තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී උඩුමලගල ආදිච්චවංස මූලික පිරිවෙනේ පරිවේණාචාර්ය රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති, දර්ශනපති කොට්ටවගම ධම්මජෝති හිමි
ලෝකයේ සීමිත සම්පත් ප්‍රමාණයක් ඇති නමුත් මිනිසාගේ සිතේ ඇතිවන ආශාවන් අසීමිත ය. මිනිස්සු උපන් දා සිට මිය යන තුරු ම තම සිතේ හටගන්නා ආශාවන් සම්පූර්ණ කරගැනීම පිණිස බොහෝ උත්සාහයන් දරති.
එහෙත් කිසි දිනෙක මිනිසාට තම ආශාවන් සම්පූර්ණ කරගත නොහැකි ය. තමා බලාපොරොත්තු වන පරිදි ආශාවන් ඉටු කරගැනීමට නොහැකි හෙයින් මිනිස්සු අතෘප්තියෙන් තම ජීවිතය ගෙවා අතෘප්තිමත් මිනිසකු ලෙස ම මිය යති. මෙකී තත්ත්වයෙන් මිදී තෘප්තිමත්ව සතුටින් ජීවත් වීමට නම් ආශාවන්, වුවමනාවන් හා අවශ්‍යතාවන් නිවැරදි ව නිසි ලෙස හඳුනාගෙන අවශ්‍යතාවන් හා උවමනාවන් පමණක් ඉටු කරගැනීමට උත්සාහ කළ යුතු ය.
මිනිසාගේ පැවැත්ම සඳහා අනිවාර්යයෙන් ම සපුරා ගත යුතු දේ මිනිස් අවශ්‍යතාවන් යනුවෙන් හැඳින්විය හැකි ය. ඇඳුම්, ආහාරපාන, නිවාස හා බෙහෙත් ආදිය මිනිසාගේ මූලිකම මිනිස් අවශ්‍යතා ලෙස සැලකේ. මිල මුදල්, ප්‍රවාහන පහසුකම්, අධ්‍යාපනය, සන්නිවේදනය, විනෝදය ආදිය වුවමනාවන්ට නිදසුන් ලෙස දැක්විය හැකි ය. මෙකී මූලික මිනිස් අවශ්‍යතාවන් නිසි පරිදි සපුරා ගැනීමට නොහැකි මිනිස්සු දුප්පතුන්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුන්වති.
මෙකී මූලික මිනිස් අවශ්‍යතාවන් අතර පළමුවැන්න වන්නේ ඇඳුම් පැලඳුම් ය. පැවිදි උතුමන්ට නම් චීවරය. මිනිස්සු තම වියළි වසා ගැනීම සඳහා ඇඳුම් භාවිත කරති. අතීතයේ දී සත්ත්ව හම්, ශාක පත්‍ර ආදිය ද වර්තමානයේ නූල්, රෙදි ආදිය ඇඳුම් සකස් කරගැනීම පිණිස භාවිත කරති. රටෙන් රටට වෙනස් වන ඇඳුම් දිනෙන් දින වෙනස් වෙයි.
මිනිස්සු ඇඳුම් භාවිත කරන්නට පෙලඹුණේ ඇයි?
මුල් අවධියේ දී දේශගුණික හා කාලගුණික උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමට, සතුන්ගෙන් සිදුවන උපද්‍රව අවම කරගැනීමට භාවිත කළ අතර මානව සමාජය ශිෂ්ටාචාරගත වීමත් සමඟම විළිවසා ගැනීම පිණිස, තමාගේ ශරීර අලංකාරය පිණිස හා ශරීර ආරක්ෂාව පිණිස ඇඳුම් භාවිත කළහ.
භික්ෂූන් වහන්සේලා සිවුරු පරිහරණයේ දී ඒ පිළිබඳ නුවණින් හා සිහියෙන් සලකා බලා කළයුතු බව බුදුන් වහන්සේ දේශනා කළහ. ඒ පිළිබඳ අංගුත්තර නිකායේ මෙන් ම සිංහල බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධ ධර්ම පුස්තකයක් වන පිරුවාන පොත් වහන්සේගේ ද පච්චවෙක්ඛණා නමින් (ප්‍රත්‍යවෙක්ෂාව) සඳහන් වේ.
පටිසංඛායොනිසො චීවරං පටිසෙවාමි, යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය යාවදෙව හිරි කොපීන පටිච්ඡාදනත්ථං.
