වෛද්‍ය හරිඳු විජේසිංහ (MBBS, MD, MRCP) රූමැටොලොජි සහ පුනරුත්ථාපන පිළිබඳ උපදේශක ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ
සන්ධි රෝග යනු ලොව පුරා මිලියන ගණනක් ජනතාව පීඩාවට පත් කරන, එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරීත්වය සීමා කරන බරපතළ සෞඛ්‍ය ගැටලුවකි. වර්තමානයේ මිනිසුන් බොහෝමයක් වයසට යන්නේ කකුල් දෙකෙන් කියන මාතෘකාවලට අදාළවයි. මූණ, කට, දත සෑමදෙයක්ම නීරෝගිව තිබුණද ඇවිදීමට නොහැකි වී බොහෝ මිනිසුන් එක්තැන් වී ඇත. එයට හේතුව දණිස් අමාරුව, ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් ආදී සන්ධි ආශ්‍රිත රෝගාබාධයි. මේ තත්ත්වය මිනිසුන්ගේ ස්වාධීනත්වය, මානසික සුවය සහ ජීවිතයේ ගු ණාත්මකභාවයට කරන බලපෑම සුළුපටු නොවේ. ඒ නිසාම අපි සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ මහතා සමඟ මෙලෙස කතා කළා.
මේ සන්ධි ආශ්‍රිත රෝගයක් කියන්නේ?
සන්ධියක් කියන්නේ ඇඟේ අස්ථි දෙකක් හමුවෙන ස්ථානයයි. අපේ ශරීරයේ අස්ථි දෙසිය ගාණක් පමණ තියෙනවා. අස්ථිවලින් අපිට ඍජු ඉරියව් ලබා දෙනවා. ඒ වගේම අපේ ඇතුළත ඉන්ද්‍රිය ආරක්ෂා කර දෙනවා. නමුත් අපිට අස්ථි තිබූ පමණින් චලනය වීමට බෑ. ඒ සඳහා හැම අස්ථියක් අතරම සන්ධියක් පිහිටුවනවා.
උදාහරණයක් විදිහට දණඉස් සන්ධියේ උඩින් තියෙන අස්ථිය Femureයට තියෙනවා Tibia. ඉස්සරහින් දණිස් පොල් කට්ට තියෙනවා. මේ අස්ථි තුන අතර ව්‍යූහය සන්ධියක් කියලා කියනවා. එතැනදි සන්ධිය තුළ කාටිලේජ පිහිටනවා. කාටිලේජ තමයි ගොඩක්ම වැදගත්. මේ මඟින් සන්ධිය චලනය වීමේ හැකියාව ලබා දෙනවා. ඒ වගේම සන්ධිය ස්ථාවර කරන්න තන්තු තියෙනවා. සන්ධිය ක්‍රියාත්මක කරන්න මාංසපේශී පද්ධතියක් තියෙනවා. ඉතින් සන්ධි ආශ්‍රිත රෝගයක් කියන්නෙ සන්ධියක් තුළ ඇති අස්ථියක අමාරුවක්, කාටිලේජවල හානියක්, තන්තුවක් ඇදීමක් හෝ මොනයම් ආකාරයේ සන්ධිවලට එන්න පුළුවන් ආබාධයි.
බහුලව දක්නට ලැබෙන සන්ධි රෝග වර්ග මොනවාද ?
අපිට බහුලව දක්නට ලැබෙන්නේ කාටිලේජවලට හානි වීම හෙවත් ඔස්ටියෝ ආතරයිටිස්. දණඉසේ කාටිලේජ ගෙවුණම අපි කියනවා දණිස්සෙ ඔස්ටියෝ ආතරයිටිස් කියලා. පඩිපෙළක් නඟින කොට, ඇවිදිනකොට වේදනාව දැනෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් වැඩි වුණාම දණඉසේ වතුර වගේ ඇවිත් ඇදවෙන්න ගන්නවා.
ඊළඟට අපි ගොඩක් දකිනවා, අස්ථි වටේට තියෙන කණ්ඩරා හා තන්තු ඇදෙනවා. උදාහරණයක් විදිහට උරහිසේ තියෙන මාංසපේශී තන්තු ඇදුණම තමයි අත උඩට උස්සන කොට රිදෙන්නේ. විළුඹෙ යටිපතුල්වල තන්තු ඇදුණු විට, උදේට නැඟිටලා අඩි දෙක තුනක් යන්න බෑ… තන්තුව රිදෙනවා. ඒවා එන්නේ කණ්ඩරා ඇදීම්වලින්.
