වාර්තා බිඳ දමමින්, අභියෝග ජය ගනිමින් ශ්‍රී ලංකාවේ කාන්තා මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය උදා වී තිබේ.
ක්‍රීඩා පිටියේ සිදුවන ජයග්‍රහණයන් හුදෙක් පදක්කම් හෝ වාර්තා ලේඛනගත කිරීමක් පමණක්ම නොවේ. ඒවා සමස්ත ජාතියක අභිමානය, නොසැලෙන අධිෂ්ඨානය සහ සාමූහික කැපවීම ලොවට ප්‍රදර්ශනය කරන සංකේතයන්ය. පසුගියදා ඉන්දියාවේ රාන්චි නුවරදී නිමාවට පත්වූ සිවුවැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය (SAAF Senior Athletics Championships) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්විය යුත්තේ අපේ ක්‍රීඩිකාවන් විසින් මලල ක්‍රීඩා පිටියේ පෙන්වූ දස්කම් නිසාය.
මෙම ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින් රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ඇතුළුව පදක්කම් 40ක් දිනා ගත්තේය. මෙම දස්කම පිටුපස සිටි ශක්තිමත්ම පදනම වූයේ අපේ කාන්තා ක්‍රීඩිකාවන් පිරිසයි. ඔවුන් විසින් නව තරග වාර්තා හතරක් පිහිටුවා කෙටි දුර දිවීම, හෙල්ල විසි කිරීම සහ තුන් පිම්ම වැනි ඉසව්වල දකුණු ආසියානු ආධිපත්‍යය යළිත් තහවුරු කරන ලදි.
වේග රැජනගේ වික්‍රමය මෙම තරගාවලියේදී වැඩිම අවධානය දිනාගත් තරුණ කාන්තා ක්‍රීඩිකාවක් වූයේ සෆියා යාමික්. ඇය තරගාවලිය පුරාම සිය වේගයෙන් ප්‍රතිවාදීන් අභිබවා ගොස් රටට රන් පදක්කම් කීපයක් දායාද කළාය.
ෆාතිමා මීටර් 100 ඉසව්වේ සිට මීටර්100 x 4 සහාය දිවීම දක්වා වූ සියලුම කෙටි දුර ඉසව්වලදී කැපී පෙනෙන දස්කම් දැක්වූවාය.
ඇය විසින් ලබාගත් මීටර් 100 රන් පදක්කම සහ නව වාර්තාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඇය මීටර් 100 ඉසව්ව තත්පර 11.53ක කාලයකින් නිම කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවා රන් පදක්කම දිනා ගත්තාය. මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට අපේම රටේ ක්‍රීඩිකාවක් වූ අමාෂා ද සිල්වා සමත් වීම කෙටි දුර ධාවනයේ දී ශ්‍රී ලංකාවේ පූර්ණ බලය ලොවට කියාපෑමක් විය.
සෆියා යාමික් විසින් මීටර් 200 රන් පදක්කම සහ අතීත වාර්තාවක් බිඳලීම ඇයගේ ක්‍රීඩා දිවියේ තවත් සන්ධිස්ථානයක් විය. සෆියා යාමික් මීටර් 200 ඉසව්ව තත්පර 23.58ක වාර්තාගත කාලයකින් නිම කරමින් දෙවැනි රන් පදක්කම දිනා ගත්තාය. වාර්තා අනුව මෙම දස්කම ඉන්දීය දැවැන්තම ක්‍රීඩිකාව වන වන පී. ටී. ඌෂා විසින් වසර 27කට පෙර පිහිටුවා තිබූ තරගාවලි වාර්තාවක් බිඳ දැමීමක් ලෙස සැලකේ. මෙය දකුණු ආසියාතික මලල ක්‍රීඩා ඉතිහාසයේ ලාංකික කාන්තාවකගේ බලය සනිටුහන් කිරීමකි.
මෙම තරගාවලියේ තවත් කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වූයේ මීටර් 100x 4 සහය දිවිමේ තරගයයි. එම තරගය ඇයගේ සගයන් සමඟ එක්ව තත්පර 44.70 කින් ජය ගනිමින් ඇය සිය තෙවැනි රන් පදක්කම හිමි කරගත්තාය.
මලල ක්‍රීඩා පිටියේ තරුණ ක්‍රීඩිකාවක් වන සෆියා යාමික් වැනි ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව ස්ථාවරත්වය සහ කැපවීම තුළින් ඉදිරියේ දී ආසියාතික මෙන්ම ලෝක මට්ටමේ තරගවලදී ද දස්කම් දැක්වීමට ඇති හැකියාව මෙම ජයග්‍රහණවලින් තහවුරු වේ.
පිටිය ඉසව්වේ ශක්තිමත් කාන්තා නියෝජනය
වේගය මෙන්ම ශක්තිය අවශ්‍ය වන පිටිය ඉසව්වලදී ද ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රීඩිකාවෝ සුවිශේෂී දස්කම් දැක්වූහ. හෙල්ල විසි කිරීමේ වාර්තාව දිල්හානි ලේකම්ගේ
ජාතික මට්ටමේ සිය අත්දැකීම් සහ දක්ෂතා මෙවර දකුණු ආසියානු පිටියේදී ප්‍රදර්ශනය කළාය. ඇය හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 60.14 ක දුරක් විසි කරමින් රන් පදක්කම දිනා ගත්තේ එය නව තරගාවලි වාර්තාවක් ලෙස සනිටුහන් කරමිනි. ඇය විසින් මෙහිදී බිඳ දමන ලද්දේ ද වසර 17ක් පැරණි තරගාවලි වාර්තාවකි. ඔලිම්පික් වරම් පවා ලබා ඇති දිල්හානි ලේකම්ගේ වැනි ක්‍රීඩිකාවන්ගේ දස්කම් ශ්‍රී ලංකා කාන්තා මලල ක්‍රීඩිකාවන්ට ගෞරවයක් හා ආදර්ශයකි.