මෙකී පාඨයට අනුව භික්ෂූන් වහන්සේලා චීවර පරිභෝජනය කරනුයේ,
i. යාවදෙව සීතස්ස පටිඝාතාය – සීතල නැති කර ගැනීමට ය.
ii. උණ්හස්ස පටිඝාතාය – උෂ්ණය නැති කර ගැනීමට ය.
iii.ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය – මැසි මදුරුවන්ගෙන්, සුළඟින් අව්වෙන් පත්තෑ ගෝණුසු ආදී සර්පයන්ගෙන් විය හැකි පීඩා වළකා ගැනීමට ය.
iv.යාවදෙව හිරිකොපීන පටිච්ඡාදනත්ථං – විළි වසා ගැනීමට ය.
මේ පිළිබඳ නිරතුරුව සිතිය යුතු බව ප්‍රත්‍යවේක්ෂා කළ යුතු බව බුදුන් වහන්සේ දේශනා කළහ. ඒ මන්ද? මෙකී කරුණු හතරට අමතරව වෙනත් කරුණක් අරමුණු වුවහොත් සිවුර නිසා කෙලෙස් උපදින බැවිනි. නිදසුනක් ලෙස, ඇඳුම් අඳින්නේ ලස්සන පෙනුමක් ඇති කරගැනීමට හෝ තමාගේ තත්ත්වය පෙන්වීමට නම් ඒ තුළින් ඔහු තුළ කෙලෙස් හට ගනියි. එය නිවනට බාධාවකි.
බුදුන් වහන්සේ මෙම දේශනාව භික්ෂූණ් වහන්සේලාට දේශනා කළ ද ගිහියන් වන ඔබ ඇඳුම් භාවිත කරන්නේ ද මෙකී අරමුණු හතර සපුරා ගැනීම පිණිස ය. එම නිසා ගිහි ඔබට ද මින් ගත යුත්තක් නැතැයි කිව නොහැකි ය.
ඉහත දේශනාවට අනුව ගිහි ඔබ ඇඳුම් ඇඳීමේ පරමාර්ථ කොතෙක් දුරට ඉක්මවා ගොස් ඇද්ද යන්නත් ඔබ ඇඳුම් අඳින්නේ කුමන පරමාර්ථ සපුරා ගැනීම පිණිස ද යන්නත් මොහොතක් සිතන්න.
ඉහත සඳහන් කාරණාවන් හතරට අමතර වෙනත් පරමාර්ථ සපුරා ගනු වස් බොහෝ ගිහි ස්ත්‍රී පුරුෂයෝ නූතනයේ ඇඳුම් භාවිත කරති. වර්තමානය වන විට විළි වසා ගැනීමේ ශිෂ්ටාචාර ලක්ෂණය ද ඉක්මවා ගොස් එකිනෙකා පරදවමින් තම හෙලුව ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් පෙන්වීම දක්වා මිනිස්සු තුළ හිරිඔතප් ඉවත් ව ගොස් ඇත. එය රටේ බාලාපරාධ, ස්ත්‍රී දූෂණ ආදිය වැඩිවීමට ද හේතු වේ. එහෙයින් අනෙකාට තමා පිළිබඳ රාගික සිතුවිල්ලක් ඇති නොවන ලෙස තම දරුවන්ට ඇඳුම් අන්දවන්න. ඔබ ඇඳුම් අඳින්න.
මිනිසෙකු දුටු පමණින් ඇඳ තිබෙන ඇඳුමින් ඔහු හෝ ඇය කෙබඳු දැයි සමාජය තීරණය කරයි. කවුරු කෙසේ කුමක් කීවත් වර්තමානයේ ද මිනිසුන් ඔබව බොහෝවිට මනින්නේ ඔබ අඳින ඇඳුමිනි. එම නිසා විලාසිතාවන්ට පමණක් මුල් තැන නොදී තැනට සුදුසු ලෙස ඇඳුම් ඇඳීමට ද ඔබ බුද්ධිමත් විය යුතු ය.
බුදුන් වහන්සේ දේශනා කොට ඇති මූලික පරමාර්ථ හතර නිරතුරු ව සිහිකරමින් ඇඳුම් අඳින්න. එය ඔබට සමාජ ආරක්ෂාව ලබා ගැනීමට මෙන් ම සමාජ ගෞරවය හා තමාගේ පෞරුෂත්වය ගොඩනඟා ගැනීමට ද කෙලෙස් ධර්මයන් යටපත් කරගැනීමට ද ඉවහල් වනු ඇත.
මධුර ප්‍රභාත් ගමගේ
