නොවැම්බර් මස 11 වැනි දින සිය ජීවන ගමනේ අනූ
එක් වැනි සැතපුම් කණුවට පා තබන්නීය. ඇයට උපහාර පිණිස “පෙම් රාජ්‍යයේ” නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට මහින් ද බණ්ඩාර ධම්මිකා බණ්ඩාර ප්රමුඛ ඔවුන්ගේ පුත් තිසර බණ්ඩාර සහ ක්‍රිස්ටිනා බණ්ඩාර, සූදානම් වී ඇත. එය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 7 වැනි දින මියුසියස්
විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ සවස 6.30 ය. මහින්ද බණ්ඩාර සංගීතය මෙහෙයවන පෙම් රාජ්‍යයේ ප්‍රසංගයේ දී ලතාගේ මුණුපුරා තිසර බණ්ඩාර, ඔහුගේ බිරිය ක්‍රිස්ටිනා බණ්ඩාර සහ දියණිය ධම්මිකා වල්පොල එදිනට ගී ගයනු ඇත. අම්මගේ උපන් දිනයට අම්මට සප්‍රයිස් එකක් කරන්නට මේ ප්‍රසංගය පවත්වන්නේ. දෙයියන්ගේ පිහිටෙන් අම්මා අසනීප නොවී හිටියොත් ඇති ධම්මිකා පැවසුවේ එවැන්නකි.
පසුගිය දවස්වල අම්මා අසනීප වෙලා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගත්ත. ICU එකේ දින කිහිපයක්ම ප්‍රතිකාර ලැබුවා. මම අම්මව හැමදාම මලක් වගේ බලා ගන්නවා. පොඩ්ඩක් අසනීපයක් වුණත් වහාම රෝහල් ගත කරනවා. අම්මට පුළුවන් හැම සත්කාරයක්ම මමයි, මහින්දයි උපරිමයෙන් කරනවා.
අම්ම නීරෝගිව සිටිනවා නම් එය තමයි අපේ සතුට. ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල නම් වූ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගායන ශිල්පී යුවළගේ දියණිය වීම මා ලද විශාල භාග්‍යයක්. අද මට ඉන්නේ අම්මා විතරයි. ඒ වටිනා වස්තුව ආදරයෙන් මම රැකගන්න ඕනා. මගේ මහත්තයා
මහින්ද බණ්ඩාර මගේ අයියලා වන සුනෙත්, අමිත් අයියලා සහ චමින්ද මල්ලි ඇතුළු අපේ මුළු පරම්පරාවම අම්මට දේවත්වයෙන් සලකනවා. ඔවුන් නිතරම අම්මගේ දුක සැප බලනවා. ඒක අම්මට ලොකු සතුටක්. මගේ අම්මා වාසනාවන්ත ගායිකාවක්. තාත්තා සමඟ යුග ගීත ගැයුවා. සුනෙත් අයියා, අමිත් අයියා, චමින්ද මල්ලි මම සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟ ගීත ගැයුවා. සුනෙත් අයියගේ දරුවන්, අමිත් අයියාගේ දියණිය, මගේ දරුවන් මේ සියලුම මුනුපුරු මිනිබිරියන් සමඟ එකම වේදිකාවේ ගී ගැයූ ලංකාවේ සිටින එකම ගායිකාව මගේ අම්මා.
මගේ පුතාලා දෙන්නට දරුවන් ඉන්නවා. ඒ අය ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මගේ මුනුපුරා අම්මගේ මී මුනුපුරාට අවුරුදු නමයයි. අම්මා එයත් එක්කත් යුග ගී ගයනවා. අම්මා ලංකාවෙ ඉඳන් අම්මගේ කොටස ගයද්දි, මුනුපුරා ඔස්ට්‍රේලියාවෙ ඉඳන් තාත්තගේ කොටස ගයනවා. මී මුනුපුරන් සමඟත් ගී ගැයීමේ වාසනාව මගේ අම්මට හිමිවුණා. ඇත්තටම ඇය භාග්‍යවන්තියක්. මේ තරම් කාලයක් අම්මව නීරෝගිව තබන්න වෛද්‍යවරුන් කොතරම් වෙහෙස වුණාද කිව්වොත්, වෛද්‍යවරු අම්මට සැලකන්නේ ඔවුන්ගේ මවට සලකන ආකාරයටයි. ඩොක්ටර් සංජීවනි, ඩොක්ටර් වීරරත්න ඩොක්ටර් ජගත් මේ අයගේ අධීක්ෂණය යටතේ තමයි අම්මගේ සෞඛ්‍ය රැකෙන්නේ පොඩි කැස්සක් ආවත් ඩොක්ටර් ඇවිල්ල බලලා ප්‍රතිකාර කරනවා.