ඒ වගේම අස්ථිවල කැල්සියම් අඩුවෙලා ඔස්ටියෝපොරොසිස් රෝගය හැදෙනවා. ඇඟේ තිබෙන සුදු සෛල ක්‍රියාකාරිත්වය වැඩිවෙලා ආසාදනයන් හැදෙනවා. අපි මෑතකදී දකිනවා චිකුන්ගුන්යා කියන රෝගය. ඇඟට වයිරස් ආවම ඇඟේ ආසාදනයන් වැඩිවෙලා සන්ධි විනාශ කරනවා. ඒ වගේම රුමටයිට් ආතරයිටිස් වගේ රෝග ගණනාවක් සන්ධි ආශ්‍රිතව ඇතිවෙනවා.
ඉරියව් කොහොමද සන්ධි ආශ්‍රිත රෝග සඳහා බලපාන්නෙ?
ඔව්. ඉරියව් බොහොම වැදගත්. කාටිලේජ ගෙවීම් හා තන්තු අැදීම තමයි බහුලව දකින්නේ. නිවැරදි ඉරියව්වකින් වාඩිවුණා කියන්නේ කනයි, උරහිසයි, උකුළයි එක රේඛාවෙ තියාගන්න ඕනි. අපි කුදු වෙලා වගේ හිටියොත් කොන්දේ තියෙන කාටිලේජ තන්තු ගෙවෙනවා.
ඉරියව්වත් එක්කම හරි වැදගත් ඇඟේ බර. ඇඟේ බර අනවශ්‍ය ලෙස වැඩි නම් කාටිලේජ හා තන්තුවලට හානි වෙනවා. ඒ වගේම තමයි මාංස පේශීවල ශක්තිමත්භාවය. යම්කිසි කෙනකුගේ ඇඟේ මාංසපේශී ශක්තිමත් නැත්නම් බඩ ඉස්සරහට නෙරලා බඩේ මාංසපේශි දුර්වල නම් සන්ධිවලට දරාගන්න බැරුව වේදනාවක් දැනෙනවා. ඉතින් ඇඟේ බර ඉරියව්ව හා මාංසපේශීවල ශක්තිමත්භාවය යන තුනම සන්ධි රෝග සඳහා බලපානවා.
සන්ධි ආශ්‍රිත රෝග වැලඳීම සඳහා යම්කිසි වයස සීමාවක් තියෙනවද?
ඇත්තටම කාටිලේජ ගෙවීමෙන් රෝග සෑදෙන්නේ ගොඩක්ම අවුරුදු 40,50න් පසුවයි. නමුත් තරුණ අයට වැරදි ඉරියව් භාවිතය නිසා යම් යම් වේදනාවන් ඇති වෙනවා. සන්ධි ප්‍රදාහ කියන රෝගය ඕනෑම වයස් සීමාවකදී හැදෙන්න පුළුවන්. කාන්තාවන් තුළ බහුල වශයෙන් දකින්න පුළුවන්. ඒ වගේම වයසට ගිහින් ආර්තවහරණය වුණාම ඔස්ටියෝපොරෝසිස් ආදීය රෝග සෑදෙන්න පුළුවන්.
සන්ධි රෝගයක මුල් අවධියේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන රෝග ලක්ෂණ ගැන කතා කළොත්?
ඕනෑම සන්ධියක ප්‍රධාන රෝග ලක්ෂණය නම් වේදනාවයි . ඔස්ටියෝපොරොසිස් රෝගය වේදනාවක් නෑ. වැටිලා අස්ථියක් කැඩුණහම තමයි දන්නේ ඔස්ටියෝපොරෝසිස් කියලා. යම්කිසි කෙනකුගේ සන්ධියක වේදනාවක් එනවානම් අපිට ඒක මොකක්ද කියලා බලාගන්න පුළුවන්. විශේෂයෙන් ඇවිදිනකොට, එදිනෙදා වැඩ කටයුතු කරන විට වේදනාවක් දැනෙනවනම් අපිට කියන්න පුළුවන් කාටිලේජ හෝ තන්තු ඇදීමක් කියලා. සන්ධිය රත්පැහැ ගැනීම, සන්ධිය රත්වීම, සන්ධියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම ආදී මූලික රෝග ලක්ෂණ දැකගන්න පුළුවන්. එවිට ඉක්මනින් අදාළ වෛද්‍යවරයකු හමුවීම වැදගත්.
