Monday, November 3, 2025
Epaper
Home Highlightsෆේස්බුක් එකෙන් ජීවිතය හොයන්න එපා

ෆේස්බුක් එකෙන් ජීවිතය හොයන්න එපා

by Sachintha Lakehouse

දෙස් – විදෙස් මනෝ උපදේශකවරියක් සහ ලේඛිකාවක් වන අනීශා ජයකොඩි තරුණී කියවන ආදරණීය ඔබට කරන සෙනෙහෙබර මඟපෙන්වීම ‘ආදරණීය ජීවිතයකට මඟ’ අලුත් වූ තරුණී සමඟ…

දෙදාහෙන් පස්සේ අපේ රටවල මිනිස්සුන්ගේ ජීවිතවල ඇතිවුණු ප්‍රධානතම වෙනස්කමක් තමයි සමාජ මාධ්‍ය ඇබ්බැහිය. ඉස්සර රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් වින්දනයට සහ සෑහීමකට පත් වුණු මිනිස්සු යූටියුබ් ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යවල තියන නම්‍යතාව නිසා ඒවට ඇබ්බැහි වුණේ විදුලි වේගයෙන්.

ඒකෙනුත් මුල්ම තැන ගත්තේ මුහුණුපොත එහෙමත් නැත්තම් ෆේස්බුක් එක. ඉස්සර තමන්ගේ ෆොටෝ, යන එන තැන්, තමන්ගේ යාළු මිත්‍රයන් එක්ක බෙදාහදා ගන්න පාවිච්චි කරපු ෆේස්බුක් එක දැන් මිනිස්සුන්ගේ දෛනික ජීවිතයේ සියලු කටයුතු තීරණය කරන සහ පාලනය කරන තැනටම ඇවිත්. සමාජ මාධ්‍ය ඇබ්බැහිය අනුමත නොකළාට සමාජ මාධ්‍ය භාවිතය නිසා මිනිසුන්ගේ ජීවිත ධනාත්මකව වෙනස් කරගන්න පුළුවන් කියන එකනම් කියන්නම වෙනවා.

හැබැයි දෙයක් ඕ‍නෑවට වඩා ඕනෑම නැහැ කියලා කතාවක් තියෙනවනේ. ඉතින් මේ සමාජ මාධ්‍ය භාවිතාවට අනවශ්‍ය විදිහට ඇබ්බැහි වීමෙන් සහ ජීවිතයේ වැදගත්ම තීරණවලට සමාජ මාධ්‍ය යොදාගැනීමෙන් අඳුරේ වැටෙන දහස් ගණන් ජීවිත මනෝ උපදේශනයේදී නිතරම මුණ ගැහෙනවා. ඔතැනදි තරුණ තරුණියෝ ලොකුවටම වරද්ද ගන්න තැන තමයි ෆේස්බුක් එකෙන් ආදරය හොයන එක. බුකියෙන් හමුවෙලා, බුකියෙන් කතාබහ කරලා අවසානයේ කසාදත් බැඳලා හොඳට ජීවත්වෙන මිනිස්සුත් ඇති. හැබැයි හරි ගිය මිනිස්සුන්ට වඩා වැරදුණු මිනිස්සු ප්‍රතිශතය සෑහෙන්න වැඩියි.

“මම එයාව විශ්වාස කළා. එයා පිටරට ලොකු රස්සාවක් කරනවා කිවුවා. රට ඉන්න ෆොටෝත් ෆේස්බුක් එකේ දාලා තිබ්බා. ටෙලිෆෝන් නම්බර් එකත් රට එකක්. අපි දෙන්නා වීඩියෝ කෝලුත් ගත්තා. එයා ආපු ගමන් අපි කසාද බඳින්නයි හිටියේ. එයාගේ අක්කලා, අම්මලා පවා මාත් එක්ක ෆෝන් එකෙන් කතා කරලා ති‍ෙයනවා. එයා රට ඉඳලා ආපු ගමන් අපි කසාද බඳින්නයි හිටියේ. එයා අපි දෙන්නට ගෙයක් හදන්න ඉඩමක් ගන්න හැදුවා. ඒ ලෝයර් මහත්තයට හදිස්සියේ රට යන්න ඕනේ වෙලා ඔප්පු ලියන්න හදිස්සි කළා. ඉතින් එයාට හදිස්සියේ ලොකු ගාණක් එකපාර රට ඉඳලා එවන්න. බැරි නිසා මගේ පොතේ තිබ්බ ලක්ෂ විස්ස අරගෙන උදේම අම්මට දෙන්න කිවුවා. එයා ඊළඟ දවසේ උදේම ලක්ෂ විස්ස එක්කම මට දාන්නම් කිවුවා. අපි දෙන්නා වෙනුවෙන් ගන්න ඉඩම නිසා මම දෙසැරයක් නොහිතා සල්ලි දැම්මා.

දැම්මා දැම්මම තමයි. ඒ ෆේස්බුක් එකවුන්ට් එකත් නැහැ. ටෙලිෆෝන් නොම්මර වැඩත් නැහැ. පොලීසියට ගියාම කිවුවෙත් කොහොම හොයන්නද කියලා. මම ජීවිත කාලයේ මැරිලා මැරිලා හම්බකරගත්ත හැමදේම ෆේස්බුක් එකෙන් හම්බුණ ඒ මිනිහා නිසා නැත්තටම නැති වෙලා ගියා.”