වෙලාවකට අම්මා මට කියනවා ධම්මි ඔයා කරදර වෙන්න එපා. මම මැරුණම අන්දවන ඇඳුම් සේරම මගේ අතින්ම මහලා අල්මාරිය දාලා තියෙන්නේ? කියලා. එහෙම කියද්දි මගේ හිත කීරි ගැහිලා දරන්න බැරි වේදනාවක් දැනෙනවා. අපේ අම්මට හොඳට ඇඳුම් මහන්නට පුළුවන්. පුංචි කාලෙ ඉඳලම ඇඳුම් මහපු කෙනෙක්. මගේ ඇඳුම් විතරක් නෙමෙයි අම්මගේ ඇඳුම්, සාරි හැට්ට, ගවුම් සියලුම දේ මැහුවේ අම්මගේ දෑතින්. පුංචි කාලේ මට ලස්සන ඇඳුම් මහලා හැඩ බලපු අම්මා පහුගිය කාලේ පුරාමත් මට ඇඳුම් මහලා අසීමිත සතුටක් ලැබුවා. එයාට මාව තාම එයාගේ පුංචි දුවයි.
අම්මට රසට කෑම උයන්නත් පුළුවන්. හදිස්සියේවත් මම ගෙදර නැති වෙලාවට අම්මා
තමයි කෑම උයන්නේ. බත් මාළු පමණක් නොවේ, රස කැවිලි, කට්ලට් පැටිස් වර්ග
හොඳට හදන්න පුළුවන්. මගේ අම්මා කතෝලික. ආගමට දහමට ලැදි
කෙනෙක්. අම්මාගේ හඬින් වැඩිපුරම ගැයුණු ගීතය “නමෝ මරියනී” ගීතිකාව. එය අම්මට ලැබුණු ලොකුම ආශීර්වාදය කියලා මට නිතරම දැනෙනවා. හැම
ඉරිදාකම අම්මා මරදානේ
පැටිමා පල්ලියට යනවා, පූජාව අහන්න. අසනීප වෙන තුරු එය නොකඩවා සිදු කෙරුණා. කාමරයේ ආගමික පින්තූරවලින් පිරිලා. දිනපතා අම්ම යාඥා කරනවා. අම්මා කාටවත් බණින්නේ නැති.. කාගෙවත් හිත රිදවන්නෙ නැති හොඳ කෙනෙක්. කවුරු අම්මට වරද කළත් අම්ම එයාට සමාව දෙනවා. ඒක තමයි අම්මගේ තියෙන වටිනාම ගුණය. ඒ නිසා වෙන්නට ඇති අම්මට දෙවියෝ ආශීර්වාද කරන්නේ.
භාරතයේ ලතා මංගේෂ්කාර් වෙනුවෙන් මේ වනතෙක් චිත්‍රපටයක් නිර්මාණය නොවුණත් අම්මා වෙනුවෙන් චිත්‍රපටයක් මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා.
අම්මා ආසාවෙන් ඉන්නේ ඒ චිත්‍රපටය නරඹන්නට.
ඇත්තටම අම්මා හරිම වාසනාවන්තයි.
මහලු වයසේ මගේ අම්මව රැක බලා ගන්නට ලැබීම මා ලද භාග්‍යයක්. මේ වටිනා වස්තුව මම මලක් වගේ රැක බලා ගන්නවා. මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්නට කියන එක මගේ එකම ප්‍රාර්ථනයයි.
හෙළ ගී කෝකිලාවිය… අපට ආත්මයෙන් ගී ගායන ලතා වල්පොලගේ එකම දියණිය ධම්මිකා බණ්ඩාර මෙන්ම සියලුම දූ පුතුන් මිනිබිරි මුනුපුරන් මේ සියලු දෙනාගේ එකම ප්‍රාර්ථනාව සිය මව… මිත්තණිය චිරාත් කලක් වැජඹෙනු දැකීමය.
සියක් ආයු ලැබ – මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!
ඇගේ ගීතවලට ආදරය කරන සුවහසක් ගීත ලෝලීන්ගේ ද එකම පැතුම එයයි.