රෝගවලින් වැළකී සිටීමට ආහාර පාලනයක් අවශ්‍යද?
ආහාරවලට වඩා වැදගත් වෙන්නේ ශරීරයේ බර. ඇඟේ බර නියමිත ප්‍රමාණයට වඩා අඩු නම් සෞඛ්‍යවත් කැලරි අඩු කෑම වේලක් ගත යුතුයි. නීරෝගි කෑම වේලක් කියන්නේ මස්, මාළු, බිත්තර, එළවළු සහිත පිටි අඩු ආහාර වේලක්. කෘත්‍රිම ටින් කළ කෑම හැකිතාක් අවම කිරීම කළ යුතුයි.
ප්‍රතිකාර ගැන කතා කළොත්? 
රෝගය හැදුණාම මොකක්ද රෝගය කියල විනිශ්චය කරගත යුතුයි. ඔස්ටියෝ ආතරයිටිස් ද, සන්ධි ප්‍රදාහයක්ද, තන්තු ඇදීමක්ද යන්න සොයාගත යුතුයි. අපි ළඟට රෝගියෙක් ආවම විස්තර ලබා ගැනීම සිදුකරනවා. ඒ වගේම සන්ධිය පරීක්ෂා කිරීම සිදු කරනවා. ඊට පස්සෙ Blood text, X-Ray, MRI ආදී පරීක්ෂණ රෝගය හඳුනා ගැනීමට උපකාරී වෙනවා. රෝගියා වැරදි ඉරියව්වක් භාවිත කරලද, බර වැඩිවෙලාද නැත්නම් සන්ධි ප්‍රදාහයක්ද ඔස්ටියෝපොරෝසිස් කියලා අපි වර්ගීකරණය කරනවා.
ඊට පස්සේ එක් එක් රෝගය මත ප්‍රතිකාර කිරීම සිදුකරනවා. වැරදි ඉරියව්වලින් සිටින බර වැඩි කෙනෙක් නම් බර අඩු කිරීම, මාංසපේශී ශක්තිමත් කරනවා. ඉරියව් නිවැරදි කරනවා. නමුත් වේදනාව බහුල නම් එය අඩු කිරීමට බෙහෙත් ලබාදෙනවා. ඔස්ටියෝපොරෝසිස් රෝගයක අස්ථිවල ශක්තිය වැඩිවෙන්න බෙහෙත් දෙනවා. මෙතැනදී රෝග විනිශ්චය කරලා බෙහෙත් දෙන එක තමයි වැදගත්.
සන්ධියක් හානි වන අවස්ථාවට කලින් රෝගියා ආවොත් ගොඩක් අයව සුව කිරීමට පුළුවන්. නමුත් බහුතරයක් පරක්කු වෙනවා. බෙහෙත්වලින් සුවවේ යැයි බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර නොගෙන සිටිනවා. අද වන විට සන්ධි රෝග සඳහා ඇත්තේ පුළුල් පරාසයක විහිදුණු ප්‍රතිකාර විකල්පයන්ය. රෝගය මුල් අවධියේදී හඳුනාගෙන, විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. සන්ධි රෝග යනු මරණීය රෝගයක් නොව, කළමනාකරණය කළ හැකි තත්ත්වයක්. අවශ්‍ය වන්නේ වේදනාව දරාගෙන නිෙවසේ සිටීම නොව, නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර විශ්වාස කිරීම සහ ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීමට කැපවීමයි.
නිසි ප්‍රතිකාර, ව්‍යායාම සහ කැපවීම තුළින් ඔබට වේදනාවෙන් මිදී, නැවතත් ඔබ ආදරය කරන ක්‍රියාශීලි ජීවිතය සාර්ථකව ගත කළ හැකි බවට සැකයක් නැත. ඔබට හෝ ඔබේ හිතවතකුට සන්ධි වේදනාවක් ඇත්නම්, ප්‍රමාද නොවී වහාම විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු කරවීම අනිවාර්යයෙන්ම කළ යුතුය.