“එයා මට පුදුම විදිහට ආදරේ කළා. හැම වෙලේම මම ගැන හොයලා බැලුවා. අපි දෙන්නා හම්බුණේ ෆේස්බුක් එකෙන් වුණාට ටික දවසක් යනකොට අපි දෙන්නා ඇත්තටම හම්බෙන්න තරමට ඒ සම්බන්ධය දුරදිග ගියා. එයා හරි හොඳ මනුස්සයෙක්. කොළඹ අක්කගේ ගෙදර තමයි නැවතිලා හිටියේ. අක්කගේ මහත්තයා රට නිසා අක්කගේ බබාලා දෙන්නයි, අක්කයි එක්කම නැවතිලා තමයි මෙයා වැඩට ගියේ. ටික දවසක් යනකොට අපි දෙන්නගේ සම්බන්ධය හුඟක් දුරදිග ගියා. දන්නෙම නැතුව මම ප්‍රෙග්නන්ට් වෙන තරමටම දුර දිග ගියා. ඒක දැනගත්ත දවසේ ඒ මනුස්සයා හැසිරුණේ හරියට පිස්සෙක් වගේ. එදා ගියා ගියාමයි ඒ මිනිහා ආ ගිය අතක් නැහැ. පස්සේ හොයලා හොයලා ගෙදරටම ගියාම ඒ අක්කා නෙවෙයි ඒ මිනිහගේ නෝනයි, දරුවොයි. අනේ මම රැවටිලා තිබ්බේ ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනකුට.” “මට මගේ මහත්තයා හම්බුණේ ෆේස්බුක් එකෙන්. එයා කසාද බඳින්න කෙනෙක් හොයා හොයා ඉද්දි තමයි මාත් එක්ක කතා කළේ. ඇත්තටම එයා පුදුම අහිංසක මනුස්සයෙක්. උදේ ඉඳන් රෑ වෙනකම්ම මට මැසේජ් කර කර මම ගැන හොයලා බැලුවා. මට පුදුම විදිහට ආදරේ කළා. අපේ ගෙදර අයත් එයාට මට වඩා ආදරෙන් හිටියේ. පොරොන්දු වෙච්ච විදිහටම අපි හම්බෙලා මාස පහක් හයක් යනකොට කසාද බැන්දා. කසාදෙ ඉක්මන් කරන්න මට වඩා වුවමනාවක් තිබ්බේ එයාටයි, එයාගේ ගෙදර අයටයි. කසාද බඳිනකම් එයා මට අතක් වත් තිබ්බේ නැහැ. ඒ නිසාම මටත් එයා ගැන කියාගන්න බැරි තරම් පැහැදීමක් ඇතිවෙලා තිබ්බේ. ඇත්තටම එයා හරිම ලස්සන හොඳ පිරිමි පාට කොල්ලෙක්. මම ආස විදිහට ලස්සන වෙඩින් එකක් අරගෙන ඉතින් අපි බැන්දා. හැමදේම මම හිතපු විදිහටම වුණා. එක දෙයක් ඇරෙන්න. මොන තරම් පිරිමි පාටට හිටියත් එයා පිරිමියෙක් නෙමෙයි කියලා මම දැනගත්තා.

එයාට තිබුණේ අලුත ඉපදුණ බබෙක්ට වගේ පොඩි ලිංගික අවයවයක්. කසාදෙ කියන්නේ ඕක විතරක් නෙමෙයිනේ කියලා එයාගේ අඩුපාඩුව වහගන්න තරමට ඒ මනුස්සයා අමනුස්සයෙක් කියලා මම දැනගත්තේ කසාද සහතිකේට අත්සන දැම්මට පස්සේ. දැන් මට මගේ මුළු ජීවිතේම එපා වෙලා ඉන්නේ.”

ඔය කිවුවේ බුකියෙන් හොයාගත්ත පෙම්වතුන් නිසා විනාස වුණු ජීවිත කිහිපයක් විතරයි. ඔය වගේ කතා තොග ගණනක් තියනවා. ගැහැනුන් වගේම පිරිමිත් රැවටීමට ලක්වෙච්ච අවස්ථා ඕ‍ෙන තරම් තියනවානෙ. ඇහැට දැකලා කතා බහ කරලා, අවුරුදු ගණන් ආශ්‍රය කරලත් මිනිස්සුන්ව හරියට තේරුම් ගන්න බැරි සමාජයක් අස්සේ දෙතුන් සැරයක් එඩිට් කරලා දාලා තියන ෆොටෝ එකක්, වීඩියෝ එකක් දිහා බලලා ඒ මිනිස්සුන්ට රැවටිලා ආදරේ කරන්න, සම්බන්ධකම් හදාගන්න යන එකනම් ඔබ හිතනවට වඩා බොහොම අවදානම් වැඩක්.

වචන ටයිප් කළාට ටැක්ස් නොගහන නිසා භාෂාවේ ති‍ෙයන ලස්සනම වචනවලින් ආදරෙයි කිවුවට, රැවටෙන්න එපා. ආදරය ප්‍රේමය කියන්නේ වචනවලට, ෆොටෝ එකකට එහා ගියපු ආත්මීය බැඳීමක්. ඒ වගේ බැඳීමක් සමාජ මාධ්‍ය අස්සේ සිල්ලරට හොයන්න කලින් දෙසැරයක් නෙමෙයි හතර පස් සැරයක් හිතන්න. සමාජ මාධ්‍ය මොනදේට පාවිච්චි කළත් කමක් නැහැ. හැබැයි ප්‍රේමය, විවාහය වගේ තමන්ගේ ජීවිතයේ අතිශය වටිනා තීරණ ගන්න කොට සමාජ මාධ්‍ය තෝරාගන්න එක නම් බොහොම අවදානම් වැඩක්.

සමාජ මාධ්‍ය හරියට ගින්දර වගේ. හරියට දැනගෙන පාවිච්චි කළොත් ගොඩ. හැබැයි පොඩ්ඩක් එහෙට මෙහෙට වුණොත් පිච්චිලා අළුවෙලාම යනවා.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?