තුන් පිම්ම සහ දුර පැනීමේ විස්මය මධුෂානි හේරත් යනු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතය සනිටුහන් කරන තවත් තරුණ තරුවකි. ඇය තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.26ක දුරක් පනිමින් නව තරග වාර්තාවක් පිහිටුවා රන් පදක්කම දිනා ගත්තාය. එපමණක් නොව ඇය පසුව පැවති කාන්තා දුර පැනීමේ ඉසව්ව ද මීටර් 6.23 ක දක්ෂතාවක් දක්වමින් ජයග්‍රහණය කර තවත් රන් පදක්කමක් රටට ගෙන ආවාය. පිටිය ඉසව් දෙකක දී මෙවැනි විශිෂ්ට දස්කම් පෙන්වීම ඇයගේ හැකියාව විදහා දක්වයි.
කඩුලු සහ දුර දිවීමේ නොසැලෙන ධෛර්යය
ක්‍රීඩාවේ අසීරුම ඉසව් අතරට ගැනෙන කඩුලු පැන දිවීම සහ දුර දිවීමේදී ද අපේ කාන්තා සවිය කැපී පෙනිණි. මීටර් 400 කඩුලු පැන දිවීම දසුනි කෞශල්‍යා හිමි කරගත්තාය. මෙම ඉසව්ව තත්පර 58.66ක වාර්තාගත කාලයකින් නිම කරමින් රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි. මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය අරලියා සත්සරණි විසින් දිනා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකාව විසින් පළමු සහ දෙවැනි ජයග්‍රහණ වාර්තා කරන ලදි.
මැරතන් තරගවලට සමාන වන මීටර් 10,000 ඉසව්ව රසරා විජේසූරිය විසින් මිනිත්තු 34:39.95ක කාලයකින් ජය ගැනීම අතිශය දුෂ්කර වුවත් ඇයගේ නොසැලෙන කැපවීමෙන් යුතුව මෙම තරගය ද ජය ගැනීමට සමත් වූවා. මෙය ද නව තරගාවලි වාර්තාවක් ලෙස සටහන් විය. මීටර් 100×4 සහාය දිවීම නදීෂා රාමනායක සහ සයුරි මෙන්ඩිස් වැනි පළපුරුදු මලල ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කාන්තා මීටර් 400×4 කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීම ශ්‍රී ලංකාවට සමස්ත ලකුණු සටහනේ ඉහළට ඒමට විශාල ශක්තියක් විය.
කාන්තා පරපුරට ලැබෙන ආදර්ශය මෙම ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් විසින් ලබා ගන්නා ලද සමස්ත ජයග්‍රහණ රටේ ක්‍රීඩා අමාත්‍යාංශය, පුහුණුකරුවන් සහ ක්‍රීඩා සමාජ විසින් ඔවුන් වෙනුවෙන් කළ දිරි ගැන්වීම සහ දායකත්වය ධනාත්මක ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය හුදෙක් රාජ්‍ය හෝ ක්‍රීඩා අංශයේ ජයග්‍රහණයක් පමණක්ම නොවේ.
දැවැන්ත අභියෝග බොහෝ විට ග්‍රාමීය පසුබිම්වලින් පැමිණෙන මෙම කාන්තා ක්‍රීඩිකාවන් ප්‍රමාණවත් පෝෂණය, හොඳම පුහුණු පහසුකම් නොමැතිවීම සහ පවුල් ජීවිතයේ ගැටලු ඇතුළු දැවැන්ත අභියෝග රැසක් ජය ගනිමින් ජාත්‍යන්තරය නියෝජනය කරයි.
අනාගතය පිළිබඳ බලාපොරොත්තුව ඔවුන් ලද සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ තරුණ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල ආදර්ශයකි. උත්සාහය කැපවීම සහ දක්ෂතා තුළින් ඕනෑම කෙනකුට ඉහළටම නැඟිය හැකි බවට ඔවුන් සාක්ෂි සපයයි.
ජාතික වගකීම
දැන් අපට ඇති වගකීම වන්නේ මෙම ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් තවදුරටත් වර්ධනය කර ගැනීමටත් ඉදිරියේ එන ආසියානු ක්‍රීඩා උලෙළ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ වැනි ඉසව් සඳහා සුදුසු පුහුණුවක් සහ අනුග්‍රහයක් ලබා දීමටත් කටයුතු කිරීමයි.
දකුණු ආසියානු ක්‍රීඩා පිටියේ වේගවත්ම ශක්තිමත්ම සහ දක්ෂතම ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවෙන් බිහිවීම කාන්තා පරපුරට මෙන්ම මුළු මහත් ජාතියටම ලැබෙන විශාලතම ගෞරවයකි. මෙම රන් තාරකා අනාගතයේ දී ද ලක් මවට තවත් රන් ගෙන ඒමට සමත් වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
